පළාත් පාලන ජාතික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතියට

 පළාත් පාලන ජාතික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතියට

පළාත් පාලන ආයතන ශක්තිමත් කැරෙන ‘’පළාත් පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කැරිණි.

පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත මඟින් පළාත් පාලන ආයතන වඩාත් ශක්තිමත් කෙරෙන අතර එය ශ්‍රී ලංකා පළාත් පාලන ඉතිහාසයේ ඉදිරිපත් වූ පළමු ජාතික ප්‍රතිපත්තිය වේ.

මේ වැඩපිළිවෙළ යටතේ සමාජ හා ආර්ථික අභියෝග ජය ගැනීමට මෙන්ම ජනතාවගේ සේවා අවශ්‍යතා හා ප්‍රාදේශීය සංවර්ධන අවශ්‍යතා සපුරාලීමට පළාත් පාලන ආයතනවලින් ඉටු කළ හැකි කාර්යභාරය සඳහා මෙමඟින් ශක්තිමත් පදනමක් ඇති වන බව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සහ ප්‍රාදේශීය ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මඟින් සිවිල් සමාජයේ විවිධ තරාතිරම්වල ජනතාවගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන සකස් කළ මේ ජාතික ප්‍රතිපත්තිය අංක 1632 / 26 දරන අති විශේෂ ගැසට් නිවේදනයකින් මඟින් පසුගිය වසරේ දෙසැම්බර් මස 18 දා ප්‍රකාශයට පත් කැරිණි.

රටේ ජනතාව , තමන් ජීවත් වන ප්‍රදේශයේ සංවර්ධන අවශ්‍යතා අනුව කටයුතු කරන කුඩා ප්‍රමාණයේ සංවර්ධන ආයතන ලෙස පළාත් පාලන ආයතන ක්‍රියාත්මක විය යුතුය යන මතයේ ජනතාව සිටින හෙයින් මේ ජාතික ප්‍රතිපත්තිය සකස් කළ බව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.

එම ජනමතය අනුව ඉදිරියට යමින් සමෘද්ධිමත් ගමක් සඳහා ජනතාවාදි ප්‍රාදේශීය ආණ්ඩුකරණයක් ඇති කැර පවත්වා ගෙන යාමට මේ ජාතික ප්‍රතිපත්තිය මඟින් සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

පළාත් පාලන ආයතනවල යහපාලනයට සහාය දෙන පරිසරයක් සැකසීම මේ ප්‍රතිපත්තියේ තවත් අරමුණක් බව පෙන්වා දෙන ඇමැතිවරයා එම ඉලක්ක ක්‍රියාවට නැංවීම සඳහා පළාත් පාලනයේ දැනට පවතින විෂය පථය , රටේ දේශපාලන , ආර්ථික හා සමාජ වෙනස්කම්වලට අනුව පුළුල් කිරීම මෙන්ම ප්‍රමාණවත් බලතල ලබාදීම ද සිදු කරන බව කියා සිටියේ ය.

මෙයට අමතරව පළාත් පාලන ආයතනවලද , ඒවාට සම්බන්ධ වෙනත් පාර්ශ්වයන් තුළද , උනන්දුවක් , අවබෝධයක් සහ ඉදිරි දැක්මක් ඇති කිරීම , ක්‍රියාවට නැංවීම මේ මඟින් සිදු කැරේ.

මේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නිල අධිකාරිය ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් පළාත් පාලනය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු යොදා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා