දේවනාදන් නිලෝජන් පින්ස්ලිට ශ‍්‍රී ලංකාවෙන් පිටවීම තහනම්

එල්ටීටීඊයට සන්නිවේදන පහසුකම් සැපැයීම:

දේවනාදන් නිලෝජන් පින්ස්ලිට ශ‍්‍රී ලංකාවෙන් පිටවීම තහනම්

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිශාන්ත හපුආරච්චි නියෝග කරයි

අම්පාර ලාහුගල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයට සංනිවේදන පහසුකම් සපයා දුන් බවට තොරතුරු අනාවරණය වී ඇති දේවනාදන් නිලෝජන් පින්ස්ලි නමැති සැකකරුට ශ‍්‍රී ලංකාවෙන් පිටවී යාම තහනම් කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා ඊයේ (11) නියෝගයක් නිකුත් කෙළේය.

රහස් පොලිසිය කළ ඉල්ලීමක් මත එසේ සැකකරුට රටින් පිටවී යාම තහනම් කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස තවදුරටත් නියෝග කෙළේය.

මේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රඳවා ගැනීමේ නියෝග මත රඳවා ගෙන සිටින සැකකරුවන් පස් දෙනකු නිරීක්ෂණ සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කළ රහස් පොලිසිය කොටි මෙහෙයුම් මධ්‍යස්ථානයට සන්නිවේදන පහසුකම් සළසා දුන්නේ කවුරුන්ද යන්න හෙළිකර ගැනීමට වැඩිදුරටත් විමර්ශන කරන බව දන්වා සිටියේය.

දැනට රඳවා ගෙන සිටින සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කර මේ තොරතුරු හෙළිකර ගැනීමට අපේක්ෂා කරන බවත් මේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බව කී රහස් පොලිසිය මේ කොටි ත‍්‍රස්තවාදී මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැති දුරකථන සංනිවේදන ජාලය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව කීය.

එම ජාලයට ලද එක් දුරකතන ඇමැතුමක හිමිකාරියකගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඇයගේ ජාතික හැඳුනුම් පත් අංකය ව්‍යාජ එකක් බවත් අංකය වෙනස් කර අදාළ දුරකතන සබඳතාව ලබාගෙන ඇතැයි දන්වා සිටියේය.

එම දුරකතන සබඳතාව ලබා දීමට ප‍්‍රධාන පෙළේ දුරකතන සමාගමක මඩකලපුව ප‍්‍රදේශයේ අලෙවි නියෝජිතවරයකු හා උප අලෙවි නියෝජිතයකු විවිධ අයුරින් සහය ලබාදී ඇති බවත් ඔවුන් ඇතුළු අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන බවත් දන්වා සිටියේය.

සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති දේවනාදන් පින්ස්ලි නමැති සැකකරු ට රටින් පිටවී යාම තහනම් කරන ලෙස ඉල්ලා සිටි රහස් පොලිසිය සැකකරුවන් විමර්ශන කටයුතු සඳහා තවදුරටත් රඳවා ගැනීමට අවසර ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලූ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා රහස් පොලිසියේ ඉල්ලීමට ඉඩදෙමින් විමර්ශනයේ ප‍්‍රගතිය ලබන ජූලි මස 09 දින වාර්තා කරන ලෙස තවදුරටත් නියම කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා