රණවිරුවනට මල් දම්

රණවිරුවනට මල් දම්

සාමාන්‍ය වැසියන් මුදාහරින ලෙස ශී‍්‍ර ලංකා රජය හා අන්තර්ජාතික ප‍්‍රජාව කීපවරක්ම එල්.ටී.ටී.ඊ. යෙන් ඉල්ලා සිටියද එය නොතකා මාස ගණනාවක් තිස්සේ ප‍්‍රාණ ඇපකරුවන් ලෙස ග‍්‍රහණයේ තබාගෙන සිටි 35000 කට වැඩි ජනතාවක් මුදා ගැන්ම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවට හැම තරාතිරමකටම අයත් ජනතාවගේ ප‍්‍රසාදය හිමිව තිබේ.


සෙබළුන්ගෙන් පැන් පොදක් ලබාගැන්මට
පොරකන සාමාන්‍ය වැසියන්.

එක්සත් ජාතික පෙරමුණු රජය සමයේ ඔවුන් එල්.ටී.ටී.ඊ. ය සනහාලද්දී පවා ත‍්‍රස්තවාදය පරාය කළහැකිව තිබිනැයි ඇදහූ ඇල්ලේ ගුණවංශ හිමියන් දැන් සාමාන්‍ය ජනතාවට වෙන්කළ සීමිත පටු බිම් තීරයකට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් සීමා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආරක්ෂක හමුදා ප‍්‍රධානීන්ට ප‍්‍රසාදය පළකොට තිබේ.

සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මුදාගැන්මට ආරක්ෂක හමුදාව සමත්ව ඇතැයි පවසන ඒ හිමියෝ, මින් පැහැදිලි වන්නේ ද්‍රවිඩ ජනතාව එල්.ටී. ටී. ඊ.ය ප‍්‍රතික්ෂේප කරන බව යැයි කියා සිටිති.

ත‍්‍රස්තවාදීන්ට එරෙහි ශී‍්‍ර ලංකා මෙහෙයුමට සාමලැදි සියලු ජනතාවගේ හා රටවල ප‍්‍රසාදය හිමිව ඇතැයිද උන්වහන්සේ කීහ.

රටේ ආර්ථිකය හා සංවර්ධනය පමණක් නොව ස්වකීය වර්ගයාගේද අනාගතය එල්.ටී.ටී.ඊ. ය විසින් විනාශ කැර තිබේ. මේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමේ පූර්ණ ගෞරවය හිමිවන්නේ රජයට හා ආරක්ෂක බළකායන්ටයි ගුණවංශ හිමියෝ වැඩිදුරටත් කීහ.

තවද දැඩි දුෂ්කරතාවන්ට හා බාධකයන්ට මුහුණ දී සිටි ද්‍රවිඩ ජනතාවට නුදුරේදීම සැනසුම් සුසුම් හෙළිය හැකිවනු ඇතැයිද හිමියෝ පැවැසූහ.

ත‍්‍රස්තවාදය තුරන් කිරීමෙන් ආරක්ෂක හමුදාව ඔවුන්ගේ මුතුªන් මිත්තන්ගේ අභිමානය සුරැකීමට සමත්ව ඇතැයි මානෙල් මල් ව්‍යාපාරය ප‍්‍රකාශ කැර තිබේ. සිය මුතුන් මිත්තන්ගේ අඩි පාරේ යමින් ආරක්ෂක හමුදාව මවුබිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව රැකගෙන ඇතැයිද එමගින් ප‍්‍රකාශ විය.

එම ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය වසන්ත බණ්ඩාර කීවේ රජය පැය 48 ක සටන විරාමයක් ප‍්‍රකාශයට පත් කෙළේ සිවිල් වැසියන් මුදා හැරීමට එල්.ටී.ටී.ඊ යට ඉඩ ලබාදෙනු පිණිස බවය. එහෙත් එම කාලයේදී සිවිල් වැසියන් මුදාහැරීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් ජනතාව කෙරේ තැකීමක් නොකරන බව පිළිබිඹු කැර ඇතැයි ඔහු පවසයි.

ඒ සමගම ජාතික ආරක්ෂාව හා ස්වෛරීභාවය පිළිබඳ ප‍්‍රශ්නයකදී විදේශ බලවතුන්ගෙන් කැරෙන කුමනාකාර ඉල්ලීමකට හෝ බියගැන්වීමට හෝ නතු නොවන බව ශී‍්‍ර ලංකා රජය අන්තර්ජාතික ප‍්‍රජාව හමුවේ ප‍්‍රදර්ශනය කැර ඇතැයිද වෛද්‍ය බණ්ඩාර මහතා පැවැසීය.

ත‍්‍රස්තවාදීන්ට එරෙහි රජයේ මෙහෙයුම පිළිබඳ වාර්තාව ශී‍්‍ර ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනු ඇතැයිද ඔහු කීය. තවද සන්නද්ධ කණ්ඩායම් රටක පුරවැසියන් ප‍්‍රාණ ඇපයට ගැන්ම කිසිම රටක් නොඉවසනු ඇති බවද ඔහු කියා සිටියේය.

ප‍්‍රමුඛ ව්‍යවස්ථා කටයුතු නීතිවේදියකු හා නීති කථිකාචාර්යවරයකු මෙන්ම අන්තර්ජාතික සබඳතා හා ක‍්‍රමෝපායික අධ්‍යයනයන් පිළිබඳ ලක්ෂ්මන් කදර්ගාමර් ආයතනයේ කළමනාකාර මණ්ඩල සාමාජික ආචාර්ය ජයතිස්ස ද කොස්තා පැවැසුවේ යුදමුක්ත කලාපයේ සිට සිවිල් වැසියන් ගලාඒමෙන් පිළිබිඹු වන්නේ එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ අභිමතයට එරෙහිව බලහත්කාරයෙන් ඔවුන් රඳවා ගෙන සිටි බවය. ඒ සමගම ඔවුන් ශී‍්‍ර ලංකා බලධාරීන්ගේ රැකවරණය පැතීම කොටි ත‍්‍රස්තයන්ගේ කුරිරු පාලනය යටතේ ඔවුන් විඳි දුෂ්කරතා හා කනස්සල්ල පිළිබිඹු කරන්නේ යැයිද ඔහු පැවැසීය.

“දිගු කාලයක් තිස්සේ ඔවුන් තැනින් තැනට බලහත්කාරයෙන්ම ගෙනයනු ලැබුණා. මේ නිසා ඔවුන්ගේ ජීවිත හැකි උපරිම අයුරින් පහසු කිරීම බලධාරීන්ගේ වගකීමයි. තවද ඔවුන්ට වෙනස්කමකට ගොදුරු නොවී, බියෙන් තොරව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකිවන යන්ත‍්‍රණයක් ගොඩනැගීමද බලධාරීන්ගේ වගකීමකැ”යි ඔහු කීවේය. එල්.ටී.ටී.ඊ. යටතේ මහත් බාධක හා දුෂ්කරතාවන්ට මුහුණ දුන් ජනතාව රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණීමෙන් ඔවුනට වඩාත් යහපත් නව ජීවිතයක් ළඟාවනු ඇතැයි නීතිවේදී චන්දන ලියනපටබැඳි කීවේය.

මාස ගණනාවක් තිස්සේ ත‍්‍රස්ත ග‍්‍රහණයේ හිර වී සිටි ඔවුනට දැන් නිදහසේ සිය ඥාති මිත‍්‍රාදීන් සමග ගත කළ හැකිවනු ඇතැයි ද ඔහු කීය.

යුද මුුක්ත කලාපයේ රැඳී සාමාන්‍ය ජනතාව අතර බර අවි ඇට වූ ත‍්‍රස්තවාදීන් ඒවායින් ආරක්ෂක හමුදාවන්ට ප‍්‍රහාර එල්ල කරන ලදී. තවද සාමාන්‍ය ජනතාව යුද මුක්ත කලාපයෙන් පලායාම වළකාලීමට ඔවුන් හැම ප‍්‍රයත්නයක්ම දරන ලදී. අනාරක්ෂිත ප‍්‍රදේශයෙන් පලායාමට උත්සාහගත් සාමාන්‍ය වැසියන් සිය ගණනක් ත‍්‍රස්තවාදීන් විසින් මරා දමා ඇතැයි පැවැසූ ඔහු කෙසේ වෙතත් ඔවුන්ගේ අණ නොතකා මේ ජනතාව රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණ ඇතැයි කීවේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්