එජාපයෙන් කුමන අභියෝග ආවත් ශ‍්‍රීලනිපය දිනවන්න කැපවෙනවා

එජාපයෙන් කුමන අභියෝග ආවත් ශ‍්‍රීලනිපය දිනවන්න කැපවෙනවා

- ඇමැති මනෝ විජයරත්න

එක්සත් ජාතික පක්ෂයෙන් කුමන අභියෝග පැමිණියත් එම අභියෝගවලට නිර්භීතව මුහුණදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විජයග‍්‍රහණය කරවීමට තමා කැපවන බව ව්‍යවසාය සංවර්ධන ඇමැති මනෝ විජයරත්න මහතා පැවසීය. එම කාර්යය ඉටු කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් විශාල පිරිසක් අද තමා වටා එකතු වී සිටින බව ද හෙතෙම කීවේ ය.

දැදිගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බොටුවාවේ ශ‍්‍රී සුමංගල මහනායක හිමියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඇමැතිවරයා එසේ පැවසීය.

දැදිගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායක ධූරයෙන් පිදුම් ලැබූ ව්‍යවසාය සංවර්ධන ඇමැති මනෝ විජයරත්න මහතා අත මල්වතුපාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමියන් පිරිත් නූලක් බැඳ සෙත් පැතූ අයුරු.

දැදිගම නිදහස් පක්ෂයේ නව සංවිධායකවරයා ලෙස ජනාධිපතිතුමා තමන්ට බාරදුන් වගකීම නොපිරිහෙළා ඉටුකරන බව පවසන ඇමැතිවරයා තමන් ඇතුළු 17 දෙනාගේ සහය උපරිමයෙන් රජයට ලබාදෙන බව ද කීවේ ය.

එහිදී ඇමැතිවරයා මෙසේ ද කීවේ ය. තමන් ඇතුළු දාහක්දෙනා එදා රජයට එකතුවීමට ගත් ඓතිහාසික තීන්දුව අද මල්ඵල ගැන්වී තියෙනවා. පාක්ෂිකයොත් අප ගත් තීරණයට ආශිර්වාදය කළා.

අයවැය ජයග‍්‍රහණයට සහයදෙමින් ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ යුද්ධයට ධෛර්ය ලබාදීමට හැකිවීම අප ලැබූ භාග්‍යයක්. දේශපාලන ජීවිතයේ සතුටෙන් සමුගැනීමට හැකියාව අපට දැන් තියෙනවා.

ශ‍්‍රී ලංකාවට තිබුණු මැණික් නිධි රාශියක් අහිමිව තිබෙනවා. වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ සහ මොරගහකන්ද වැනි ජලාශවලට මැණික් නිධි රාශියක් යට වී තියෙනවා.

ඇතැම් නිලධාරීන්ගේ හා ඉංජිනේරුවන්ගේ වැරදි වාර්තා ඉදිරිපත් කළ නිසා විශාල මැණික් නිධි ප‍්‍රමාණයක් ජලාශවලට යට වී තිබුණා.

මුදලට හා විදේශීය බලපෑම්වලට යටත්වෙලා බොරු වාර්තා ඉදිරිපත් කළ පුද්ගලයින්ට එරෙහි ව පියවර ගන්නා බව ද හෙතෙම කීය.

මෙහි දී ඇමැතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මුණගැසුණි. මේ අවස්ථාවට තුර්කි කොන්සල් ජනරාල් භාරතී විජේරත්න මහත්මියද සහභාගි වී සිටියාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා