සබරගමු පළාත් සභා මන්ත්‍රී ජයතිලක පොඩිනිලමේ ගෙන්

එ.ජා.ප. සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව

සබරගමු පළාත් සභා මන්ත්‍රී ජයතිලක පොඩිනිලමේ ගෙන්
අභියාචනාධිකරණයට පෙත්සමක්

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් තමා ඉවත් කිරීමට එ.ජා.ප. ක්‍රියාකාරී කමිටුව ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ජයතිලක පොඩි නිලමේ මහතා අභියාචනාධිකරණය හමුවේ පසුගියදා (05) පෙත්සමක් ගොනු කෙළේය.

එක්සත් ජාතික පක්ෂය, එහි නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් තිස්ස අත්තනායක, සබරගමුව පළාත් සභාවේ ලේකම් ලලිත් දොඩම්කොටුව මහත්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

අවුරුදු විසි දෙකක දේශපාලන ජීවිතයක් සහිත තමා 1994 පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වූ බවත් සබරගමුව මහ ඇමති ධූරය හෙබවීම සඳහා මන්ත්‍රී ධූරයෙන් අස්වුණු බවත් පොඩි නිලමේ මහතා සිය පෙත්සමේ සඳහන් කරයි.

2008 පැවති පළාත් සභා මැතිවරණයේදී මනාප ඡන්ද 27, 285 ක් ලැබූ බවත් එ.ජා.ප.යට ලැදිව සහ නීතිගරුකව කටයුතු කළ බවත් සඳහන් කරන පොඩි නිලමේ මහතා 2010 ජනාධිපතිවරණය සඳහා එ.ජා.ප.ය මාක්ස්වාදී විමුක්ති පෙරමුණ සමඟ එක්ව පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහය දීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කිරීම පිළිබඳව තමා කනස්සල්ලට සහ සිත් කැලඹීමට පත් වූ බව සඳහන් කරයි.

මේ තීරණය සම්බන්ධයෙන් පක්ෂයේ කැපී පෙනෙන සාමාජිකයින් සිය විරෝධය පළ කළ බවද මේ තත්ත්වය පක්ෂයේ සහ එහි සාමාජිකයින්ගේ දේශපාලන පැවැත්මට අහිතකර ලෙස බලපාන බවද පෙත්සම්කරු සඳහන් කරයි.

මේ තීරණය සම්බන්ධයෙන් පෙත්සම්කරු විවේචන එල්ල කළ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේ දී සහයෝගය දැක්වීමට රටේ ආරක්ෂාව වෙනුවෙන් තමා තීරණය කළ බව පොඩිනිලමේ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සහ මහනුවර ජනාධිපති මැඳුරේදී රාජපක්ෂ මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් එ.ජා.ප. මූලස්ථානයට නිදහසට කරුණු දක්වන ලෙස තිස්ස අත්තනායක මහතා විසින් 2009 .12.26 දිනයට එවන ලද ලිපියක් 2009.12.30 දා තමාට ලැබුණු බව සඳහන් කරන පෙත්සම්කරු තමා ශ්‍රී.ල.නි.පයේ සාමාජිකත්වය ලබා ගත් බවට එහි සඳහන් චෝදනා අසත්‍යයක් බව සඳහන් කරයි.

මෙම ලිපියට පිළිතුරු දීමට මාසයක් කල් ඉල්ලමින් 2010.01.01 දා තමා ලිපියක් යැවූ අතර 2009.12.26 දා එවූ ලිපියට ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් තමා පක්ෂයෙන් නෙරැපීමට 2010.01.04 දා පැවති ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී තීරණය කෙරුණු බව සඳහන් කරමින් 2010.01.05 දිනැති ලිපියක් තිස්ස අත්තනායක මහතා තමන්ට එවූ බව පොඩිනිලමේ මහතා සඳහන් කරයි.

මෙම නෙරැපීම නීති විරෝධී සහ ස්වභාවික යුක්තියට පටහැනිව ද්වේෂ සහගත ලෙස සිදුකර ඇතැයි පෙත්සම්කරු සඳහන් කරයි. විනය කමිටුව හමුවට තමා කැඳවීමක් සිදු නොවූ බව සඳහන් කරන පෙත්සම්කරු සබරගමුව පළාත් සභාවේ ලේකම්වරයා 2010.01.12 දාතමින් ලිපියක් එවමින් පක්ෂයෙන් නෙරැපීමට එරෙහිව නීතිමය පියවරක් ගන්නේද යන බව විමසා ඇති බවද සඳහන් කරයි.

සබරගමුව පළාත් සභාවෙන් තමන් නෙරපා හැරීමක් සිදු වී නොමැති අතර එම තනතුර පුරප්පාඩු වී නොමැති බවද පෙත්සම්කරු සඳහන් කරයි.

පක්ෂයෙන් තමන් නෙරැපීම තමන්ගේ දේශපාලන ජීවිතයට අහිතකර ලෙස බලපාන බවත් සිය සිත් වේදනාවට තුඩු දෙන අතර සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රී ධූරය අහිමි වීමටද හේතු විය හැකි බවද පෙත්සම්කරු සඳහන් කරයි.

පක්ෂයෙන් තමන් නෙරැපීම වලංගු නොවන බව ප්‍රකාශයට පත් කර එම තීරණය බලරහිත කරන ලෙසත් සබරගමුව පළාත් සභාවෙන් තමන් නෙරපා හැර නොමැති බවත් තවදුරටත් මන්ත්‍රීවරයෙක් බවටත් ප්‍රකාශ කරන ලෙසත් පොඩිනිලමේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා