‘නිදහසේ පළමු හුස්ම ලැබ’

‘නිදහසේ පළමු හුස්ම ලැබ’

ලෝකයේම ඇස දැන් ශ‍්‍රී ලංකාවට යොමුව ඇත. ඒ යුද මුක්ත කලාපයේ සිටින ලොව විශාලතම ප‍්‍රමාණයක් වූ ප‍්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුමේ ආරක්ෂක හමුදාව නිරතව සිටින බැවිනි. මෙකී මෙහෙයුම් සඳහා බර අවි කිසිවක් භාවිත නොකිරීම ද කැපීපෙනෙන ලක්ෂණයකි.

ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වූ සිවිල් වැසියන් ප‍්‍රමාණයක් එල්ටීටීඊ ග‍්‍රහණයෙන් මුදා ගැනීමට ආරක්ෂක හමුදාව සමත්විය.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පසුගියදා ප‍්‍රකාශ කෙළේ එල්ටීටීඊ කි‍්‍රයාකාරකම් හොඳින් නිරීක්ෂණය කරමින් තහවුරු කරගත් දත්ත අනුව යමින් ඔවුන්ගේ අවසන් බළකොටුද බිඳ දමා සිවිල් වැසියන් බොහෝ ප‍්‍රමාණයක් මුදාගැනීමට හැකිවූ බවයි.

එහෙත් සිවිල් වැසියන් මුදාගැනීමට ඇති ඉඩ අහුරමින් එල්ටීටීඊය බර අවිවලින් පහරදුන් මුත් සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය දී ආරක්ෂක හමුදාව සුළු අවි ප‍්‍රහාර පමණක් භාවිත කර ඇත.

170,000 කට ආසන්න සිවිල් වැසියන් ප‍්‍රමාණයක් මේ වනවිට ආරක්ෂක හමුදාව සෙවණේ ආරක්ෂිතව සිටියි. එල්ටීටීඊ සෙබලුන් 3000 කට ආසන්න ප‍්‍රමාණයක් මේ වසරේ ජනවාරි මස වනවිට හමුදාවට බාර වී ඇත.

ආරක්ෂක හමුදාවට අනුව 10,000 ක් පමණ සිවිල් වැසියන් ප‍්‍රමාණයක් තවදුරටත් එල්ටීටීඊ ග‍්‍රහණයෙන් මුදාගැනීමට ඇත.

ආරක්ෂක හමුදාව එල්ටීටීඊ ග‍්‍රහණයේ සිටින සිවිල් වැසියන්ට දැනුම් දී ඇත්තේ ඒ - 35 මාර්ගය ඔස්සේ ආරක්ෂක ප‍්‍රදේශ වෙතට පැමිණෙන බවයි.

දහස් ගණනක් වූ සිවිල් වැසියන් ප‍්‍රමාණයක් පුදුමාතලන් සහ අම්පලවන්පොක්කනායි ප‍්‍රදේශවල සිට පැමිණීමට නියමිතය.

පුදුමාතලන් හි සිටින අවතැන් වූ ජනතාවට ආහාර පිණිස කෑම පාර්සල් 10,000 ක් ගුවන් මගින් යැවීමට අතිගරු ජනාධිපතිතුමා කටයුතු කෙළේය.

අපේ‍්‍රල් 20 වැනිදා උදෑසන යුද මුක්ත කලාපයේ සිට යුද හමුදාවේ ආරක්ෂිත කලාපයට පැමිණීමට උත්සාහ කරන දෙමළ ජනතාවට එල්ටීටීඊය පහර දෙන ආකාරය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විසින් ලබාගත් වීඩියෝ දර්ශන මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිරීක්ෂණය කරන ආකාරය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කමාන්ඩර් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ද මෙහි සිටිති.

ඡායාරූපය – චන්දන පෙරේරා

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්