අඳුරු සෙවණැලි පරදා සොඳුරු අරුණැල්ලකට


 

අඳුරු සෙවණැලි පරදා සොඳුරු අරුණැල්ලකට

තිස්වසක් පින් බිමට හිමිකළ සාපලත් යුද්ධය සදහටම නිමා වී වැඩි කලක් ගතවී නොමැත. වරෙක මැරි මැරී ජීවත් වෙමින් ද තවත් විටෙක මරණයේ අඳුරු සෙවණැලි මගහරිමින්ද තවත් මොහොතක සතුරාට අභියෝග කරමින්ද ජීවත්වූ බොහෝ පිරිසක් අද සැනසුම් සුසුම් හෙළති.

ඒ මේ රටට පහළ වූ උත්තරීතර මහරජාණන්ට පින්සිදුවන්නටය. ඒ මහරජතුමාගේ කැපවීමත් උත්සාහයත්, අප‍්‍රතිහත ධෛර්යයත් මේ ජයග‍්‍රහණය පුරාවටම දිවෙයි.

දැන් අපට නිදහසේ කෙළින් හිඳ නිවී සැනසිල්ලේ හුස්මක් ගැනීමට හැකිවී තිබේ. තමාගේ දරුවා පාසලට ගොස් එනතුරු දැන් අම්මාවරුන් ඉන්නේ වෙනදාට වඩා හිතේ සැහැල්ලුවෙනි.

දැන් තැන තැන බෝම්බ පුපුරන්නේ නැත. කුරිරු යුද්ධයේ අඳුරු සෙවණැලි පරදා සොඳුරු අරුණැල්ලකින් දැන් අපේ පිං බිම පිරී ඉතිරී ගොසිනි.

මේ ජයග‍්‍රහණයේ නියමුවෝ මෙතෙකැයි කියා කියන්නට බැරිය. අද අවධානයට යොමුවන්නේ ගවේෂණයට ලක්වන්නේ තිස්වසක් යුද්ධයේ අමිහිරි පාපතර අත්දැකීම්වලට මුහුණදුන් තර්ජිත ගම්මානවල ජීවත්වූ පිරිසකි.

ඔවුන් ඔවුන්ගේ ගම්බිම් රැක ගනිමින් කුරිරු ත‍්‍රස්තවාදය පරදන්නට උත්සාහ නොකරන්නට මේ මානුෂීය මෙහෙයුම අරඹන්නට වන්නේ තවත් රටේ අභ්‍යන්තරයෙනි.

ජනාධිපතිතුමන් ඓතිහාසික ජේතවන දාගැබ පිළිසකර කර එතුමාගේ පින්බර දෑතින් ජනතාව වෙත පැවරූ මොහොතේත් කළ කතාවේද ඒ බව සටහන්වේ.

අද අපි ගවේෂණය කරමු. යුද්ධය අවසානයේ කුරිරු එල්. ටී. ටී. ඊ. ය අපේ දිවයිනෙන් සහ මුලින්ම තුරන් කළ මොහොතේ මේ තර්ජිත ගම්මානවල ජීවත්වූ ජනතාවගේ හද ගැස්ම.


ජනපතිතුමා අපේ ඉල්ලීම් ඒ විදියට ම ඉටු කළා

රණවණ ධම්මින්ද හිමි - ඇතාවැටුණුවැව විහාරාධිපති

මානුෂීය මෙහෙයුම අතරතුරේ දී ඇතාවැටුණුවැව පිළිබඳ කතා වුණු වාර අනන්තයි. අප‍්‍රමාණයි. ඒ තරමට ම මේ ගම්මානවල උදවිය කුරිරු යුද්ධයෙන් දුක් වින්දා.

බර අවි ප‍්‍රහාරවලට ලක්වෙන්න සිද්ධ වුණා. ඒත් මේ ගම්මානවල උදවිය සතුරන්ට බයවෙලා මේ ගම්මාන අතහැරලා ගියේ නෑ. ඒ තරමට ම ඔවුන්ගේ හිත් එඩිතරයි. උදේ, දහවල්, රෑ කියලා වෙනසක් නැතුව බර අවි ප‍්‍රහාර ගමට වදිද්දී අපේ ගමේ ඇත්තො කැළෑ වැදි වැදී බංකර්වලට රිංග රිංගා මේ ගම්මාන සතුරන්ගෙන් රැක්කා.

අද අපේ ජනාධිපති උතුමානන් අපේ ගම්වල උදවියට පූර්ණ නිදහසේ ජීවත්වන්නට අවශ්‍ය පරිසරය උදාකර දී තියෙනවා. එතුමා රජ නොවන්නට ඇතැම් වෙලාවට මේ ගම්බිම් සතුරාට ම අයත් වෙන්නටත් ඉඩ තිබුණා.

මෙහෙයුම පැවති සමයේ දී අපි ජනාධිපතිතුමා මුණ ගැසී විවිධ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළා. එතුමා ඒ මානුෂීය ඉල්ලීම් දිහා ඉතාමත් ඕනෑකමින් බලලා ඒ ඉල්ලූ දේ ඒ විදියට ම ඉටු කළා.

මේ ඉල්ලීම්වල ප‍්‍රතිඵලයක් විදියට ගමේ හැම දෙනෙකුගේ ම නිවෙස්වලට ස්ථාවර බංකර ලැබුණා.

අපේ ගමට කිලෝමීටර් හතරකට එහා පැත්තෙ තිබුණෙ එල්. ටී. ටී. ඊ. බංකර ඒ කාලෙ අපි හැමෝ ම ජීවත් වුණේ මැරි මැරී.

දැන් අපට ජනාධිපතිතුමාගේ කැපවීම නිසා නිදහස ලැබී තිබෙනවා. මම හිතනවා දැන් මේ ගම්මාන ශීඝ‍්‍රයෙන් දියුණු කළ යුතුයි කියලා.

ගම දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් අපි කැපවෙලා ඉන්නෙ. අපේ ගමේ පාසලට ගුරුවරුන්ගේ හිඟයක් තියෙනවා. මං කැමතියි මේ ගමේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්නට අපේ ගමේ පාසලට ගුරුවරුන් ලබා දෙනවා නම්.

මේ ජයග‍්‍රහණයේ ප‍්‍රතිඵල දැක ඉදිරියේ දී තව තවත් සතුටු වෙන්න අපිට පුළුවන්.


අපි ජීවත්වන තුරුම සදා ඔබට ණයගැතියි

ඩී. කුමාරදාස (පි‍්‍රයන්ත) - යකාවැව ගම්මානය කැබිතිගොල්ලෑව

ඇත්තටම මේ වෙලාවෙ නිදහසේ හුස්මක් අරන් බය නැතුව කතා කරන්න පුළුවන්කමක් අපි හැමෝටම තියෙනවා. අවුරුදු තිහක් පුරා පුපුරපු වෙඩි හඬ වෙනුවට පහුගිය දවස්වල ඇහුණෙ පී‍්‍රතියේ හිනා හඬ නැත්නම් රතිඤ්ඤා හඬ.

කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් මගේ බිරිඳයි මගේ පුංචි පුතයි සදහටම මාව දාලා යන්න ගියා. ඒ වෙලාවෙ ජනාධිපතිතුමා මේ ඛේදවාචකය සිදුවූ තැනට ඇවිල්ලා අපේ දුක නැති කළේ තාත්තා කෙනෙක් වගේ.

‘පුතා මං මේ යුද්ධෙ ඉවර කරලා පුතාට නිවී සැනසිල්ලෙ කතා කරන්නම් කෝ, කියලා එදා ජනාධිපතිතුමා මගේ කරට අතදාලා කිව්වා. ඒ වෙලාවෙ මට දැනුණා මේ යුද්ධය එතුමා සදහටම නිමා කරයි කියලා. ඒ විශ්වාසෙන් අපි හැමෝම ජීවත් වුණා.

ඒ දවස්වල ගමට යන්න බය නිසා අපි කඳවුරු ගත වුණා. කවදාවත් කඳවුරේ හිනා හඬක් ඇහුණෙ නෑ. යුද්ධය ජයග‍්‍රහණය කළ වෙලාවෙ මට ජනාධිපතිතුමා කියූ කතාව මතක් වුණා.

අපේ ඇස්වලින් සතුටු කඳුළුත් එක්ක හිනා හඬ මුළු පළාත පුරාම ඇහුණා. ඇත්තටම හීනයක් වගේ. දැන් අපි ආයෙත් ගමට ආවා. අපි තවදුරටත් ආරක්ෂක කඳවුරු ගතවෙලා ඉන්න එක තේරුමක් නෑ කියලා හිතුණ මොහොතේ අපි ආයෙත් අපේ ගම්වලට ආවා.

දැන් අපට රටේ ආර්ථිකය නඟා හිටුවන්න දායකවෙන්න අවශ්‍යයයි.

මගේ දරුවා වෙනුවෙන් අනිත් දරුවන් හොඳට ඉගෙන ගන්නවා බලන්න මං ආසයි. ඒ හින්දා අපේ පාසල්, ගම දියුණු කරන්නටත් ජනාධිපතිතුමා පිහිටවන බව අපි දන්නවා.

ඒ පූර්ණ විශ්වාසයෙන් තමා අපි ගමට ගියේ. දැන් අපිට අපේ ගමේ ජීවත්වෙන්න පුළුවන්.

ඒත් මට ගෙදර ගිය වෙලාවෙ ඉදන්ම දරුවා මගේ නෝනා මතක් වෙනවා. ආයෙ කිසිම තාත්තා කෙනෙකුට මේ වගේ දුකක් විඳින්න වෙන්න නෑ නේද කියලා හිතන කොට ඒ දුක තුරන්වෙලා හිතේ සතුටක් වගේම සැනසිල්ලක් දැනෙනවා.

මේ සතුට අපිට දුන් ජනාධිපතිතුමාට, ආරක්‍ෂක ලේකම්තුමාට, ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට, සිවිල් ආරක්ෂක බලකායේ ජනරාල්වරයාට සියලු රණවිරුවන්ට අපි ජීවත්වනතුරුම සදා ණයගැතියි. ඔබ සියලු දෙනාට ම ස්තුතියි.


මිනිසුන්ගේ මුහුණු හිනාවෙන් පිරිලා

පී. ඩී. ආර්. කේ. සේනාරත්න - ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානය

මේ වන විට බොහෝ දෙනෙක් බොරළුකන්ද ආරක්ෂිත කඳවුරුවලින් සමුගෙන තම තමන්ගේ ගම්බිම් කරා පැමිණ තිබෙනවා.

මානුෂීය මෙහෙයුමෙන් පසුව ජනාධිපතිතුමාට පින් දෙමින් තමයි මේ පිරිස ගම්මාන කරා ගියේ. යකාවැව, විහාරහල්මිල්ලෑව, තල්ගහවැව, කණුගහවැව, කැළෑනිකවැව, වගේ ගම්මානවල මේ වන විට ජනතාව පෙර පරිදිම පදිංචි වී ඉන්නවා. මේ වන විට පදිංචි වූ ජනතාව පෙර පරිදිම තමන්ගේ ගොවිතැන් කටයුතුවලට යොමු වී තිබෙනවා.

එවගේම නිවාස ගොවිබිම් අලුතින් ඉදිවෙමින් පවතිනවා. තව ද දරුවන් වෙනදාට වඩා උනන්දුවෙන් පාසල් වෙත එන ආකාරයක් අපට දක්නට ලැබෙනවා.

මානුෂීය මෙහෙයුමේ ජයග‍්‍රහණය සමඟ මේ මිනිසුන්ගේ මුහුණු සිනහවෙන් පිරී ගිය බවක් අපි දැක්කා.

වසර තිහක් තිස්සේ යුද්ධයෙන් බැට කෑ මේ ප‍්‍රදේශවල මිනිස්සු නිදහසේ හුස්මක් ගත්තේ මේ ජයග‍්‍රහණයත් සමඟයි.

දැන් ඔවුන්ට තනියෙන් නැඟී සිටීමේ දැඩි අදිටන හිතට කා වැඳී තියෙනවා.

ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ඔවුන් අපේක්ෂා කරනවා.

ජනාධිපතිතුමා මේ ලබාදුන් නිදහස වෙනුවෙන් ඔවුන් නිරතුරුව ම එතුමාට ස්තූති කරනවා අපට නිතර ඇහෙනවා.


මේ ජයග‍්‍රහණය දකින්නටත් විඳින්නටත් අපි වාසනාවන්තයි

වී. එස්. චන්ද්‍රසිරි උප පොලිස් පරීක්ෂක - සම්පත් නුවර පොලිස් ස්ථානය

මේ ප‍්‍රදේශවල ජනතාවට දැන් නිදහසේ හුස්මක් ගන්නට හැකිවෙලා තියෙනවා. වෙනදාට බයෙන් වෙව්ලමින් සිටි ජනතාව දැන් නිදහසේ සුළඟ විඳිමින් සතුටින් සිටිනවා. ජනාධිපතිතුමා මේ මානුෂීය මෙහෙයුම ජයග‍්‍රහණය කරමින් මේ ජනතාවට සතුට ගෙනල්ලා දුන්නා .

මං හිතන්නෙ මේ මිනිස්සු දැන් තමයි ගහකොළ ඇළ දොළ දිහා බලලා සතුටින් ඉන්නෙ. වෙනදාට මේ මිනිසුන්ගේ ජීවිතේ පුරාවටම තිබුණෙ යුද්ධයේ බියකරු දේවල් විතරයි.

දැන් මේ ජනතාව ස්ව උත්සාහයෙන් දියුණු වෙන්නට වෙනදාට වඩා උත්සාහ දරනවා. මේ ගම් බිම් වල ජීවත් වන සතා සිව්පාවා පවා දැන් නිදහසේ වතුර ටිකක් හරි බොන්න ඇළට දොළට එනවා.

මා හිතන්නේ මේ ජයග‍්‍රහණය දකින්නටත් විඳින්නටත් අපි වාසනාවන්තයි.


දැන් අපිට බයක් නෑ

කේ. ආරියසිරි - හල්මිල්ලවැටිය

අපි කාලයක් ගමට වෙලා ජීවත් වුණේ මැරි මැරී. අපේ ගමේ නෑදෑයෝ හැට හතර දෙනෙක් එල්. ටී. ටී. ඊ. යේ ක්ලේමෝ බෝම්බයට අහුවෙලා මිය ගියා. ඒ වෙලාවෙ කැබිතිගොල්ලෑවේ රෝහලට ජනාධිපතිතුමා අපේ දුක අහන්න ආවා. එතුමා එදා පොරොන්දු වුණා මේ කුරිරු ත‍්‍රස්තවාදය අපේ රටෙන් අතුගාලා දානවා කියලා.

අපේ විශ්වාසයක් තිබුණා එතුමා ගෙන යන වැඩපිළිවෙළ ගැන. දැන් රටට සාමය උදා වෙලා. මට හිතෙන්නෙ අපේ ගම්මාන දියුණු කරලා අලුත් ශී‍්‍ර ලංකාවක් ගොඩනඟන්නට අපි කැපවෙලා ඉන්නවා කියලා.

අපේ ගමේ පාසල්වලට ගුරුවරුන් ලබාදීලා මේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්නට හැකිනම් ඒක ලොකු පිනක්. දැන් අපට බයක් නෑ. සැකයක් නෑ. වෙනදාට අපි ගහකින් අත්තක් කපන්න ගියත් ගියේ බයෙන්.

අපි හිතුව විදියට ම ජනාධිපතිතුමා අපේ බලාපොරොත්තු ඉටු කළා. මං හිතන්නෙ අපේ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාව ලෝකයේ හොඳම රට බවට පත්කරාවි. ඒ ශක්තිය එතුමාට තියෙනවා.


මේ සැනසිල්ල සදා කාලිකයි

කුමුදු දිසානායක - ඇතාවැටුණු වැව

අපේ ජනාධිපතිතුමා අපට ලබා දුන් මේ සැනසිලිදායක බව සදාකාලිකයි. මා හිතනවා මේ ජයග‍්‍රහණයෙන් උපරිමයෙන් සතුටු වෙන්නේ අපි කියලා. ඉස්සර අපි මේ විදිහට කතා කර කර ඉන්නෙත් ජීවිතය හා මරණය අතර දෝලනය වෙමින්.

දෙයියනේ කියලා දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම නිරාකරණය වෙලා තියෙනවා.

දැන් අපිට අපේ රට වෙනුවෙන් යුතු කම් ඉටු කරලන්නට අවශ්‍යයයි. අපේ ගම දියුණු කරන්නට කිවුල් ඔය ව්‍යාපාරයට පණක් දෙනවා නම් ඒක ලොකු දෙයක්. කිවුල ව්‍යාපාරයෙන් අපට ජලය ලැබුණොත් ඒ ජලයෙන් මේ කුඹුරු ඉඩම් අස්වද්දන්නට අපට පුළුවන්. එතුළින් රටේ ආර්ථිකය නංවන්නට අපට දායක වෙන්න පුළුවන්.

ඒ වගේම අපේ ගමට බැංකුවක් අත්‍යවශ්‍යයි. අපිට ඕන වතුර ටික විතරයි. වතුරින් මුදල් සොයන්න අපි දන්නවා. මං හිතන්නේ මේ වෙලාවේ සෑම රට වැසියෙක්ම රට දිනවන්නට කැප විය යුතුයි.

මගේ මාතෘභූමිය ලෝකයේ හොඳම රට කරලන්නට ජනපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්නට සියලු දෙනාම එතුමා සමග අත්වැල් බැඳගත යුතුයි.


බෝම්බ හඬ ත‍්‍රස්ත බිය තුරන් කොට හමාරයි

මහින්ද අබේසුන්දර - දිනමිණ ප‍්‍රධාන කර්තෘ

ළාම් සිහිනය සැබෑ කර ගන්නට විනාශ කළ උතුරට දැන් නිදහසේ අරුණළු වැටෙමින් තිබේ. වළලා තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සකී‍්‍රය කිරීමට ද පියවර ගෙන ඇත. බෝම්බ හඬ ත‍්‍රස්ත බිය තුරන් කොට හමාරය.

උතුරේ ජනතාවට යළි තමන්ගේ ම නිවෙසක තමන්ට ම අයිති බිම් කඩක ජීවත්වීමේ අයිතිය දින 180ක් ඇතුළත ලබාදීමට ජනාධිපති කාර්ය සාධක බලකායත් උතුරු වසන්තයත් පියවර ගෙන ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා