උ. කොරියාව පරමාණු අවි වැඩසටහනක් අරඹන බවට අනතුරු අඟවයි

සම්බාධක පැණවීමෙන් කෝපාවිශ්ඨ

උ. කොරියාව පරමාණු අවි වැඩසටහනක් අරඹන බවට අනතුරු අඟවයි

න්‍යෂ්ටික පරීක්ෂණ කිරීමට විරුද්ධව ජගත් සංවිධානය සම්බාධක පැණවීම නිසා කෝපයට පත් වී සිටින උතුරු කොරියාව, නව පරමාණු ආයුධ වැඩසටහනක් ආරම්භ කරන බවට අනතුරු අඟවයි.

මේ අතර, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ව්‍යාප්ත කිරීමට එරෙහි ව කළ හැකි සෑම දෙයක් ම කරන බව අමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කියයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ අඩාල කිරීම සඳහා සම්බාධක පැනවීමට, ජගත් සමුළුවේ සාමාජිකයන් පහළොස් දෙනා ම ඒකමතිකව ඡන්දය ප‍්‍රකාශ කළහ.

තම න්‍යෂ්ටික වැඩසටහන අඩාල කිරීමට විරුද්ධව හමුදාමය ප‍්‍රතිචාරයක් දක්වන බවට උතුරු කොරියාව අනතුරු අඟවයි.

ප‍්‍රකෝපකාරී ප‍්‍රතිචාරයක් වශයෙන් උතුරු කොරියාව තුන්වන වරටත් න්‍යෂ්ටික පරීක්ෂණයක් සිදුකෙරනු ඇති බවට අමෙරිකන් බුද්ධි අංශ හෙළිදරව් කර තිබේ. උතුරු කොරියානු ප‍්‍රතිචාර, කොරියාවේ සාම කි‍්‍රයාදාමයට ප‍්‍රබල තර්ජනයක් බැව් දකුණු කොරියාවේ අදහසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා