මෙදා මධ්‍යම පළාතේ කොළ කොඩියක් දකින්නවත් නෑ

මෙදා මධ්‍යම පළාතේ කොළ කොඩියක් දකින්නවත් නෑ

සබරගමුව ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් -

බරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා මෙවර මධ්‍යම පළාත් සභා මැතිවරණයේ මහනුවර දිස්ති‍්‍රක්කයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබ සිටී. අද මධ්‍යම පළාතේ ඡන්දදායකයන්ගේ උද්යෝගය හා මැතිවරණ මෙහෙයුම් කටයුතු සහ රටේ වර්තමාන පාලනය ජනතාව අතර පවතින විශ්වාසය, පිළිගැනීම හා මැතිවරණයේ ජයග‍්‍රහණය ගැන රජයේ බලාපොරොත්තුව ආදිය පිළිබඳ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.

  • පළමුව නැඟෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. එහි උණුසුම යන්නත් කලින් සබරගමුව හා උතුරුමැද පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. දැන් මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණය පවත්වනවා. උතුරු නැඟෙනහිර යුද්ධයකුත් කරගෙන මේ මැතිවරණවලට අවතීර්ණ වීමෙන් රටේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල වෙනවා නේද?

මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලින් තමන්ගේ නිදහස භුක්ති විඳින රටක්. නිදහස ලැබූ දා ඉඳලා මේ වන තෙක් දිගින් දිගටම මැතිවරණ පවත්වන්න සිද්ධ වුණා.

ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක අවශ්‍යතාව මතයි. ඒ නිසා රටේ ආර්ථිකයේ සුබ අසුබ බල බලා මැතිවරණ තියපු යුගයක් ලංකාවේ නැහැ.

මේ රටේ යුද්ධය ඉවර වූ වහාම රටට ඔබින ජනතා හිතවාදී යහපාලන ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ජනතාවට තමන්ගේ අභිමතය පරිදි රටට සුදුසු පාලන ක‍්‍රමයක් බිහිකරන්න ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනේ.

කොහොම වුණත් පවත්වාගෙන ආපු සියලු පළාත් සභාවල අවසන් කාලපරිච්ඡේදයයි ගෙවීගෙන යන්නේ. ඒ නිසා මධ්‍යම හා වයඹ මැතිවරණයත් පැවැත්විය යුතු යුගයකයි තියෙන්නේ.

නැඟෙනහිර පළාත් සභා මැතිවරණය හාත්පසින්ම වෙනස් කාරණාවක්. ඒ මොකද දශක දෙකහමාරක කාලයක් සිවිල් පාලනයක් නොතිබිච්ච, සාමාන්‍ය ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයක සිහිනයක්වත් දකින්න නැති ම්ලේච්ඡ මිනීමරු ත‍්‍රස්තවාදයෙන් භීතියට පත් ප‍්‍රදේශයක මිනීමරු ත‍්‍රස්තවාදය තුරන් වූ දකුණේ ජනතාව භුක්ති විඳින අයිතිවාසිකම් තමන්ටත් ලබාගන්න ජනාධිපතිතුමාගේ නායකත්වය හරහා උතුරු නැඟෙනහිර ජනතාවගේ බොහෝ බලාපොරොත්තු තිබුණා.

ඒ බලාපොරොත්තු හමුවේ ද්‍රවිඩ ජනතාවගේ ජාතික ආගමික නිදහස, සංස්කෘතික අනන්‍යතාව ඒ අයුරින් ම රැකලා දුන්නේ ඒ පළාතේම කෙනෙක් මහ ඇමැතිකරලා.

ජාතිවාදයක් නෑ. ආගම් භේදයක් නෑ. මුළු රටේම සියලු ජාති, ආගම් ඇදහිලි අමතක කරලා එකම රටක ජීවත්වන ශී‍්‍ර ලාංකිකයෝ කියන පණිවිඩය මුළු ලෝකයටම එතැනින් ලබා දුන්නා.

නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේ වටිනාකම ඒ ප‍්‍රදේශයේ ජනතාවට ලැබුණු ප‍්‍රතිලාභ හරහා ජනතාව තේරුම් අරගෙන ඉවරයි.

සබරගමුව, උතුරු මැද පළාත් සභාවට ඊට හාත්පසින් වෙනස් මුහුණුවරක් තිබුණේ. ආණ්ඩු පක්‍ෂයේ යම් ඝණ පූර්ණවලට ගැටලු ආවා. ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන්න යනකොට කුලල් කාපු, කකුලෙන් ඇදපු විපක්‍ෂ කණ්ඩායම් තිබුණා.

ඒ හරහා එහි පාලනය කරගෙන යන්න අපිට බාධා එල්ල වුණා. සබරගමුව ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍ර කණ්ඩායම් අපිත් එක්ක එකට පළාත් සභාවට ඇවිත් ජනතා සුබසිද්ධියේදී අකුල් හෙළුෑ අවස්ථා තිබුණා. ජනතාව ඊට පිළිතුරු දුන්නා. උතුරුමැදත් ඒ වගේ.

  • ආණ්ඩුව එකවර පළාත් සභා මැතිවරණයකට නොගිහින් වෙන වෙනම පළාත්වල ඡන්දේ තිබ්බේ ඇයි?

සාමාන්‍යයෙන් මැතිවරණයක් ගත්තහම අපි ඒක කොහොම හරි බුද්ධිමත්ව, කල්පනාකාරීව ජයග‍්‍රහණය කිරීම සඳහා ඕනෑම පක්‍ෂයක් ක‍්‍රමෝපායන් අනුගමනය කරනවා.

ඒක කාටවත් අහන්න අයිතියක් නැහැ ඇයි කියලා, රටේ විධායක ජනාධිපතිවරයාට මේ වගේ ආත්ම ශක්තියක් තිබීම ලොකු දෙයක්. එකින් එක හරි මැතිවරණයකට යාම.

අනෙක තමයි මුළු රටේම පළාත් සභා විසුරුවා හැරියා කියන්නේ ආරක්‍ෂාවත් ප‍්‍රශ්නයක්නේ. එතකොට උතුරු නැඟෙනහිරට අවශ්‍ය මෙහෙයුම්වලට ආරක්‍ෂාව සපයන්නේ කොහොමද?

අනික එක්සත් ජාතික පක්‍ෂය කාලේ ඡන්දය නැතිව අවුරුදු කීයක් තිබුණද? අනිත් කාරණය තමයි මැතිවරණයක් තියන්නේ ඇයි කියලා ජනතාව අහනව නම් ඒ ජනතාව ඡන්දෙ නොදී ඉන්න එපායැ.

එහෙම වෙලා නෑ. අපි මෙතෙක් ලබාගත්ත ජයග‍්‍රහණවලට වඩා විශිෂ්ට ජයග‍්‍රහණයක් මෙවර මධ්‍යම හා වයඹින් ලබාගන්නවා. ඒකෙන් තේරෙනවා මේ රටට සුදුසු මැතිවරණයන් ඕනේ කියලා.

  • පළාතින් පළාතට ඡන්දය පැවැත්වීම මධ්‍යම ආණ්ඩුවේත් සමස්ථ බලය කේන්ද්‍රගත කරගෙන කොහොම හරි පළාත් සභාවල් දිනවීමේ උපක‍්‍රමයක් නේද මේ කි‍්‍රයාත්මක කරන්නේ?

කොහොම හරි කියන වචනයට මම එකඟ වෙන්නේ නැහැ. මොකද අපේ ජනාධිපතිතුමා අවුරුදු 3 ක කාලයකදී මේ රටේ බිහිවෙච්ච නායකයන් අතර ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්.

ඒ වගේම මහින්ද චින්තනය වැඩපිළිවෙළට අනුව මේ රජයේ පාලන තන්ත‍්‍රය ජනතාව අපේක්‍ෂාවෙන් ඉන්නේ. පසුගිය දවසක මහනුවර රජගෙදරට එක්සත් ජාතික පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් 5000 එනවා කිව්වා.

අන්තිමේදී 6103 ක් ඇවිල්ලා හිටියා. ඒ නිසා මේ තරම් ජනතාව ඒකරාශී වෙච්ච යුගයක කොහොම හරි බලය ලබාගන්න අවශ්‍යතාවක් නැහැ. ජනතාවගේ කැමැත්ත මත අපි දැනටමත් ඒ ජයග‍්‍රහණය සහතික කරගෙන ඉවරයි.

ඒ නිසා ඔය කොහොම හරි දිනවන කථාව නෙමෙයි. කොහොම හරි දිනන්න පුළුවන් වෙයිද කියලා එ. ජා. පයෙන් තමයි අහන්න ඕනේ.

  • රටේ සමස්ත පළාත් සභා මැතිවරණවල ජයග‍්‍රහණය මෙපමණ විශ්වාසයකින් කථා කරන්නේ කොහොමද?

අද සාමාන්‍යයෙන් මේ රටේ ඕනම පුරවැසියෙකුට තේරෙනවා ජනාධිපතිතුමා වසර 45 ක දේශපාලන පරිණතභාවයකින්. අපේකම, ගමේකම අගයන නායකයෙක් හැටියට මේ රටේ පාලනය ගෙන යන ආකාරය ශී‍්‍ර ලාංකිකයෙක් හැටියට එතුමා ඔප්පු කරලා තියෙනවා.

අද නුවරඑළිය, නාවලපිටිය, ගම්පොළ, මාතලේ දිස්ති‍්‍රක්කවල සිදුවෙලා තියෙන දැවැන්ත සංවර්ධන වැඩ බලාපුවහාම කන් ඇහෙන, ඇස් පෙනෙන මනුස්සයෙක් විපක්‍ෂයට ඡන්දෙ දෙයිද? වතුකරයේ ජනතාව නියෝජනය කරන මධ්‍යම පළාතේ ඒ ජීවිත ගොඩගන්න මොන තරම් සහන දීලා තියෙනවද? මේ රටේ කොයි නායකයාද ඔය ටික කෙළේ.

අනෙක මේ රටේ සියලු පක්‍ෂ සමඟ එකට එකතුවෙලා අත්වැල් බැඳගෙන මේ රට අපි එක්සේසත් කරමු. ගොඩනඟමු කියලා කොයි නායකයා ද කිව්වේ. ප‍්‍රධානම කාරණය අපි ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න ඕනේ.

අද මධ්‍යම පළාතේ වයඹ පළාතේ එක කොළ පාට කොඩියක් දකින්න තියෙනවාද? අද එක්සත් ජාතික පක්‍ෂයේ බලමුළු සියල්ලක් ම බිඳිලා. අතරින් පතර පාක්‍ෂිකයෝ හිටියත් පක්‍ෂය ප‍්‍රදර්ශනය කරන්න යන්නේ නැහැ.

ඒකට හේතුව ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙළට බාධාවක් වෙයි කියලා. සිතිවිල්ලකින්වත් එක්සත් ජාතික පාක්‍ෂිකයෝ ජනාධිපතිතුමාට ද්‍රෝහි වෙන්නේ නැහැ.

එහෙම ජනතාවක් ඉදෙද්දී ඇයි අපිට කියන්න බැරි මේ පළාත් සභාව අපි විශිෂ්ට ජයග‍්‍රහණයක් කරනවා කියලා.

  • උතුරේ සටන් වදින රණවිරුවෝ මේ වන විට සුවිශේෂී ජයග‍්‍රහණ අත්පත් කරගෙනයි ඉන්නේ. මේ ජයග‍්‍රහණය මුල්කරගෙන ආණ්ඩුව දේශපාලන වාසි ලබාගැනීමේ මෙහෙයුමකට යොමුවී සිටින බව විපක්‍ෂය චෝදනා කරනවා නේද?

විපක්‍ෂය හැම වෙලාවකම තමන්ට බලයට අනුගත වෙන්න පුළුවන් ක‍්‍රමෝපායන් හොයනවා. ඒක අපි කවුරුත් දන්නවා. නමුත් විපක්‍ෂයට ඒවා කි‍්‍රයාත්මක කරන්න පුළුවන් පරිසරයක් කොහේවත් නැහැ.

ඒ නිසා විවිධ වහසි බස් දොඩමින් එක එක ආකාරයට මේ ජනතාව නොමඟ යැවීම සඳහා විවිධ ප‍්‍රකාශ රනිල් වික‍්‍රමසිංහ මහත්මයා ප‍්‍රමුඛ එ. ජා. ප. නායකයෝ කියනවා.

එක්සත් ජාතික පක්‍ෂයටත් දැන් මොනවා හරි සටන් පාඨ එපායෑ. නමුත් මොන සටන් පාඨ දේශපාලන වේදිකාවට ගෙනාවත්, මේ උතුරේ යුද්ධය අවතක්සේරු කරන්න ජනතාව කැමැති නැහැ.

වණේ ඇති මිනිහා විතරයි වණේ රුදාව දන්නේ. අද ජනාධිපතිතුමාට මේ රටේ වීරෝදාර රණවිරුවෝ ගැන ලේ කැක්කුමක් තියෙනවා. ඇයි එතුමාගේ පුත‍්‍රරත්නයකුත් ආරක්‍ෂක සේවයට බැඳිලා.

ඔය විපක්‍ෂයේ කෑගහන ඇතැම් නායකයෝ උතුරේ යුද්දෙ කොළඹ ඉඳලා කතා කරනවා. අපේ ජනාධිපතිතුමා ජීවිතය පරදුවට තියලා වන්නි සටන් බිමට ගියේ නැද්ද? කොයි නායකයාද අමෝරාගෙන එන කාලතුවක්කු, වෙඩි උණ්ඩ අතරින් යුද පිටියට ගියේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයට, ලේකම්වරයෙක් පත් කළා ගෝඨාභය රාජපක්‍ෂ මහතා. එතුමා වීරෝදාර රණවිරුවොත් එක්ක ගිරි දුර්ග, වන දුර්ග අතරේ කි‍්‍රයාන්විත රාජකාරියේ හිටපු යුද සෙබළෙක්.

ඒ රණකාමීත්වය අද එතුමාගේ ආරක්‍ෂක ලේකම් ධූරයට ලොකු හයියක්. මේකට සිවිල් පරිපාලන නිලධාරියෙක් දැම්මා නම් යුද්ධ කරන්න පුළුවන්ද? ඒක තමයි ජනාධිපතිතුමාගේ සුදුස්සාට සුදුසු තැන දීමේ දැක්ම.

අද ඕවා බලාගෙන ඉන්න බැරි යූ. ඇන්. පී. ය මේ යුද්ධය හෑල්ලුවට ලක්කරනවා. අද ජනතාව විපක්‍ෂයේ දේශපාලනඥයන්ට වඩා බුද්ධිමත්.

ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂය මොනව කීවත්, මැතිවරණයේ නියත ජයග‍්‍රහණයෙන් ජනාධිපතිතුමාගේ දෑත් තව තවත් ශක්තිමත් වෙනවා.

  • ඔබ කීප වතාවක්ම ප‍්‍රසිද්ධ වේදිකාවේ ප‍්‍රකාශ කළා මෙවර එස්. බී. දිසානායක මහතා පැරැදවීමට එම පක්‍ෂයේම කුමන්ත‍්‍රණයක් තියෙනවා කියලා. ඒ කොහොමද කියන්නේ?

දේශපාලනයට ආවට පස්සේ එස්. බී. වේගවත් ගමනක් ගියා. නමුත් ඒක එතුමාට ආරක්‍ෂා කර ගන්න බැරි වුණා. ඒ ගමන් විලාසය ගැන තක්සේරු කරන කොට අපිට හිතෙනවා රනිල් එස්. බී. දිසානායක මහ ඇමැති අපේක්‍ෂකවරයා හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ ඔහුගේ දේශපාලන ගමන අවසන් කරන්න කියලා.

එස්. බී. එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික නායකයෙක්. මොකටද පළාත් නායකයෙක් කරන්නේ. රනිල් වික‍්‍රමසිංහට තිබුණා මේ ජාතික නායකයා රැකගන්න ඕනේ නම් එස්. බී. දිසානායකව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්න.

අන්න එහෙම නම් එස්. බී. ට යූ. ඇන්. පී. ය සලකනවා කියන්න පුළුවන්. එස්. බී. ට තරග වදින්න දුන්නේ ඇයි? එතනින් පැරදුණාම එස්. බී. ට ලොකු කැපිල්ලක් පක්‍ෂය ඇතුළෙන් ගේන්න පුළුවන් නේ.

ඒ දේ නේද මේ වන විට කි‍්‍රයාත්මක වෙන්නේ? එස්. බී. දිසානායක මහ ඇමැති අපේක්‍ෂකයා හැටියට ඉදිරියට ගේන්න එක්සත් ජාතික පක්‍ෂයෙන් කන්ද උඩරට අලුත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වන්නේ නැහැ. එයාට තනියෙන් ඔය ගමන යන්නත් බැහැනේ.

  • එස්. බී. දිසානායක මහතාගේ තරග වැදීම ආණ්ඩුවට අභියෝගයක් නේද?

හීනේකින්වත් හිතන්න එපා. මේ අභියෝගය අපිට නෙමෙයි තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහටයි. හේතුව, එස්. බී. දිසානායක කියනවා එයාගේ කේන්දරේ තියෙනවලු එයා ජනාධිපති වෙනවා කියලා.

අර ටිකක්වත් උදවු කරන්න හිටපු රනිල් වික‍්‍රමසිංහ මේ කියමන හින්දා කොහොමටවත් ම එන්නේ නැහැ. එස්. බී. අපිට කිසිම අභියෝගයක් නැහැ මේක නිකං විහිළුවක්නේ.

  • අනෙකුත් පළාත් සභා මැතිවරණවල වගේ මෙවර මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්‍ෂ, ජනතා විමුක්ති පෙරමුණ බලකොටු බිඳගෙන දහස් ගණනින් පාක්‍ෂිකයෝ එකතු වෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තු මුදුන්පත් කරගන්න ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙළ මොකක්ද?

ඔය බළකොටු සියල්ල බිඳගෙන ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න එන කිසිම විපක්‍ෂයේ ඡන්දදායකයෙක් තමන්ගේ වාසිය තකා එක්වෙන පිරිසක් නෙමෙයි.

ඔවුන්ට විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් මුදවා ගන්නේ ජනපති මහින්ද රාජපක්‍ෂ බව. ඒකට ශක්තියක් දෙන්න තමයි ඔය පිරිස් එකතු වෙන්නේ.

එමනිසා ජාතිභේද ඉවත දාලා මේ සේනාධිනායකයාව රැකගන්න රටවැසියාට ඕනවෙලා තියෙනවා. මේ රට යුද මුක්ත කලාපයක් බවට පත් වුණා. රටේ සියලු ජනතාවගේ ප‍්‍රශ්න බලාගෙන ඉදෙද්දී විසැඳෙනවා.

රැකියා ලැබෙනවා. රටේ සංවර්ධනය ඉහළ ඉනිපෙත්තකට යනවා. ජනතාවට සහන සැලසෙනවා. ඒ සියලු දේ ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ වෙනවා.

  • පළාත් සභා මැතිවරණයට තව ඇත්තේ සති 2 ක කාලයක්. ඔබට මේ පළාත් සභා ජයග‍්‍රහණය ගැන තිබෙන විශ්වාසය කොහොමද?

මේකේ දෙකක් නැහැ ජයග‍්‍රහණය ඉර හඳ වගේ විශ්වාසයි එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනන බවට. මොකද? අද පුදුම ජනතා පෙළගැස්මක් පළාත් දෙකේම තියෙනවා.

මේ මැතිවරණය විතරක් නෙවෙයි මතුවට එන සෑම මැතිවරණයක්ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් දිනන එක ගැන ආයේ කිසිම සංකාවක් නැහැ. එ. ජා. ප. ය අවුරුදු 17 ක් රට පාලනය කළාට වඩා අපි මේ රට පාලනය කරගෙන යනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා