දෙනුවර යාකර අනාගතයට පාර තැනෙයි...

දෙනුවර යාකර අනාගතයට පාර තැනෙයි...

යඹ මධ්‍යම පළාත් දෙක යාකෙරෙමින් පුත්තලම මහනුවර ඒ-10 මාර්ගයේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල අවසන් කෙරෙමින් පවතී. පාදෙණියේ සිට පුත්තලම දක්වා වූ කිලෝමීටර් 61.37 ක් මිලියන 1149 ක වියදමින් මධ්‍යම රජයේ මග නැඟුම යටතේ සිදුවෙයි.

මාර්ගය නිමවන්නේ මේ සද්දන්ත යන්ත‍්‍ර මගින් කාපට් දැමීමෙනි

2007 වසර අවසන් කාර්තුවේදී එවකට මහාමාර්ග සංවර්ධන ඇමැතිව සිටි ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ සහ ජාතිය ගොඩනැගීමේ ඇමැති ද.මු. දසනායක මැතිවරු වයඹ පළාතේ සියලු මැති ඇමැතිවරුන් පිරිවරා ගෙන මුල්ගල තැබීම සිදු කළහ.

එල්.ටී.ටී.ඊ යේ කුරිරු බෝම්බ පුපුරුවා හැරීම් නිසා ඔවුන් දෙපළ අපට අහිමි වුවද එදා තැබූ මුල්ගල පලදරා අදවන විට පළාත් දෙකක් යාකෙරෙන අධිවේගී මහා මාර්ගයක් ජනතාවට උරුම කර දීමට සූදානමින් ඇත.

කිලෝමීටර් 14 කටත් අඩුවෙන් වැඩ අවසන් කිරීමට ඇති මේ මහා ව්‍යාපෘතියේ නිමාව මාර්තු මාසයට යෙදී ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග නැඟුම සංකල්පය මත සෑම මාර්ගයක්ම නිසි අයුරින් සංවර්ධනය විය යුතුයි යන තේමාව යටතේ ඓතිහාසික මහනුවර පුත්තලම මහා මාර්ගය සංවර්ධනය කොට අධිවේගී මාර්ගයක් කිරීමට ගත් තීරණය රටේ ජනතාවගේ ඉමහත් පැසසුමට හේතු වේ.

මාර්ගය දෙපස පළල් කිරීම සඳහා
නැවත බොරලු දමා සකස් කරමින්.

බොහෝ අතීතයේ සිටම මහනුවරත්, පුත්තලමත් අතර මනා වෙළෙඳ සබඳතා ගොඩනැගී තිබුණ බවත්, ලුනු, කරවල, රෙදිපිළි, මුතු කන්ද උඩරටටත් එහි සිට කුරුඳු, ගම්මිරිස්, එනසාල්, කරාඹුනැටි, ඇත්දත්, කරුවල මැණික් පුත්තලම කල්පිටිය මුදු තීරයෙන් මැදපෙරදිග වෙළෙඳුන්ටත් ප‍්‍රවාහනය වූයේ මේ මාර්ගයෙනි. එදා ගවයන්, බූරුවන් තවලම් ගැල් යොදා ගත් බවත් වංශ කතාවල සඳහන් වෙයි.

ඓතිහාසික වශයෙන් එවැනි වටිනාකමක් ඇති මේ මාර්ගය සංවර්ධනය වීම ඉතිහාසයට එක්විය යුත්තකි.

රටේ ඒකීය භාවය සඳහා කෙරෙන සැබෑ යුද්ධයට දැවැන්ත වැයක් යොදවන මේ අවධියේ, රටේ අනෙකුත් ප‍්‍රදේශවල සංවර්ධනයට නෑ බෑ නොකියා මනා කළමනාකරණයකින් කෙරෙන මේ ඉදිකිරීම් දෙස ජනතාව විශ්මිතව බලා සිටිති.

අදහාගත නොහැකි වුවත් කොයිකාගෙත් දෙනෙක් නිතැතින් යොමු වෙන මේ මාර්ගය සංවර්ධනයෙන් කියැවෙන්නේ අද හෙට මනාළියක් ගෙට කැන්දන් එන වටපිටාව එළිපෙහෙළි වීමක් ලෙසනි.

බෝක්කු, පාලම් නැවත
මේ ආකාරයෙන් ඉදිවෙයි

පුත්තලමේ සිට මහනුවර දක්වා කිලෝමීටර් 136 ක් ඇහැට පේන මානයේ බොහෝ දුරට ඉද්ද ගැසුවා සේ පෙනෙන මේ මහා මාර්ගයේ ගාම්භීර පෙනුම මධ්‍යම පළාත් වාසී කොයිකාටත් මහත් ආඩම්බරයකි.

අවසන් අදියරේ ඉදිකිරීම්, අවසන්වීමත් සමඟ අපේ ඉතිහාසයේ මුල් අවධියේ තවලම් හා ගැල්පිට සිට පුත්තලමෙන් නුවරටත්, නුවරින් පුත්තලමටත් කරත්ත කවි කියමින් බඩු රැගෙන ගිය යුගය මෙනෙහි වීමේ වයස්ගත අයට අමතක නොවන්නකි.

දෙනෝදහක් ගමනේ බිමනේ යද්දී ඔවුනට බරපතල හිරිහැරයක් නොවී මේ විසල් කටයුත්ත කරට ගෙන ඉදිකිරීම් කරනුයේ “මාගා” ආයතනයයි.

එක් දිනකදී ශ‍්‍රමිකයන් 250 ක්, වාහන 103 ක්, නිලධාරීන් 95 ක් ඉන්ධන ලීටර් 1080 ක්, බොරලු ලෝඩ් 40 ක්, සිමෙන්ති මළු 80 ක්, කාර්පට් මිශ‍්‍රණය මෙට්‍්‍රක් ටොන් 400 ක් යෙදීමේ භාරදූර කටයුත්ත සිදු කෙරෙනුයේ මාර්ග සංවර්ධන අධිකාරියේ දැඩි අධීක්ෂණය යටතේයි.

ඇදක් පලුද්දක් නොමැතිව ඉංජිනේරු අංශයෙන් ඉදිවෙන සෑම අඩි 6 ක්ම අධි තාක්ෂණය උපයෝගී කරගෙන පීඩන ධාරිතාව මැනීම සිදුකැරේ.

ඉදිරියේදී තවත් වසර 50 කට පහසුවෙන් ගමන් කිරීමේ පහසුව ලබාදීමට මේ සංවර්ධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජය පොහොසත් වී තිබීම වයඹ ජනතාවට ආශිර්වාදයකි. මේ මහා සංවර්ධනයක එක් පැතිකඩක් පමණකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා