කුඩා මිනිසා සහ දැවැන්තයා මා වීරයකු කළා

කුඩා මිනිසා සහ දැවැන්තයා මා වීරයකු කළා

ප්‍රේක්ෂක ඔබ රාතී‍්‍ර 8.00 වන විට දෙරණ රූපවාහිනී නාලිකාව ඉදිරිපිට සිට පුල පුලා බලාසිටින්නේ උතුර-නැ‍ෙඟනහිර මානුෂීය මෙහෙයුමේ සැබෑ තත්ත්වය දෑසින් දැක බලා ගැනීම සඳහායි. යුධ භූමියක යථාර්ථය, සොල්දාදුවන්ගේ වීරත්වය, සතුරාගේ පරාජය, උතුර-නැෙඟනහිර සහෝදර ජනතාව විඳී දුක් ගැහැට.... මේ සියළු දෑ ඔබට නැවුම් අත්දැකීමක් වූවාට සැක නැත. යුධ භූමියේ සැබෑව ටෙලි විෂන් මාධ්‍යයෙන් පෙ‍්‍ර්ක්ෂක ඔබට රැගෙන ආ දෙරණ නාළිකාවේ අශෝක වීරසිංහත්, සම්පත් සේරසිංහත් විඳී අත්දැකීම් හි සැබෑව ඔබ දුටුවේ නැත. අශෝක වීරසිංහ දෙරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රවෘත්ති සංස්කාරකවරයායි. ඉදින් පුවත්පත් පිටුවක මේ පෙළ ගැසෙන්නේ අශෝක වීරසිංහ ඔබ හමුවේ හෙළි කරන ඔහු විඳී අත්දැකීමක සටහනයි.

යුද සටන් පටන් ගැනීමට ප‍්‍රථම විශාල කි‍්‍රයාවලියක් සිද්ධ වෙනවා. ඉන්පසු යුද හමුදා ඉංජිනේරුවන් විසින් මාර්ගය පිරිසිදු කරනවා. සියල්ලන්ටම යාහැකි විදිහට අඩි පාරක් හදාගන්නවා. එය විශාල අඩිපාරක් නොවේ. කුඩා එකක්. මේ අඩි පාරෙන් පිටපැනීම මරණයට අඩගැසීමක් වැනියි. මින් පිටත සෑම බිම් අඟලක්ම පුද්ගලනාශක බෝම්බවලින් පිරිලා.

ජනවාරි මස 8 වැනිදා පලෙයි, එදින රෑ සෝරම්පත්තු, ජනවාරි මස 9 වැනිදා උදේ වෙත්තිලකේනිත්, අලිමංකඩත් 55 වැනි සේනාංකය යටතට ගෙන තිබුණා. ජනවාරි මස 10 වැනි දින අලිමංකඩ ඇල්ලූ ප‍්‍රීතියට පුංචි උත්සවයක් පවත්වලා.

5 වැනි සේනාංකය ජනවාරි මස 11 වැනිදා වෙත්තිලකේනි ප‍්‍රදේශයෙන් දකුණු දිශාවට වෙන්න පිහිටි ‘කෙවිල්’ නම් කැලෑ භූමියක් අල්ලාගෙන තිබ්බා. එය කටු පඳුරු සහිත ප‍්‍රදේශයක්. සංරක්ෂිත කැලෑවක්. ජනවාරි මස 12 වෙනකොට මේ සංරක්ෂිත කැලෑවෙන් කිලෝමීටර් 06 ක ප‍්‍රදේශයක් අල්ලාගෙන තිබ්බේ. මෙතැන් සිට කිලෝමීටර් 4 ක දුරකින් තිබ්බේ චුන්ඩික්කුලම්.

මා මෙහෙයුම් පවතින අවස්ථාවක ගිය ප‍්‍රථම ගමන විවිධ අවස්ථාවලදී අප ආයතනය වෙනුවෙන් මෙවැනි වූ අවස්ථාවන්ට සහභාගිවෙලා තිබුණා. එහෙත් ඒ යුද හමුදා බලය පැවැති ප‍්‍රදේශවලයි.

යුදමය තත්ත්වය අත්විඳ එය තේරුම් ගැනීමට මට මහත් ඕනෑකමක් තිබුණා. මා කිසිදා පය නොගැසූ භූමියකට මා හරි හැටි නොදන්නා ස්ථානයකට පැමිණීමට අමුතුම තාලේ අත්දැකීමකි. ඒ හැඟීම් සමුදාය ඔබට වචනයකින් දෙකකින් සටහන් කර තැබීමට පවා නොහැකි කුමක්දෝ කුතුහලයකින් මගේ මුළු ආත්මයක පිරිලා තියෙන්නේ.

බලන බලන අත ඇත්තේ වැලි සහිත පොළොවයි. එහෙත් මේ සෑම වැලි ඇටයක් පාසාම මරණය පවතින බව අප කිසිවෙක් දැන සිටියේ නෑ. සෑම තැනකම මර උගුල්. පුද්ගලනාශක බෝම්බත්, පුද්ගලනාශක බෝම්බයටම ඇමිණු යුධ ටැංකි නාශක බෝම්බත් සෑම තැනකම තිබ්බා. උහුලාගත නොහැකි උණුසුමෙනුත්, දුහුවිල්ලෙනුත් අපි හොඳටෝම හෙම්බත් වෙලා.

සුහදශීලී මිනිසා...

මේ පරිසරයට හුරුවෙන්න ලේසි වුණේ නෑ. දූවිල්ල, අධික උණුසුම, පුද්ගලනාශක බෝම්බ මේ හැම දෙයක් කෙරෙහිම අවධානමක් ගන්න වුණා. මුල් දවස්වල අපි ඉදිරියට අඩියක් තිබ්බේ ලොකු අවිශ්වාසයකින්. කොයි මොහොතක අතක්, පයක් අහිමි වෙයිද යන දෙගිඩියාවෙන් හිතේ සැක සංකාවෙන් සතියක් පමණ යනතුරු මේ හැඟීම අප අතරින් ඉවත්වුණේ නෑ.

ඔහු කුඩා ය. එහෙත් කි‍්‍රයාශීලිය. කුමන අවස්ථාවක වුව ඔහු කෙරෙන් කළබල බවක් පළවූයේ නැත. සෑම විටකම පාහේ මේ කුඩා මිනිසා සිටියේ සිනහගත් වනමය. ඔහු සරළය. සුන්දරය. මා මේ ප‍්‍රකාශ කර සිටින්නේ කවරෙක් ගැනද යන්න පිළිබඳ ඔබට යම් ගැටළුවක් ඇති වන්නට පුලුවන. තවදුරටත් එය ඔබට ගැටළුවක් කර නොගන්නට මා වග බලා ගන්නම්.

ඔහු වැනි තැනැත්තෙකු සමීපයේ සිට අල්ලාප - සල්ලාපයේ යෙදෙන්නට සාමාන්‍ය සෙබළකු යන්නේ නැත. ඒ මේ මිනිසාට ඇති ගෞරවය නිසා ය. එහෙත් ඔහුට ලොකු කුඩා භේදයක් නොමැත. කුඩා සෙබළකු වෙතින් හෝ යම් ගැටළුවකට මැදිව සිටිනා බවක සේයාවක් මේ තැනැත්තාට ඉව වැටුණහොත් ළඟට කතාකොට ගැටළුවකද ඉන්නේ, යන්න අසන්නට තරම් හේ නිහතමානිය. කොටින්ම ඔහු ඉතා සුහදශීලිය. ඔහු සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා යි.

මෙවැනිම වූ තවත් මිනිසකු පිළිබඳ මා මගේ ' නෝට් බුක්' එකේ සටහන් කරගෙන ඇත. ඔහු නියෝජ්‍ය සේනාංකාධිපති බි‍්‍රගේඩියර් නිශ්ශංක රණවන ය. සත්‍ය වශයෙන්ම මොහු දුටු ප‍්‍රථම දිනයේ මා බියට පත්වුනි. ඔහු දැකීම පවා මට මහත් අපහසුතාවක් ගෙන දුන්නේ ය.

ඔහු දැවැන්තයෙකි. බාහිර පෙනුම සැර පරුෂ ය. දිනෙන් දින ගතව යනවිට බි‍්‍රගේඩියර් නිශ්ශංක රණවන යනු ඉතා පි‍්‍රයමනාප මිනිසෙකු යන්න මම තේරුම් ගත්තෙමි. ඔහු සරළ ය. මිත‍්‍රශීලි ය. කෙටි විවේකයක් හෝ ලද ඇසිල්ලේ විහිළුවක් කිරීම අනිවාර්ය අංගයක් බවට පත්ව තිබුණි.

මුල් දවස්වල අප වෙලාගෙන සිටි තැතිගැන්ම , බිය ක‍්‍රමයෙන් පහවෙමින් තිබුණි. විශේෂයෙන් ම සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාත්, නියෝජ්‍ය සේනාංකාධිපති බි‍්‍රගේඩියර් නිශ්ශංක රණවනත් සමඟ අප කටයුතු කරන්නේ කෙසේ ද? ගණුදෙනු කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳ හොඳ වැටහීමක් ලැබුණි.

පරිසරයේ පැවැති අධික උණුසුමත්, දුඹුරු පැහැති දුහුවිල්ලත් ගෙනා කරදරකාරි හැසිරීම් රටාවන්ට මාත්, අනෙක් මාධ්‍ය සගයනුත් දැක්වූ අප‍්‍රසන්න බව ක‍්‍රමයෙන් පහව යමින් තිබුණි. අවිශ්වාසය දියවගියේය. බිය වෙනුවට වීරත්වයත් ඇතිවෙමින් තිබුණි. මරණය සැඟවගත් මේ සුදු වැලි භූමිය මත අප පා තැබුවේ බලවත් අවිශ්වාසයෙනි. එහෙත් ඒ අවිශ්වාසය වෙනුවට ඇති වූ වීරත්වය අප තවතවත් ඉදිරියට තල්ලු කර දැමී ය.

යාපනය දිස්ති‍්‍රක්කයේ අවසන් සීමාව චුන්ඩික්කුලම් කළපුවයි. මේ කළපුව සහිත ප‍්‍රදේශය 55 වැනි සේනාංකය යටතට නතුකර ගැනීම ඊළඟ අභිප‍්‍රාය විය. මේ සඳහා ජනවාරි මස 14, 15 දිනවල සැළසුම් සකස් වෙමින් පැවැතුනි. ඒ වෙත්තිලකේනි විද්‍යාලයීය ගොඩනැඟිල්ලක් තුළය.

බොහෝ විට සැළසුම් සකස් කළේ සවස් කාලයේදී ය. මේ සඳහා බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා අපවද සහභාගි කර ගත්තේ ය. 55 වැනි සේනාංකය, චුන්ඩික්කුලම් ප‍්‍රදේශය අත්පත් කරගත් වික‍්‍රමය මා නෝට් බුක් එකේ සටහන් කර තබා ගත්තේ මෙසේ ය.

සැන්දෑ අහස් රන්වන් පැහැති ය. අහසට උස් වූ තල්ගස් පේළිය මැදින් හිරු රතු පැහැති ලපයක් සේ පෙනුණි. හිරුගේ රත කළපුවටත්, සුදු වැල්ලටත් හැලී ඇත. එපමණක් නොව ඒ රතු පැහැය සෙබල මුලුවටත්, අපගේ සිරුර පුරාත් තැවරී තිබුණි.

වේලාව පස්වරු 4ත් 5ත් අතර පැවතුණි. චුන්ඩිකුලම් කළපුව අප සිටි තැන් සිට මීටර් 200ක දුරකින් පිහිටා තිබුණි. මාත් , මගේ කැමරා ශිල්පි සම්පත් සේරසිංහත් අනෙක් මාධ්‍ය සගයනුත් සිටියේ එක පොකුරකට මෙනි. චුන්ඩික්කුලම් අත්පත් කර ගැනීමේ සටන පැවැතෙමින් තිබුණි.

එක්වරම කළපුව දෙසින් විශාල පිපිරුම් හඬක් ඇති විය. ආකාසයේ කරණම් ගසමින් සිටි කුරුල්ලන් කැළැඹීමකට පත්ව නාද කරන්නට පටන් ගත්තේ ය. එහා මෙහා පියාසර කරන කුරුල්ලන් අතරින් රත් හිරු දර්ශනය වූයේ සත්කඩකට පැලී ගිය ලෙසිනි. කළපු දිය සැළිනි. තල්ගස් බියට පත්ව තල් අතු ඉහළට ඔසවාගත් වනම සිටියේ ය.

අප වහා බංකරයකට මුවා වුණි. මා සිටියේ කිසිවක්ම අදහාගත නොහැකි වූවෙක් ලෙසය. මේ අප යුද භූමියක ලද ප‍්‍රථම අත්දැකීමයි. කළබල වූ කුරුළු හඬ ඇසේ.

එල්.ටී.ටී.ඊ. ය විසින් මෝටාර් ප‍්‍රහාරයක් එල් කරන ලදි. ඉන් හමුදා පිරිස් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් එකොළොස් දෙනෙකි.

මේ කලබලය මධ්‍යයේ අප සිටියේ තැතිගත් කුරුල්ලන් රෑනක් සේය. අප කලබල විය යුතු ද? නොවිය යුතු ද? අප කුමක් කළ යුතු ද යන්න පිළිබඳ අපට උපදෙස් දීමට එකදු සෙබළකු ඉදිරිපත් නොවී ය. ඔවුන් සියල්ලන්ගේ ම අවධානය තුවාල ලත් සහෝදර සෙබළ පිරිස් කෙරෙහි යොමුව තිබුණි.

මේ අවස්ථාවේ මේජර් ප‍්‍රජාත් විජේසිංහ කැබ් රථය හරවාගෙන අප සැඟව සිටි බංකරය වෙතට පැමිණෙමින් තිබුණි. ඔහු රථය පැදවූයේ මහත් වූ අපහසුතාවයකිනි. වැලි සහිත භූමියේ ටයර් එරේ. කුඩා වැලි කඳු වල රෝද කැපේ. නතර වේ. එය රථයකට කිසිසේත් යා හැකි මාර්ගයක් නොවේ ය. අනෙක් භයානක දේ වුණේ වැලිපොළොව පිරිසුදු කර නොතිබීමයි.

අප සිටි තැන සිට විද්‍යාල ගොඩනැගිල්ලට වූයේ, කිලෝමීටර් අටක තරම් දුරකි.

චුන්ඩික්කුලම් ප‍්‍රදේශය මහත් කළබලකාරී වටපිටාවක් නිර්මාණය කෙරිණි. තුවාලලත් සෙබළුන් රැගෙන යෑම සඳහා රථවාහන පැමිණ තිබූ අතර එයින් ටික වේලාවකට පසු අප කැටුව යෑමට කැබ් රථය පැමිණ තිබුණි. රථයේ පිටුපස රෝද වලින් දුඹුරු පැහැති වැල්ල විශාල ලෙස අහස උසට වීසි කරමින් තිබුණි.

දියවැල් හරහා කළපුව තරණය කළ හැටි හෙට ‘දිනමිණ’ කියවන්න

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා