සියුමැලි දෑඟිලි අතර රළු අවි සඟවා ගත් රූමතියක්


 

සියුමැලි දෑඟිලි අතර රළු අවි සඟවා ගත් රූමතියක්

ඈ සුන්දර කතකි. උසට සරිලන දේහයක් ඈට හිමි ය. මෙවන් සුන්දර කතක් මෙවැනි ස්ථානයක සිරගතව සිටින්නේ මන්දැයි මා හට කුකුසක් ඇතිවූයේ නිරායාසයෙනි. වර්ෂ 1983 දී උපන් ඈට අපි සඳමාලි යැයි කියමු. ගාල්ලට නුදුරු සුන්දර ගම්මානයක සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්සි ලෙසින් ඈ උපත ලැබුවා ය.

”මම ඉස්කෝලේ ගියේ ගමේ පාසලට. 7 වසරට ගිහින් පාසල් ගමනින් සමු ගත්තා. අපේ තාත්තා හරිම හොඳයි. එයා අපි තුන්දෙනාට හරිම ආදරෙයි. තාත්තා සුළු රැකියාවක් කළේ. අම්මා අපි පොඩි කාලෙදීම පිටරට රැකියාවකට ගියා.

එතකොට අම්මගේ අම්මා අපේ ආච්චි අම්මා තමයි අපිව බලා කියා ගත්තේ. ආච්චිත් අපිට හරි ආදරෙයි. මට හොඳට මතකයි එතකොට මට අවුරුදු 9 ක් විතර ඇති. අක්කට අවුරුදු 14 යි. මල්ලි ගොඩක් පොඩියි.

අම්මා බාප්පා කෙනෙක් එක්ක ගියා අපිව තනිකරලා. එදා තාත්තා හොඳටම ඇඬුවා. ඊට පස්සේ අපේ අම්මා ආයෙත් රට ගියා. අම්මා බැඳපු බාප්පා හරි අමුතු කෙනෙක්. එයා නිතර නිතර අපේ ගෙදර එන්න පටන් ගත්තා.

එයා අපේ අක්කව බිලි ගත්තා. අක්කට බබෙක් ලැබෙන්න හිටියා. අපිට ගොඩක් කරදර වුණා. අපේ ඉස්කෝලේ ගමන එතැනින් නැවැතුණා. තාත්තට පිස්සු හැදුණා. තාත්තා පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන යන්න පටන් ගත්තා.

මට අක්කට ලැබුණු පුතාව බලාකියා ගන්න සිදුවුණා. අත්තම්මයි, මමයි, මල්ලියි බොහෝම දුක සේ ජීවත් වුණා. අපිට කිසිම ආදායම් මාර්ගයක් නෑ. අත්තම්මා වත්තක දළු කඩන්න ගියා.

ඒකෙන් ලැබෙන සොච්චම් මුදලිනුයි අපි ජීවත් වුණේ. අක්කා පස්සේ ගාමන්ට් එකකට වැඩට ගියා. අක්කා ඉස්සර වෙලා පිරිමි ළමයෙක් එක්ක යාළුවෙලයි හිටියේ. එයා අක්කව බැන්ඳා. ළමයා අපි ළඟ හැදුණා.”

ඉවසා දරා සිටීම

ඇය කියවාගෙන යන දෙය මට අදහාගත නොහැකිය. ඒත් ඇයගේ කතාව ගලාගෙන යන්නේ සිනමා පටයක් ලෙසිනි. මෙතරම් දේවල් මිනිසුන්ට සිදුවිය හැකිද? ඇගේ දෙනෙතට කඳුළු උනා එයි.

ඈ සුසුම් හෙළයි. මේ සියල්ලම ඈ මට පවසන්නේ ඉතා සෙමිනි. “අම්මා රට ගිහින් ආවේ අපි ළඟට නෙවෙයි, බාප්පා ළඟට යි. තාත්තගේ ඔළුව හොඳ නෑ. එයා හැංගි හැංගි ඇවිත් අපිව බලලා ආයෙත් ඔහේ් පාර දිගේ යනවා.

මල්ලි අත්තම්මගේ නංගි කෙනෙක් ළඟට ඇරියා. දවසක් එහේ මළගෙදරක් වුණා. මම එහේ් ගියා. අපේ මාමා කෙනෙකුගේ අක්කගේ පුතෙක් එහිදී මට හමුවුණා. එයා හමුදාවේ. එයා මට වඩා අවුරුදු 15 කින් විතර වැඩිමහල්. ඒත් මම එයාට කැමැති වුණා. එයා සුජිත්.”

අපේ අම්මා බාප්පා ළඟ හිටියත් මාව හොරෙන් හොරෙන් මුණ ගැහුණා. මම අම්මාට සුජිත් ගැන කිව්වා.

සුදූ... සුජිත් ඔයාට වඩා ගොඩක් වැඩිමහල්. එයා ඔයාට ගැළපෙන්නේ් නෑ. මම හිතාගෙන ඉන්නේ ඔයා වෙන කෙනෙකුට බන්දලා දෙන්න...” අම්මා එහෙම කිව්වා. මම ඒ වෙනකොට සුජිත්ට ගොඩක් ආදරෙයි. මම අම්මට කිව්වා මට එයාව බඳින්න ඕනෑ කියලා.”

කෙසේ වුවද සුජිත් හා සඳමාලී අතිනත ගත්හ. දෙමාපිය නෑ හිත මිතුරන්ගේ ආශීර්වාදයක් නොලදත් ඔවුහු එක වහලක් යට පදිංචි වූහ. සුජිත් හමුදා නිලධාරියෙකි. සුජිත් කුඩා නිවසක සිය මව සමඟ පදිංචි වී සිටියේය.

”සුජිත් මාව බැඳලා එකතු කරගෙන ගියේ එයාගේ ගෙදරට. මැටි ගහලා හදපු පොඩි ගෙයක් එයාට තියෙන්නේ. අපි හරි ආදරෙන් හිටියා. ඒත් දවසින් දවස ගෙවිලා යනකොට එයාගේ අම්මා අපි සතුටින් ඉන්නවාට කැමැත්තක් නැති බව මට හොඳින් තේරුණා. එයා නොයෙක් ඇනුම්පද මට කිව්වා. පස්සේ පස්සේ එයා කොතරම් දරුණු වුණාද කියනවා නම් කෑමට ලාම්පු තෙල් දමන්නත් පුරුදු වුණා.”

සඳමාලිගේ කුලගෙයි නොයෙක් අඩන්තේට්ටම් ක්‍රමයෙන් සිදුවිය. ඇය සියල්ල ඉවසා දරා සිටියා ය. මාස කිහිපයක් ගත විය. දැන් සඳමාලි කුස කුළුඳුල් දරුවකු පිළිසඳ ගෙන ඇත.

”එක දවසක් ගෙදර හිටියේ මම විතරයි. අම්මා බැඳපු බාප්පා අපේ ගෙදරට ආවා. සුදූ... ඔයා කෑවද කියලා ඇහුවා. මම ඔව් කිව්වා. මට වතුර ටිකක් දෙන්න කියලා බාප්පා වතුර ඉල්ලුවා.

මම මිනිහගේ හැටි දන්න හින්දා වතුර කළෙත් අරන් පිටිපස්සේ දොරෙන් වතුර ගේන්න යනවා කියලා ළිඳට ගියා. ගිහින් ගොඩක් වෙලා අඳුරන ඇන්ටි කෙනෙක් එක්ක කතා කර කර හිටියේ බාප්පා යනකං.

ගොඩක් වෙලා ඉඳලා මම කළෙත් අරන් ගෙදර ගියා. යනකොටත් බාප්පා ඉන්නවා. මම කුස්සියට ගිහින් වතුර කලේ බිමින් තිබ්බා විතරයි. බාප්පා ඇවිත් මගේ අතින් ඇල්ලුවා.

උඹ කියලා තියෙනවා අක්කට කරපු දේ මට කළොත් මම ඌව මරලා දානවා කියලා.... එහෙම කියපු බාප්පා මාව බදාගත්තා. මගේ කොණ්ඩය මුහුණට දාලා බෙල්ලෙන් අල්ලා ගත්තා. ගෙදර රේඩියෝවත් හයියෙන් ම දාලා. කාටවත් ඇහෙන්නේ නෑ. මං කොච්චර කෑ ගැහුවත්. මම බාප්පගේ අත හයියෙන් හැපුවා. හපලා එළියට පැන්නා.”

එළියට පැන ගත් සඳමාලී ටික දුරක් දිව යද්දී පය පැකිලී ඇද වැටුණාය. ඇය සිහිසුන් වූවාය. අහල පහළ උදවියගේ උදව්වෙන් ඈ යළි පියවි සිහිය ලැබුවා ය. දින කිහිපයක් ගත විය.

සඳමාලිගේ මේ බාප්පා නැවත දිනයක ඇගේ නිවසට පැමිණෙන්නේ තවත් පුද්ගලයෙකු ද සමඟිනි. මුවහත් කඩුවක් අතැතිව සිටි ඔහු සුජිත්ට පහර දීමට සැරැසුණේය. ඔහු අත අල්වා පහර වැළකීමට සිතුවද සුජිත්ට තද පහරක් වැදිණි.

තව තවත් පහර දෙන්නට හදද්දී සඳමාලී ඉදිරියට පැන්නාය. සඳමාලිට ද කඩු පහරවල් කිහිපයක් ම වැදිණි. ඇය පහර කාගෙනම දිව ගියා ය. පෙරදා මෙන් නොව ලේ පෙරාගෙන සිහිසුන්ව ඈ ඇද වැටුණේ පොල්ලෙලි වලකට ය.

”මහත්තයාගේ අම්මා ඇවිත් උඹ තමයි පුතාව අවුස්සන්නේ කියලා බූ හනස්සක් අරන් මට ගැහුවා. එදා සිදුවීම වෙනකොට රෑ 8.00 විතර වුණාට මාව ඉස්පිරිතාලෙට ගෙනියනකොට වෙලාව රෑ 2.00 ට විතර ඇති. මගේ කැපුම් තුවාලවලින් ලේ වැගිරෙනවා.”

සඳමාලි නැවත වරක් රෝහල් ගත වූයේ ඒ අයුරිනි. කැපුම් තුවාල ලැබූ සුජිත් හා බාප්පා ද රෝහල් ගතවිය. මේ රණ්ඩු සරුවල්වල කෙළවර කොහිදැයි සඳමාලි රෝහලේ සයනයට බර දී දස අත කල්පනා කළාය.

උණු කඳුළු කැට

හමුදාවේ රැකියාවේ නියුතු සුජිත් නැවත රැකියාවට යාමට අදිමදි කළේය. එතැන් පටන් ඔවුන්ගේ ජීවිත ගෙනියන ආදායම් මාර්ගය ද ඇණහිටින ලදී. සඳමාලිගේ කුස දිනෙන් දින ඉදිරියට නෙරා එයි.

රැකියාව ද අහිමි කර ගත් සුජිත් බීමට ඇබ්බැහි වූවේය. සුජිත්ගේ මව පමණක් නොව සුජිත් ද සඳමාලිට වෙනස්කම් කරන්නට එතැන් පටන් ගත්තේය. මේ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකි සඳමාලී අත්තම්මා සොයා ගියා ය. ඈ දැන් දරු ප්‍රසූතියට ද ආසන්න ය. ඈ අත්තම්මා ද සමඟ රෝහල් ගත වූවා ය.

”මට පුතෙක් ලැබුණා. ඒත් මහත්තයාවත් මාව බලන්න ආවේ නෑ. මම ගොඩක් අසරණ වුණා. මගේ අත්තම්මා එයාට පුළුවන් විදිහට මට අවශ්‍ය කළමනා ඔක්කොම හදලා දුන්නා.”

සඳමාලිගේ දෙනෙතින් උණු කඳුළු කැට රූ රා වැටෙයි. ඇගේ අත්තම්මා ගැන ඈ අප්‍රමාණ ස්නේහයකින් යුතුව කතා කරයි. ඈ තම කුළුඳුල් දරුවා ද රැගෙන අත්තම්මා ළඟට ගියාය.

”අත්තම්මා විඳින දුක මට බලන් ඉන්න බෑ. මම දරුවාට මාස 3, 4 ක් වෙනකොට දරුවා අත්තම්මා ළඟ තියලා දළු කඩන්න ගියා. මාස කිහිපයකින් සුජිත් මාව හොයාගෙන ආවා. අපි අත්තම්මාගේ ගේ ළඟම පොඩිවට පොල්අතු වහලා ගෙයක් අටවා ගත්තා.

මම දරුවා මහත්තයාට දාලා අත්තම්මත් එක්ක දළු කඩන්න ගියා. අම්මා රට ඉඳන් අපට සල්ලි එව්වා. සුජිත් හැමදාම බොන්න පුරුදු වුණා. හැමදාම හවසට මාත් එක්ක රණ්ඩුවට එනවා.

උඹ හින්දා තමයි මට හැම දෙයක් ම නැති වුණේ කියලා මට කුණු බැනුම් බනිනවා. මම මහන්සි වෙලා කීයක් හරි හොයාගත්තත් එයා ඒක උදුරා ගන්නවා. උයා ගත්ත එක කන්න නෑ. රණ්ඩු කරනවා. වළං පොළොවේ ගහනවා.”

සඳමාලිගෙ ජීවිතය කටුකම ය. ගැළවිල්ලක් ඇත්තේම නැත. දෛවය ඇයට කොතරම් දරුණු විදිහට සළකන්නේද? ඇඬූ කඳුළින් පසුවන ඈ නොයෙක් වර නොයෙක් දෑ මෙනෙහි කරන්නීය. ඒ අතර සියදිවි හානිකර ගත යුතු බවට ද ඈ නොයෙක් වර අදහස් කළා ය. එහෙත් චූටි පුතුගේ නිල්වන් දෙනෙත හමුවේ ඈ තව තවත් අසරණ වූවා ය.

ජීවිත හා දේපල දහස් ගණනින් සුන්නද්දූවිලි කරමින් සුනාමි ව්‍යසනය පැතිර ගියේ සඳමාලිට ද උන්හිටි තැන් අහිමි කරමිනි. ඔවුහු ටික කලක් සුනාමි අවතැන් කඳවුරුවල දිවි ගෙවූහ. සුනාමි සහන මණ්ඩලයේ නිලධාරීහු ගමට ආහ. ඔවුහු නොයෙක් සහන ව්‍යාපෘති ගම් පුරා දියත් කරමින් වැටී සිටි ජනතාවට අවශ්‍ය පහසුකම් සැළැසූහ.

”දවසක් මම දළු කඩන්න ගිහින් දවල් කෑමට ගෙදර ආවා. එතකොට සුනාමි සහන මණ්ඩලයේ මහත්තයෙක් අපේ ඉටිරෙදිවලින් හදාගෙන හිටපු ගෙදරට ආවා. ඇවිත් ස්වයං රැකියාවක් කරන්න අවශ්‍ය ආම්පන්න ටිකකුයි, රුපියල් 5000/- කුයි දෙන්න කියලා ලියාගෙන ගියා.”

මේ සිදුවීමත් තම ජීවිතයට බලපෑම් කරන බව සඳමාලි නොදත්තාය. එක්තරා ඉරුදිනක් එළැඹියේය. ඈ අත වූයේ රු. 200/- ක් පමණි. ගෙදරට අවශ්‍ය කළමණා ගෙන ආ යුතුය. ඒ සඳහා පොළට යෑමට අද සූදානම් වූවාය.

”මම පොළෙන් බඩු ගනිද්දී එදා අපේ ගෙදර ආපු සුනාමි සහන මණ්ඩලයේ නිශාන්ත කියන මහත්තයා මට මුණගැහුණා. ආ ගිය විස්තර ඇසුවා. බඩු මිලදී ගැනීමට මට රු. 1000/- ක් දෙන්නම ලෑස්ති වුණා. මම ඒ සල්ලි ගත්තේ නෑ. ඉක්මනටම එතැනින් මාරු වුණා. මම ගෙදර ඇවිත් ඒ ගැන සුජිත්ට කිව්වා. එයා මට හොඳටම බැන්නා. අපහාස කළා.”

නගරය හැර දා

තනිව මඟ තොටේ ගමන් බිමන් යෑම ගැන මඳක් පැකිලුණු සඳමාලි, ඊට පසු ඉරුදින සුජිත් ද පෙරටු කොට ගෙන පොළට ගියාය. මිලදී ගත් බඩු මූට්ටු ද සමඟ ආපසු නිවස බලා එද්දී බොහෝ රෑ බෝ වී තිබුණි.

 ගමේ සිටි කොලු පිරිසක් අතරමඟ දී මුණගැසිණි. ඔවුන්ගේ හැසිරීම් රටා එතරම් හොඳ බවක් නොපෙනුණි. අඩ අඳුරේ ම එකෙකු ඉදිරියට විත් සඳමාලිගේ අතකින් අල්වා ගත්තේය.

සිදුවන්නට යන දෙය ඉවෙන් මෙන් වටහා ගත් ඈ තමා දන්නා උපායක් දමා එතැනින් වහා පැන ගත්තා ය. දිව ගිය ඈ ගොඩ වැදුණේ අසල්වැසි හිතවතෙකුගේ නිවසකට ය. ඔවුන් ඈට පිළිසරණ වූහ. මෙවැනි දෑ තමාට සිදුවන්නේ සුජිත්ගේ අනුදැනුම ද ඇතිව බව වටහා ගත් ඈ තවදුරටත් ඔහු හා එක වහලක් යට ජීවත්වීම තමාට ජීවිත තර්ජනයක් යැයි සිතුවා ය.

”අපේ තාත්තගේ අසනීපයත් ටිකක් හොඳ වුණා. රට ගිය අම්මා මාස 11 කින් විතර ආපසු ආවා. තාත්තා අම්මව හෙව්වා. බේරෙන්න බැරිකමට අම්මා ආවා. කොහොම හරි අම්මයි, බාප්පයි එකතුවෙලා තාත්තව මරවන්න කෙනෙකුට රු. 25,000/- ක් දීලා. දවසක් මම ඉස්සරහදීම ඒ මිනිහා තාත්තව මැරුවා.”

සියලු දේ ගැනම කළකිරුණු සඳමාලී දරුවා ද රැගෙන නගරයෙන් බොහෝ දුර විසූ අගේ යෙහෙළියක සොයා ගියා ය. ඇය ද දරුවෙකු ද සමඟ තනි වූ ගැහැණියකි. සඳමාලිට යෙහෙළියගේ සෙවන කිසියම් අස්වැසිල්ලකි. යෙහෙළියගේ මවට දරු දෙදෙනාම රැකබලා ගැනීම බාර කළ ඔවුහු ඇඟලුම් ශාලාවක සේවයට ගියහ. ඔවුහුඑතැන රැකියාව කළේ මාස 2 ක් පමණි.

”දවසක් මගේ යාළුවාගේ පෙම්වතා මුණගැසීමට එයත් එක්ක හොටෙල් එකකට ගියා. යාළුවා ටිකක් ඈතින් හිටියේ. එහේ් එක්තරා කල්ලියක් ඉන්නවා. ඒ අය පාතාලෙට සම්බන්ධ යි. ඒ අයට මගේ දුක කියන්න හිතුණා. පිළිසරණක් පතාගෙන. ඒ අය හම්බ වෙන්න එන්න කිව්වා. කතා කරන්න කියලා එයා මාව එක්තරා තැනකට එක්කරගෙන ගියා. අපි කතා කර කර ඉන්නකොට කොල්ලෙක් ඇවිත් මගේ අතින් ඇද්දා. එතකොට ම එතැනට සුද්දෙක් ආවා. මම කුඩෙත් දාලා එතැනින් පැන ගත්තා.”

බස් නැවතුම

සඳමාලී දුව ගොස් නැවතුණේ ත්‍රීවීල් පාක් එක ළඟ ය. එතැන සිටි වැඩිහිටි ත්‍රීවීල් රියදුරෙකුට ඈ සියලු පුවත් පැවැසුවා ය. ඇය ත්‍රීවීලයෙන් ම නැගී ගොස් හික්කඩුවේ බස් නැවතුමට ගියා ය. ටික වේලාවක් යද්දී මිතුරිය පැමිණියා ය.

”සඳමාලී ඇයි ඔයා දිව්වේ. සල්ලි හොයන්න කරන්න පුළුවන් එකම ක්‍රමය මේක යි. අපිත් හොයන්නේ ඔයා වගේ ලස්සන අය.”

මිතුරිය සමඟ පැමිණි කල්ලියේ අයෙකු එසේ පැවැසුවේ ය. සඳමාලී ඔහුගෙන් ඉල්ලා සිටියේ බිඳී විසිරී ගිය ඇගේ පවුල් ජීවිතය යළි ගොඩනඟා ගැනීමට උදව් කරන ලෙස ය. එපමණක් නොව තාත්තා මැරූ පලිය බාප්පාගෙන් ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් බව ද ඈ සිතුවා ය. සඳමාලිගේ දරුවටත් ඇයටත් ජීවිත ආරක්‍ෂාව ලබා දීමට ඔවුහු පොරොන්දු වූහ.

දැන් සඳමාලී සහ ඇගේ මිතුරිය පිවිස සිටින්නේ අමුතුම තාලේ රැකියාවක ය. ඔවුන්ගේ සියුමැලි දෑඟිලි අතර අවි ආයුධ ගැවසෙයි. ඔවුහු ක්‍රමයෙන් ක්‍රමයෙන් තුවක්කු සංස්කෘතිය වැළඳ ගත්හ.

ඉලක්කය බලා වෙඩි තැබීම සහ ආත්මාරක්‍ෂක සටන් ද හැදෑරූහ. සඳමාලිටත් ඇගේ මිතුරියටත් හොඳ පුහුණුවක් මෙම විෂයෙන් ලැබුණි. ඔවුහු කිසිවෙකුටවත් බිය නොවූහ. දැඩි සිත් ඇත්තියක් බවට පත් වූහ.

මේ අතරතුර ඈ සිය මව ද මුණ ගැසුණා ය. ඈ කිසියම් ආයුධයක් සොරා ගත්තා ය. එය ඉතා සූක්‍ෂමව සඟවා ගත්තා ය. කල් යල් බලා බාප්පා සොයා ගියා ය. එහෙත් වාර කිහිපයකින් ම ඇගේ ඉලක්කය වැරැදිණි.

සඳමාලිටත්, මිතුරියටත් තවත් හොඳින් වැටහුණු කාරණාවක් ඇත. එනම් කල්ලියෙන් කිසි විටකවත් ගැළවීමට ඉඩක් නොමැති බව ය. සඳමාලිත් මිතුරියත් දැන් හොර රහසේ තවත් උපක්‍රමයක් සැළසුම් කළහ.

ඒ, කිසිවකුටවත් නොදන්වා හොර රහසේ ම මෙරටින් පිටව යෑම ය. මේ වන විට ඔවුහු අත ඉතා යහමින් මිල මුදල් ගැවැසිණි. යෙහෙළියගේ පෙම්වතා ඇගෙන් ලක්‍ෂ හතහමාරක මුදලක් ද ණයට ඉල්ලා ගත්තේය.

 ඉතාමත් හොර රහසේ විදේශ ගතවීමට අවශ්‍ය ලිපි ලේඛන සාදා ගත් ඔවුහු විදෙස්ගත වුහ. සඳමාලිගේ දරුවා ඇගේ අත්තම්මා ළඟට යැව්වා ය. සියලු කරදර හා දුක් කම්කටොලුවලින් ඔවුහු දැන් නිදහස් ය.

සඳමාලීත් යෙහෙළියත් ඉතා සතුටින් ජීවත් වූහ. වසර 2 කට අධික කලක් ඔවුහු විදේශ ගතව සිටියහ. ඇය එහි සිට සිය අත්තම්මාට මුදල් එව්වා ය. වසර කිහිපයකට පසු ඔවුහු නැවත ලංකාවට පැමිණියහ.

ඇය අත්තම්මා හා සිය මව සොයා ගියා ය. ඉතා සතුටින් ජීවත් වූයේ ටික කලකි. ඇගේ දුරකථනයට නිර්නාමික ඇමැතුම් ගලා ආවේය. ඇතැම් ඒවා අසැබි ය. ඇතැම් ඒවා තර්ජනය කිරීම් හා බිය වැද්දීම් ය. මේවා කරන්නේ වෙන කවුරුවත් ම නොව පාතාලයෙන් යැයි ඇය තේරුම් ගත්තා ය.

ඥාති පුත්‍රයා

”අනේ! අම්මේ, අම්මා අපිව දාලා යන්න එපා. අම්මා නැති හින්දා තමයි අපේ ජීවිත විනාශ වුණේ. අම්මා යන තැනකට මාවත් අරගෙන යන්න”

සඳමාලි සිය මව නැවත විදෙස් ගතවීමට උත්සාහ දරද්දී ඇවිටිලි කළාය. සඳමාලිට බේරුමක් නම් නොමැත. ඇයට එන ඇමතුම්වලට ආමන්ත්‍රණය කළේ ඇගේ ඥාති පුත්‍රයෙකි.

මව සහ බාප්පා අතර ද නොයෙක්වර නොයෙක් ගැටුම් ඇති විය. මේ සියල්ලට ම හේතුව සඳමාලී බව බාප්පා තරයේ ම කියා සිටි අවස්ථා එමට ය. බාප්පා කෙරෙහි ඈ තුළ ඇති කෝපය අළු යට අඟුරු මෙන් විය. බාප්පා හා මව අතර වූ බහින් බස් වීමකදී දෙවරක් නොසිතූ සඳමාලී බාප්පාට කැත්තකින් කෙටුවා ය. ඔහුට බරපතළ තුවාල සිදු විය. ඔහු සඳමාලීත්, ඇගේ මවත් හැර ගියේ ය.

සඳමාලිගේ ජීවිතය විවිධාකාර හැලහැප්පීම්වලින් ගහණ ය. ඇගේ දුරකථනයට එන ඇමැතුම්වලින් ඈ බේරාගත් ඥාති පුත්‍රයා හා ඈ මිත්‍ර වූවාය. ඔහු කුමාර ය. මවගෙන් දැඩි විරුද්ධතාවයක් එල්ල විය.

එය නොතකා ඔවුහු මාතලේට පැන ගියහ. මව ඔවුන් සොයා පැමිණියා ය. කුමාර නිවසේ නැති ඒ අවස්ථාවේදී සඳමාලිගේ මව ඈ කැටුව ආවා ය. කුමාර නිවසට පැමිණ බලන විට එහි සඳමාලී නොවීය.

සිය මවගෙන් කරුණු දැන ගත් ඔහු නැවත සඳමාලී සොයා ගියා ය. කිසියම් වචන හුවමාරුවක් එහිදී සිදු විය. සඳමාලී කුමාර සමඟ ආපසු යෑමට තීරණය කළාය. ඇගේ දරුවාත් රැගෙන ඔවුහු ආපසු මාතලේට පැමිණියහ.

කුමාර සඳමාලිගේ දරුවාට ඉතා හොඳ පියෙකු වූයේය. කොතරම් හැළහැප්පීම් වුවද නැවතත් ඇගේ ජීවිතය කිසියම් සන්ධිස්ථානයකට පැමිණ ඇත. ඔවුහු ආදරෙන් දිවි ගෙවූහ. සඳමාලී නැවතත් මවක වන ලකුණු පහළ විය.

”මමයි කුමාරයි හැම දෙයක් ම අමතක කර දාලා හොඳින් ජීවත් වුණා. ඒත් ඒ ටික දවසයි. දවසක් සුජිත් කතා කළා. වෙන වෙන අය දමලා කෝල් කරන්නත් පටන් ගත්තා. ආයෙමත් මට නිර්නාමික දුරකථන ඇමැතුම්වලින් අඩුවක් වුණේ නෑ. ඒ හැම වෙලාවකම කුමාර මාව අස්වැසුවා. දවසක් කට්ටියක් ඇවිත් කුමාරව අරන් ගියා. හොඳට ම ගහලා ලකුණු තියලා එව්වා.

ඊට පස්සේ මංකොල්ල කෑමකට කුමාරත්, මාවත් දෙන්නම අල්ලා දුන්නා. මං කොල්ල කෑ බවට ඔවුන් සාක්‍ෂි දුන්නා. දැන් මගේ මහත්තයත් මාත් දෙන්නම සිරගෙදර. මගේ බඩේ හිටපු බබත් නැතිවෙලා ගියා.”

සිහින් කටහඬකින් තමාගේ ජීවිත කතාවම ඈ මා හට පැවැසුවා ය. ඇගේ දෙනෙතින් රූ රා ඇදහැලෙන කඳුළු කැටවලට නම් නිමාවක් නැත්තේම ය. මෙය ඇගේ උරුමය ද කරුමය ද යැයි මට සිතේ. එහෙත් ඇයට අනුකම්පා කරනවා හැර වෙන කුමක් කරම් ද?

මෙහි සියලු නම් ගම් මනඞකල්පිත යි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා,ගාල්ල බන්ධනාගාර අධිකාරි ගාමිණී විජේසිංහ මහතා ඇතුළු ගාල්ල බන්ධනාගාර සුබසාධන අංශයේ සියලු නිලධාරීන්ට විශේෂ ස්තූ®තිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා