ජනාධිපතිතුමා තරම් මිනිසුන්ගේ සෙනෙහස

ජනාධිපතිතුමා තරම් මිනිසුන්ගේ සෙනෙහස
දිනාගත් නායකයෙක් මෑත යුගයේ බිහිවුණේ නෑ

දිඹුල්කුඹුරේ විසුද්ධානන්ද හිමි - මහනුවර ගලගෙදර මැදගොඩ ශී‍්‍ර සිද්ධාර්ථෝදය
පිරිවෙන් විද්‍යායතනයේ නියෝජ්‍ය පරිවේනාධිපති

පන්දහසක් කල් සම්බුදු සසුන ලක් දෙරණේ බැබලෙනා බව පෙර රජ දරුවන් පවා බැතිබර සිතින් ඇදහූ පැවසූ කරුණකි. එවන් නිමල දහමක් බැබලෙන්නට පමණක් නොව එය සුරකිනා සිංහල ජාතිය සුරක්ෂිත වීමට නම් මේ ලංකා ධරණීතලය සදාකල්හිම සුරක්ෂිත විය යුතුය. දේශපාලන, සමාජ සුරක්ෂිතතාවය දෙස බස රැසෙහි ප්‍රභාෂ්වරබර උදෙසා ඇති කරන බලපෑමත් සුරක්ෂිත රටක රාජ්‍යයක සැබෑ සමාජ ප්‍රබෝධයත් පිළිබඳ කතා කිරීමට මෙවර ධර්ම සභාවට වැඩම කරන්නේ මහනුවර ගලගෙදර මැදගොඩ ශී‍්‍ර සිද්ධාර්ථෝදය පිරිවෙන් විද්‍යායතනයේ නියෝජ්‍ය පරිවේනාධිපති දිඹුල්කුඹුරේ විසුද්ධානන්ද හිමියෝයි.

වර්තමානයේ රජය ලද ජයග්‍රහණය පිළිබඳ ඔබවහන්සේගේ මතය කුමක්ද?

සියල්ල අවසන් විය. ඉතිහාසඥයන් ඉතිහාස විග්‍රහයන්වලදී “පළවන විජයබාවන් නො සිටින්නට සිංහල ජාතියක් නොමැත” යනුවෙන් අභීත ප්‍රකාශයක් ඉතිහාස පොතට එක් කළා.

වර්තමානයේ අපද එවැනි ප්‍රකාශයක් ලංකා ඉතිහාස පොතට එක් කළ යුතුයි. මහින්ද රාජපක්ෂයන් වත්මනෙහි බිහි නොවන්නට සිංහලයා තරම් දීන නිවට බයාදු පෞරුෂත්වයක් නැති අභිමානයක් නැති සිංහල නම් ජාතියක් ලොව බිහිවන්නට ඉඩ තිබුණා.

විශේෂයෙන් ම රටට දැයට හිත ඇති මිනිසුන් පසුගිය මැතිවරණ සමයේ භීතියෙන් ත්‍රාසයෙන් ගල් ගැසී සිටින අයුරු අප දැක්කා. වෙහෙර විහාරයට දන් පැන් ගෙන ආ බැතිමතුන් දෙවියන්ට මියගිය නෑයන්ට පින් දුන්නේ මේ මහා විපතින් රට ගලවා දෙන ලෙස අලුත් ප්‍රාර්ථනාවක් ද එක් කරලා.

නගරයේ ජීවත්වන ගෑස් සිලින්ඩරයෙන්, කොත්තු රොටියෙන් මෙතෙක් කල් ජාත්‍යාලය උණුසුම් කරගත් මිනිස්සුන්ට ගමේ මිනිස්සුන්ගෙන් දෙලොව රත්වෙන උත්තරයක් ලැබුණා.

ජනපතිතුමන්ට නගරයෙන් ගම දෙසට සිය නෙත් යොමු කරලන්ට දුන් සංවේදී පණිවිඩයක් මේ ජයග්‍රහණය.

ගැමි මිනිසුන් කවදත් අපේකමට ආදරය කළා. මහින්ද රාජපක්ෂ සරම කමිසය අඳින නිසා කැසපට ගසාගෙන කුඹුරට බහින නිසා නගරයේ ජීවත්වන සුපිරි පැලැන්තියට මහින්ද රාජපක්ෂයන් කොහොමත් මුල ඉඳන් ඇල්ලුවේ නැහැ.

එය ගමේ මිනිසුන් එදා ඉඳන්ම හොඳින් දැනගෙන සිටි කාරණයක්. හෙළ සිරිතට විරිතට අනුව හැදුණු ඇලේ දොළේ කෙතේ ජීවත්වන මිනිසුන් මහගොවියා ගේ පුතා මෙවර බේරා ගැනීම ඉතිහාසයේ විශ්මිත තීරණයක් බව පැහැදිලිවම කිව යුතුයි.

මේ ජයග්‍රහණය වඩාත් ඵලදායිවීමට පාලකයාගේ අවධානයට යොමු විය යුතු යැයි ඔබවහන්සේගේ දකින පැතිකඩ මොනවාද?

මහින්ද රාජපක්ෂ නම් සිංහලයා රජ වීම රටෙහි වාසනාවක්. සොබා දහම විසින් එවැනි මිනිසුන් කලින් කලට බිහිකර තම පැවැත්ම තහවුරු කර ගන්නවා. කෙතරම් නින්දා අපහාස මහින්ද රාජපක්ෂයන් කරා පැමිණියද රටක් ජාතියක් සතු වාසනා ශක්තිය එසේ අඩපණ කළ නොහැකි බවට මෙය හොඳ පාඩමක්.

මේ රටේ මිනිසුන් ආගම දහම සමඟ කෙතරම් බැඳී සිටියේද යන්න මැතිවරණ ප්‍රතිඵලවලින් මනාව පිළිබිඹු වුණා. ඉස්සර වගේ මිනිසුන් බොරුවෙන් මායාවෙන් මුලාකළ නොහැකි බව මෙවර ඔප්පුකර පෙන්නුවා.

හැබැයි ජනාධිපතිතුමා හොඳටම දැන් දන්නවා තමන්ට සැලකුවෙ කොස් පොළොස් මිසක් සොසේජස් නොවන බව. මිනිසුන්ගේ විනාශය ළං වුණාම හිසේ සිට පාදාන්තය දක්වා අසත්පුරුෂකම දුෂ්ටකම ද්‍රෝහීකම පිරී ඉතිරී ගිහින් අන්තිමට අතීසාරයක් වෙන බව ලෝකය ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙක් දන්න කාරණයක්. ලංකා සමාජයේ රජවිය යුත්තේ කෙරුම්කාරයන් නොවන බව අනාගතය මෙයින් පාඩම් ඉගෙන ගන්න ඕනෑ.

දැන් සියල්ල සාමකාමීයි. රටටත් ජාතියටත් අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය ලෙසම ලැබුණා. දැන් ජනාධිපතිතුමන් සහ මෙම රජය කළ යුතු ප්‍රමුඛතම කාර්යය නම් අධිරාජ්‍යයකු සේ මහා ධර්මිෂ්ඨ පාලන ක්‍රමවේදයක් ලංකා ජනසමාජය තුළ ස්ථාවර කිරීමයි.

අපේ මිනිසුන් බෙහෙවින් රටට ආදරය කරන අතර මහා පාලකයාටත් එතරම්ම ඇලුම් කරනවා. මෙතරම් මිනිසුන්ගේ සෙනෙහයක් දිනාගත් පාලකයෙක් මෑත යුගයේ බිහි නොවුණු බව පක්ෂ විපක්ෂ සියල්ලෝ මුළු හදවතින්ම පිළිගන්නා කරුණක්. මහින්ද රාජපක්ෂයන්ට වැරදිය නොහැකියි. එය ලංකා ජන සමාජයේ මුල් බැසගත් සිද්ධාන්තයක් වී අවසානයි.

මේ මොහොතේ ජාතියක් බලාපොරොත්තු වෙන මහා සෞභාග්‍යය මේ පාලකයා විසින් ඇතිකළ යුතුමයි. එම වගකීමෙන් ඔහුට පලායන්න බැහැ.

රටක් විදිහට සාමයෙන් සැබෑ සංවර්ධනයක් ලැබීමට අවධානය යොමුවිය යුතු විශේෂ අංශයන් මොනවාද?

අප සියල්ලෝම වත්මන් ජනපතිගෙන් බලාපොරොත්තු වන ඍජු බලාපොරොත්තු රැසක් තිබෙනවා. එනම් “මායිම්ගම්” “සුළු ජාතීන්” නම් වචන සමාජ ශබ්ද කෝෂයෙන් ඉවත් කළා සේ නාගරිකයා, ගැමියා, කුලය යන කාණ්ඩ කිරීම් මත වරප්‍රසාද බෙදා හැරීම යම් තරමකින් මෙතෙක් සිදුවී නම් යළි එය සිදු නොවිය යුතුමයි.

මෙරට අන්ත දිළිඳු යාචක දරුවාගේ පවා හැකියා දක්ෂතා කුසලතා විනිවිද හඳුනාගත හැකි පාලන නෙතක් ජනාධිපතිතුමනි ඔබට හිමිවිය යුතුමයි. අතීතයේ පටන් මේ දිවයින දිවිහිමියෙන් සුරැකි භික්ෂු සමාජය දෙස ඔබේ අවධානය සිය දහස් ගුණයකින් වැඩි කළ යුතුමයි.

රට, ජාතිය, ආගම වෙනුවෙන් දරුවන් පූජා කළ රණවිරුවන් ගේ මවුපියන්ට පසුගිය කාලයේ මහත් ඇගැයීමක් ලැබුණා. එමෙන්ම ඔවුන්ට වටිනාකමක් ද මහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සේ සම්භාවනීයත්වයක් ද ලැබුණා. එහෙත් දරුවකු ශාසනයට පූජා කළ අම්මෙකුට තාත්තෙකුට මෙතෙක් නො ලැබුණ සමාජ වටිනාකමක්, ඇගැයීමක් ඔබතුමන් මගින් හෝ හිමිකර දිය යුතුමයි.

දරුවෙක් සසුනට පූජාකළ මවුපියන්ට ඇති එකම සතුට පරලොව ගැන සිතා පින් අනුමෝදන් වීම පමණද? මෙවන් පාලකයෙක් යටතේ එසේ විය යුතු නැහැ. දරුවන් සසුනට පූජාකරන අහිංසක අම්මල තාත්තලට ගෞරවණීයත්වයක් මෙන්ම සම්භාවනීය පුරවැසි භාවයක් හිමිවන්නේ නම් මීට වඩා සසුන්කෙත බබලනු නිසැකයි.

එමෙන්ම හඳුනාගත් තෝරාගත් සඟ පරපුර පමණක් නොව ඈත දුෂ්කර අන්ත දිළිඳු දායකයන්ගෙන් යැපෙන, වැඩ සිටින්නට තැනක් නොමැති, මහා සංඝයා මෙන්ම පිරිවෙන් වඩින්නට දානෙට පිංකමට වඩින්නට මග දිගේ පැය ගණන් වැඩ ඉන්න දුක් විඳින සාමණේරයන් වහන්සේලා දෙස ඔබතුමන්ගේ අවධානය යොමු නොවුණහොත් උගත් බුද්ධිමත් රටට දැයට ඇලුම් කරන චීවරය ජීවිතය කරගත් භික්ෂු පරපුරක් නිර්මාණය නොකළහොත් ඔබෙන් පසුව අරාජික යුගයක් යළි එනු නොඅනුමානය.

මහාතෙරපාදයන් වහන්සේලා පිළිබඳ පමණක් නොව පුංචි පුංචි සාමණේරයන් වහන්සේලාට තරුණ භික්ෂූන් වහන්සේලාට දෛනිකව ඇතිවන දුක් දොම්නස් කරදර, විපත් පිළිබඳ මෙන්ම උන්වහන්සේලාගේ අවශ්‍යතාවයන් පිළිබඳ මීට වඩා වැඩි අවධානයක් මේ බෞද්ධ රාජ්‍යයෙන් බලාපොරොත්තු විය යුතුයි.

ගිහි සමාජයට දක්වන අවධානයම හෝ ඊට වැඩි අවධානයක් සාමණේර භික්ෂුන්ගේ දෛනික ජීවිත කෙරෙහි ඇතිකළ යුතු අතර ගිහි සමාජය කෙතරම් පරිපූර්ණ කිරීමට උත්සාහ කළත් සම්භාවනීය සඟ පරපුරක් බිහි නොකළහොත් මෙම සංවර්ධනය අංගවිකල වනු ඇත.

යම්කිසි පිරිමියෙක් හෝ කාන්තාවක් කුමන භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව හෝ ඇඟිල්ල එසවීම ඔහුගේ හෝ ඇයගේ පරිහානියේ පළමු සලකුණයි. භික්ෂූන් වහන්සේලා මහත් සෙනෙහසින් සුරකින කවදත් උන්වහන්සේලාට අපේ හාමුරුවනේ ලෙසින් කටපුරා කතා කරන ජනපතිතුමන් සියලු දේශපාලනඥයන්ට පරමාදර්ශකි. කරුමය තමා එතුමාගේ මෙම පුරුද්ද ඇතැම් පහළම සිටින දේශපාලන චරිතවලට ගලා නොයෑම.

රටක සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී ළමා පරපුර ගැන වැඩි අවධානයක් යොමු කළයුතු නොවේද?

මම හැමදාම කතා කළ දෙයක් තමයි අපේ සමාජයේ හැමෝම සංවර්ධනය කරන්නට ඔප කරන්නට බබලවන්නට උත්සාහ කළේ ඔපය පමණයි. හරය ගැන කිසිවකුගේ අවධානයක් යොමු වුණේ නැහැ.

රටක සංවර්ධනය උදෙසා කවදාකවත් ඔපය සංවර්ධනය කළාට ප්‍රයෝජනයක් නැහැ. රටක ජාතියක හරයයි සංවර්ධනය විය යුත්තේ. නිදසුනක් විදිහට මවුවරුන් උදෙසා පෝෂණ මල්ලක් දෙනවා.

එහෙත් පෝෂණය වූ මවුවරුන් තුළ සුවඳවත් මවුගුණ නොමැති නම් විලිබිය නැති අපේකමක් සංස්කෘතියක් දන්නෙම නැති මවු පරපුරකින් යහපත් ළමා පරපුරක් බිහිවෙයිද? සම්භාවනීය පෞඩත්වයක් ඇති ශ්‍රේෂ්ඨ දුවෙක් පුතෙක් දායාද වන්නේ පෝෂණ මල්ලෙන් නොවේ. එය අල්පමාත්‍රික වූ බලපෑමක් කරයි.

නමුත් අපේ නව පරපුරට ළමා වියේදී පටන් හැකිනම් පාසල තුළ සිටම සිංහලකම මවුපිය පදවියක පරමාදර්ශීබව උදෙසා සිත තුළ තිබිය යුතු බුදු ගුණයන් දැන් ප්‍රගුණ කළ යුතුයි.

අනෙක් කරුණ තමා රජය අධ්‍යාපනය සඳහා වැයකරන මුදල් දිගුකාලීන ආයෝජනයක් විය යුතු වූවත් එහි ප්‍රතිඵල මෙරටට ලබා ගැන්මට නම් උගතුන් නැණවතුන්ට පමණක් නොව අල්ප හැකියා ඇත්තවුන් ද රජු විසින් ඇගයිය යුතුය. හොඳට මතක තියාගන්ට සමාජයේ මිනිස්සුන්ගෙන් වැඩිවැඩ කරව ගන්ට කලින් මෙතෙක් කරන වැඩේට ඇගයීමක් ලබාදිය යුතුයි. කරන වැඩේ ලෝබ නැතිව අගයනවා නම් සමස්ත සමාජයම බොහොම ප්‍රබෝධයෙන් ගුණාත්මක යමක් සමාජයට එකතු කරයි.

අපේ සමාජයේ ඕනෑම තැනක නමයන පිරිසකුත් හමයන පිරිසකුත් වටේට ඉන්නවා. හමයන්නෙ කාගෙවත්; නම යන්නෙ කාගෙවත් කියන සිතිවිල්ල පාලකයන් විසින් විනිවිද බවකින් අවබෝධ කර ගත යුතුයි.

ඉහළින් ලැබෙන නියෝග මත ඉහළින් ඉටු කරන්නට රෑ දවල් නොබලා සිය දරු පවුල් අමතක කොට දුක් මහන්සි වෙන වැඩ කරන මිනිසුන්ගේ පිටට තට්ටු කර “ඔබ හොඳට වැඩේ කරල තියෙනව” කියල ප්‍රධානියාට හැකිනම් කතා කරන්නට වැඩ කළ කෙනා හඳුනා ගන්නට ඵලදායි සමාජයක් ගොඩ නංවන්නට ඒක හොඳ කෙමක් වේවි. එහෙම නැතිව වීදුරු කුටියේ සිටි පුයර බබාලට කොච්චර ඇගයීම් කළත් ඒ ඇගයීම දෙලොවටම නැති ඇගයීමක්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා