රන් කැකුළු කි‍්‍රකට් තරගාවලියේදී සංඛ තිලකරත්න ගෙන් විශිෂ්ට දස්කම්

රන් කැකුළු කි‍්‍රකට් තරගාවලියේදී
සංඛ තිලකරත්න ගෙන් විශිෂ්ට දස්කම්

ශ‍්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන “රන් කැකුළු” කුසලාන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් ලැබීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් විය.

මේ තරගයේ දී සාන්ත පීතර විද්‍යාලයේ අංක 5 වමත් පිතිකරු සංඛ තිලකරත්න පන්දු 100 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 20ක් සමග ලකුණු 99ක් ලබා ගැනීම කැපී පෙනුණි.

සාන්ත පීතර කී‍්‍රඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 152ක් ලබා අසීරු තත්ත්වයක පසුවෙද්දී කි‍්‍රයාත්මක වූ සංඛ අවසන් පිතිකරු වූ ධනුක් වල්පිටගේ (නොදැවී 13) සමග එක්ව ලකුණු 70ක සබඳතාවක් ගොඩ නැගුවේ ය.

ඔවුන් දෙදෙනාගේ කඩුලු සබඳතාව නිමා වූයේ තරගය නිමා වීමට තවත් එක් පන්දුවක් ඉතිරිව තිබියදීය.

බම්බලපිටියේ පැවැති මේ තරගයේ ජයග‍්‍රහණයත් සමග ආනන්ද කී‍්‍රඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ඊයේ (6) දහවල් වන විට කොළඹ ඩී. එස්. සේනානායක, ඉසිපතන, තර්ස්ටන්, මහනුවර සාන්ත අන්තෝනි සහ මොරටුව මේල්ස් කුමාර විද්‍යාල අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටියහ.

එම වටයේ තරග මේ මස 10 දා සිට මේට්ලන්ඩ් පෙදෙස වෙළෙඳ සේවා කි‍්‍රකට් පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

ආනන්ද විද්‍යාලය - සියලුම දෙනා දැවී 223 (50.0)

කෞෂාල් පෙරේරා 82, ඉමේෂ් ජයසේකර 44, තාරක රවිඳු 43 (රශ්මික ෆොන්සේකා 40/3, ෆර්සාද් සම්සුදීන් 44/2, විරත් දෙමටම්පිටිය 19/2, විදංගන පෙරේරා 32/2)

සාන්ත පීතර විද්‍යාලය - සියලුම දෙනා දැවී 222 (49.5)

සංඛ තිලකරත්න 99, ඔෂාන් කරුණාරත්න 40, ධනුක් වල්පිටගේ නොදැවී 13 (ඉෂාන් බණ්ඩාරනායක 36/3, ඉසුරු ජයලත් 45/2)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා