ගෝව ප‍්‍රාන්තයම කළඹවමින් ස්තී‍්‍රන් 16කු මරා දැමුවකුගෙන් පාපෝච්ඡාරණයක්

ගෝව ප‍්‍රාන්තයම කළඹවමින් ස්තී‍්‍රන් 16කු මරා දැමුවකුගෙන් පාපෝච්ඡාරණයක්

ඉන්දියාවේ ගෝව ප‍්‍රාන්තය පසුගියදා භ‍්‍රාන්තියෙන් ඇලලී ගියේ ස්තී‍්‍ර දූෂණය හා තර්ජිත කප්පම් චෝදනා මතින් ඉකුත් අපේ‍්‍රල් මස අත්අඩංගුවට ගත් රික්ෂෝ රථ රියැදුරෙකු මිනීමැරුම් ගණනාවක් සිදුකළ “මාලා ඝාතකයකු” බව ඔහුගේ පාපෝච්ඡාරණයෙන් අනාවරණය වීමෙන් පසුය.

ගෝවේ තරුණ කාන්තාවන් 16 දෙනෙකු මරා දැමූ බව ඔහුම පිළිගෙන තිබිණි. ‘මහානන්ද – නායික්’ නම් ඔහු ඝාතනය කළ බොහෝදෙනෙකු හතලිස් හැවිරිදි වියේ පසුව ඇති අතර ඔවුන් හැමදෙනාම පාහේ මරා දමා තිබුණේ ඔවුන්ගේම “දූපත්ත” නම් හිස් වැසුම් ලේන්සුවෙන් ගෙල සිර කිරීමෙනි.

 ඝාතනය කළ කාන්තාවන් ඈත දුෂ්කර ප‍්‍රදේශවල වල දැමීම හෝ අසලැති ගංගාවල ගිල්වීම ඔහුගේ සිරිතව තිබී ඇත.

ඔහුගේ සාපරාධි දිවිය 1994 තරම් ඈතට දිවෙන අතර 1995 දී කාන්තාවකගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු පසුව දඬුවමක් නොදීම මුදාහැර තිබිණි.

මෙතෙක් කලක් ඔහු නීතියේ රැහැනට අසුනොවීමද ගැටලුවක්ව ඇත.

18 හැවිරිදි දියණියක සිටින ඔහුගේ බිරිය පවසන්නේ කිසිදිනක තමාට නියපිටින් පහරක් නොදී නිවසේ කටයුතුවලටද උදවුපදවු කළ මෘදු හදක් ඇති නායික්, මෙවන් අපරාධකරුවකු වීම ඇදහිය නොහැකි නමුදු එය සත්‍යනම් ඔහුට මරණීය දණ්ඩනය දිය යුතු බවය. කෙසේ වෙතත් ඔහුගේ පාපෝච්ඡාරණයෙන් පසු පොන්ඩාහි පිහිටි ඔහුගේ නිවස කුපිත පිරිස් විසින් ගිනි තබා විනාශකොට ඇත.

රහස් පොලිසිය හමුවේ පාපෝච්ඡාරණය කළ නායික්, ඝාතනය කළ සමහර කාන්තාවන් වැලලු ස්ථානද පෙන්වා ඇත.

වයස අවුරුදු 19 – 33 අතර බොහෝ කාන්තාවන් සමඟ මිත‍්‍ර වී ඔවුන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇති ඔහු, ඔවුන් සතු වටිනාම වස්ත‍්‍රාභරණයෙන් සැරසී දුෂ්කර පෙදෙසකදී හමුවන ලෙස දන්වා මුණගැසුණු අවස්ථාවේදී දූෂණය කොට හෝ නොකොට සියල්ල කොල්ල කා ඔවුන් මරා දමා ඇත.

ඔවුන් සතු ස්වර්ණාභරණ ඔහුගෙන් ලබාගත් ස්වර්ණාභරණ වෙළෙන්දෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා