ජනතාව තුළ අලුත් බලාපොරොත්තු


 

ජනතාව තුළ අලුත් බලාපොරොත්තු

උතුරු නැඟෙනහිර ප‍්‍රදේශ මූලිකව අවුරුදු තිහක් පුරා කි‍්‍රයාත්මක වූ යුද්ධය දැන් නිමාවට පත්ව තිබේ. මේ යුද්ධය නිසා මිල කළ නොහැකි ජීවිත දසදහස් ගණනක් රටට අහිමි විය.

තවත් විශාල පිරිසක් ආබාධිත තත්ත්වයට පත්විය. තවත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වූහ. මෙය ලියන මොහොතේදී පවා උතුරේ සුබසාධන කඳවුරුවල ලක්‍ෂ තුනකට අධික පිරිසක් අවතැන්ව සිටිති. එමෙන්ම මේ යුද්ධය සඳහා මෙරට සතු රුපියල් ති‍්‍රලියන ගණනක් වූ මුදල් වැය කිරීමට සිදුවිය.

එහෙත් වර්තමාන රජය කි‍්‍රයාත්මක කළ මානුෂීය මෙහෙයුම නිසා අවුරුදු තිහක් රට ගිනි ගොඩක් කළ ත‍්‍රස්තවාදය පරාජය කර සහමුලින්ම විනාශ කිරීමට රජයටත් රණවිරුවන්ටත් හැකියාව ලැබිණි.

මේ විජයග‍්‍රහණය මෑතකාලීනව වාර්තා කළ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. එහෙත් අපට රටක් වශයෙන් ජයග‍්‍රහණයෙන් පමණක් සෑහීමකට පත්වීමට නොහැකිය.

මේ සඳහා තවදුරටත් ඉටුකළ යුතු කරුණු රැසක් තිබේ. සිංහල, දෙමළ, මුස්ලිම් සැමට සාමයෙන් සමඟියෙන් හා සංවර්ධිත ජාතියක් ලෙස අනාගත ලෝකයේ ජය කෙහෙළි නැංවිය හැක්කේ එවිටය.

යුද ජයග‍්‍රහණය ස්ථිරසාර සාමයක් ගොඩනැඟීම සඳහාත් සංවර්ධිත අලුත් ශී‍්‍ර ලංකාවක් ගොඩනැඟීම සඳහාත් මංපෙත් විවර කළ හැක්කේ එවිටය.

රජය මේ සඳහා ‘උතුරු වසන්තය’ නමින් කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන ජනාධිපතිතුමාගේ උපදෙස් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත ආරම්භ කර තිබේ.

මෙහිදී රජයේ එක් එක් අමාත්‍යංශ වෙත වෙනමත් එක්වත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා එළැඹී සිටිති.

කඩිනම් වැඩපිළිවෙළක් ලෙස ආරම්භ කර තිබෙන මෙහි මූලික අරමුණ වී ඇත්තේ යුද්ධයෙන් බිඳවැටුණ උතුරුකරය යළි ප‍්‍රතිසංස්කරණය කිරීම සහ යුද්ධයෙන් අවතැන් වූ ජනතාව යළිත් ඔවුන්ගේ ම ගම්බිම්වල පදිංචි කරවීමය.

මෙම වැඩපිළිවෙළේ මූලික වැඩ කටයුතු දැනටමත් ආරම්භ වී තිබෙන අතර මන්නාරමට දකුණින් පිහිටි සිලාවතුර ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු අවසන්ව ජනතාව යළිත් එහි පදිංචි කරවීම ආරම්භ කර තිබේ.

එම ප‍්‍රදේශවල බිඳවැටී තිබුණ නිවාස මහාමාර්ග ඇතුලු සියලු යටිතල පහසුකම් පෙරටත් වඩා හොඳ තත්ත්වයෙන් සිදු කර තිබේ. උතුරු වසන්තය පිළිබඳවත් එහි සාර්ථකත්වය පිළිබඳවත් ඇසින් දුටු සාක්‍ෂි එසේය. යුද්ධයෙන් අවතැන්වී නැවත පදිංචි වූ මෙම ප‍්‍රදේශවල ජනතාවගේ ම හඩින් පවසන්නේ යුද්ධ කාලයේදී කොටින්ගේ තාඩන පීඩන මැද ගත කළ ජීවිතයට වඩා අද ඔවුන් ගත කරන්නේ යහපත් ජීවිතයක් බවයි.

උතුරේ සෙසු ප‍්‍රදේශ සංවර්ධනයේත් ප‍්‍රධාන ඉදිකිරීම් පැවරී ඇත්තේ මහා මාර්ග, නිවාස ඉදිකිරීම් සහ ප‍්‍රවාහන අමාත්‍යංශවලටය. මෙහිදී මහා මාර්ග අමාත්‍යංශය තමන්ගේ වගකීම ඉෂ්ට කිරීම දැනටමත් ආරම්භ කර තිබේ. මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට ඒ – 9, ඒ – 35, ඒ – 32, ඇතුලු පළමු පන්තියේ ප‍්‍රධාන මාර්ග අලුත්වැඩියාව මූලිකව කළ යුතුය.

ඒ සඳහා වූ කටයුතු යුද්ධය අවසන් වී මාසයක් ඉක්මවා යද්දී ආරම්භ කිරීමට පුළුවන්කම ලැබීම සතුටුදායක තත්ත්වයකි. එහිදී මාර්ග සංවර්ධනය හා ප‍්‍රවාහන පද්ධතිය ක‍්‍රමවත් ලෙස සකස් කිරීම අත්‍යවශ්‍ය සාධකයකි.

උතුරු වසන්තය මෙහෙයවන රාජ්‍ය බලධාරිත්වය මෙය තේරුම් ගෙන තිබීම සතුටුදායක ප‍්‍රවේශයකි. මහා මාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීමේ උතුරු වසන්ත සැළැසුමට අනුව උතුර දකුණ පැය පහ, හයකින් යා කළ හැකි අධිවේගී මාර්ගයක් ද සැළැසුම් කර තිබේ. එවැනි අධිවේගී මාර්ගයක් ඇති කිරීමට ඉඩ ලැබුණහොත් අවුරුදු තිහක් තිස්සේ දුරස්ථව තිබූ උතුරු දකුණු සබඳතා යළි එකට එක් කිරීමට පුළුවන්කම ලැබෙනු ඇත. එයින් සිදු වන්නේ ත‍්‍රස්තවාදය නැවත ඇතිවීමට තිබෙන පුංචි ඉඩකඩ පවා ඇහිරී යාමය.

එමෙන්ම මාර්ග සංවර්ධනය යනු නූතන සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වූ සාධකයකි. එනිසා දියුණු මාර්ග පද්ධතියක් නිසා තිස් අවුරුදු යුද්ධයෙන් බැටකෑ උතුරට වසන්තයක් එළැඹීම නිසැකයෙන්ම සිදුවෙනු ඇත.

මහා මාර්ග පද්ධතියෙන් පමණක් පළාතක් සංවර්ධනය වෙනවායැයි සිතීම උගහටය. ඒ සඳහා එම ප‍්‍රදේශවල අලුතින් ගම්බිම් ඉදිවිය යුතුය. අවුරුදු තිහක් පුරා වන්නියේ ජනතාව ජීවත් වුවද ඔවුන්ට අංගසම්පූර්ණ නිවෙසක සෙවණ ලැබුණා යැයි සිතිය නොහැකිය. එම යුගයේදී සාමාන්‍ය ජනතාව ගැන නොතැකූ කොටි ත‍්‍රස්තවාදීන් තම නායකයන්ගේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ට පමණක් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට මග සැළැසූහ.

එහෙත් උතුරු වසන්තය වැඩපිළිවෙළ මඟින් උතුරේ සියලු ජනතාවට සුවපහසු නිවහනක් තනාදීමට කටයුතු කර තිබේ. මෙහිදී අවතැන් වූ සෑම පවුලකටම ස්ථිර නිවසක් ලබාදීමට කටයුතු කර ඇත. එමඟින් එම පවුල් ඒකකවලට සතුටුදායක ලෙස අනාගතයේ දී තම ජීවිතය ගත කිරීමට පුළුවන්කම ලැබී තිබේ.

මෙය උතුරේ වෙසෙන අහිංසක දෙමළ ජනතාවට සලසන ඉමහත් සෙතක් ලෙස සඳහන් කළ හැකිය. අලුත් පාරවල්, අලුත් ගෙවල් ලැබීමෙන් උතුරට අලුත් යුගයක් නිර්මාණය වෙනවා යැයි සඳහන් කිරීම අතිශයෝක්තියෙන් මවනු ලබන දෙයක් නොවන යථාර්තවාදී සත්‍යකි. මෙම තත්ත්වය නිසා උතුරේ කෘෂිකාර්මික ඛ්ා වෙළෙඳ ක්‍ෂේත‍්‍රය අලුත් මුහුණුවරකින් සංවර්ධනය වන මෙහි ප‍්‍රතිඵල උතුරේ ජනතාවට දීර්ඝ කාලීනව භුක්ති විඳිය හැකිය.

ගෙවල් තනාදීමෙන් හෝ මහා මාර්ග ඉදිකර දීමෙන් පමණක් සියල්ල සම්පූර්ණ වෙනවායැයි සඳහන් කිරීම නිවැරැදි නොවේ. මෙසේ යළි පදිංචි කරන ජනතාව සඳහා එදිනෙදා ජීවිතය ගෙනයාමට ආදායම් මාර්ග ඇති කළ යුතුය.

මෙම ජනතාවගේ සුපුරුදු ආදායම් මාර්ගය වී ඇත්තේ කෘෂිකර්මාන්තයයි. ඒ සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීම ඇතුළු සෙසු පහසුකම් මගින් ඔවුනගේ පැරැණි කෘෂිකාර්මික ජීවිතයට යළිත් පණ ලබාදිය හැකිය.

ඒ සඳහා උතුරේ ප‍්‍රධාන ජලාශ ආශි‍්‍රතව වාරිමාර්ග පද්ධතියක් ගොඩනැඟීමටත් තිබුණු වාරිමාර්ග පද්ධති ප‍්‍රතිසංස්කරණයටත් උතුරු වසන්තය මඟින් කටයුතු යොදා තිබේ. එහිදී ඉරණමඩු, අක්කරායන්කුලම් වැනි ජලාශවලින් සුවිශේෂී ප‍්‍රයෝජන ලබා ගැනීමට සැළැසුම් කර තිබේ. ජල හිඟය නිසා පීඩාවට පත්ව තිබෙන උතුරට ජලය ලබාදීමට රජයට පුළුවන්කම ලැබේනම් එය සුවිශේෂී කරුණක් වෙනු නියතය.

එපමණක් නොව උතුරු ප‍්‍රදේශයේ සෞඛ්‍ය අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයද මුළුමනින්මවාගේ යළිත් ගොඩනැඟිය යුතු තත්ත්වයක තිබේ. ඒ සඳහා ද උතුරු වසන්තය වැඩපිළිවෙළ මැදහත්ව සිටිති. සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී උතුරේ ප‍්‍රධාන නගර මූලිකව මූලික රෝහල් ඉදිකිරීමටත් ප‍්‍රාදේශීය නගර හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල ග‍්‍රාමීය රෝහල් ඉදිකිරීමටත් කටයුතු කරමින් සිටිති.

උතුරේ ගම් නගර ප‍්‍රතිසංස්කරණයට සමගාමීව මෙම රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමද ආරම්භ කෙරෙනු ඇත. එමෙන්ම පාසල් පද්ධතියද යළි ස්ථාපිත කිරීමට නියමිතය. මෙහිදී සියලු පාසල් සඳහා එදා තිබුණාට වඩා ඉහළ පහසුකම් ලබාදීමට නියමිතව තිබේ.

ඒ පිළිබඳව අප අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කෙළේ මෙතෙක් උතුරේ නාගරික ප‍්‍රදේශවලට පමණක් සීමාවී තිබූ පහසුකම් සහිත පාසල් වන්නියේ දුෂ්කර ප‍්‍රදේශවලටද වෙනසකින් තොරව ලබාදෙන බවය. මෙම කටයුත්ත ඒ ආකාරයට ම සිදු වුවහොත් සැමට සම අධ්‍යාපන අවස්ථා ලබාදීම යන වැඩපිළිවෙළ වන්නියේදී සාර්ථක කර ගැනීමට පුළුවන්කම ලැබෙනු ඇත.

රජය කි‍්‍රයාත්මක කරනු ලබන උතුරුවසන්තය වැඩපිළිවෙළ සමඟ මායිම් ගම්මාන ලෙස හඳුන්වන ලද ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට ජාතිය ගොඩනැඟීමේ අමාත්‍යංශය කටයුතු ආරම්භ කර තිබේ.

මෙම ගම්මානවලද මෙතෙක් නොදියුණුව තිබූ, ත‍්‍රස්තවාදය නිසා විනාශ වූ සියලු දේ යළි ගොඩනැඟීමට කටයුතු කර තිබේ. මෙය දහසක් තර්ජන මැද ත‍්‍රස්තවාදීන්ගේ මරණ වරෙන්තුව නොතකමින් කටයුතු කළ මායිම් ගම්මානවල ජනතාවට සිදු කරනු ලබන උපහාරයක් බඳුය.

රජය ආරම්භ කර තිබෙන උතුර සංවර්ධන වැඩපිළිවෙළ හෙවත් උතුරුවසන්තය මඟින් තිස් අවුරුදු යුද්ධයෙන් විනාශ වූ උතුරුකරය නැවත ගොඩනැඟීම පමණක් නොව යුද්ධය නිසා දුරස්ථ වූ සිංහල, දෙමළ සහෝදරත්වය යළිත් එදා තිබුණාටත් වඩා හොඳින් ස්ථාපිත කිරීම මෙහි තවත් අරමුණකි. දෙමළ ජනතාව යනු සිංහල ජනතාවගේ සහෝදරයන් බවත් උතුරට මෙන්ම දකුණටද රජය සමාන අයුරින් සලකන බවත් උතුරු වසන්තය වැඩපිළිවෙළ මගින් තහවුරු වෙනු ඇත.

උතුරු ප‍්‍රදේශය සංවර්ධනය කර දෙමළ ජනතාව යළිත් ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කරවීම මඟින් අවුරුදු තිහක් පුරා දෙමළ ජනතාවගේ ඊනියා ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටි කොටි සංවිධානයත් ශිෂ්ට සම්පන්න ශී‍්‍ර ලංකා රජයත් අතර වෙනස කුමක්ද යන්න උතුරේ දෙමළ ජනතාවට වැටහෙනු නියතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා