මවුපිය සෙනෙහස අහිමි වූ ඇගේ වෛරය

මවුපිය සෙනෙහස අහිමි වූ ඇගේ වෛරය

මා ඉදිරියේ සිට හිටිවනම ඒ කවිය කිවුවා ය. කව් ලියන්නට කියන්නට ඈට තිබෙන්නේ සහජ හැකියාවකි. 53 හැවිරිදි ඇගේ් වතේ තරුණ කාලයේ වූ රූ සොබාවේ ශේෂයන් තවමත් දැකිය හැකිය. ඕනෑම පිරිසක් මැද නොබියව ඉදිරියට පැන කතා කරන මේ කෙසඟ ගැහැනිය තුළ අපූර්ව ආකාරයේ ගැහැනියක් ජීවත්වනවා යැයි මට සිතේ. ඇගේ මුව දෙපසින් කැපුම් පහර දෙකකි.

“ඔයාගේ ඔය කට කැපුණේ කොහොමද”

“අපෝ ඒක දිග කතාවක්”

අතීතය සිහිනයකි දැවෙන හද           චිතකයේ
සොඳුරු බර මතකයන් කඳුළු විය හදවතේ
අසාධාරණ ලොවක උපන් ඒ             ශාපයට
ජීවිතය සින්න විය නීතියේ මළ       පොතට

“පත්තරේට නොලීවත් කමක් නෑ. ඔයා ටිකක් මෙයා එක්ක කතා කරලා බලන්න දවසක් අහගෙන පුළුවන් දේවල් කියයි”

ඈ අසලම සිටි තරුණ බන්ධනාගාර නිලධාරිනිය මට කීවේ සිනාසෙමිනි.

“එහෙනම් මට ඔයාගේ ඒ දිග කතාව කෙටියෙන් කියන්න”

කොතරම් දැඩි ගතියක් පෙන්වුවද ඈ තුළ ලාමක ගතිද ඇති බව මට සිතුනේ මා හා එකඟව කතා බහට සැරසුණ විටය. ඇය මැණිකේය. කලක් මෙරට බොහෝ බලවතුන් අතර බලවත්ව සිටි බවලතෙකි.

“අපි සබරගමුවේ මිනිස්සු. අපේ පප්පා රටේ මහත්තයෙක් එයා හරි නම්බුකාර විදිහට ජීවත් වුණාලු. මට අයියලා තුන්දෙනෙක් හිටියා. ඒත් අපේ අම්මගේ වැරැදි වැඩ නිසා අපේ පවුල විසිරිලා ගියා. එතකොට මට අවුරුදු පහයි. අම්මගේ අනියම් සම්බන්ධකමක් පප්පගෙ අතටම අහුවෙලා.

ලැජ්ජාව නිසා පප්පා වෙඩිතියාගෙන මැරුණා. අයියලා ගේ අතහැරලා ගියා. මාවත් අරන්. මාව බලාගන්න කෙනෙක් නැති නිසා අපේ ඥාති ස්වාමින්වහන්සේ නමක් මාව ළමා නිවාසයක නැවැත්තුවා.

ළමා නිවාසයේදී ඉතා හොඳින් ඉගෙන ගත් ඈ උසස් පෙළ ද හොඳින් සමත්වූවා ය. ඇගේ මවුපසින් ඥාතිවන තරුණයෙකු හා යෝජනාවකට අනුව ඈ විවාහ වූවාය. දරුවන් තිදෙනෙකු ලැබෙනතුරුම සැමියාගේ අමුත්තක් නොවිණි.

එහෙත් කල් යත්ම ඔහුට අනියම් සබඳතා ඇති බව මැණිකේට ආරංචි විය. සැමියා තමන් නුරුස්සන බවද ඇයට ඒත්තු ගියේය. එහෙයින් ඕ වඩාත් සමාජශීලි වැඩවලට නැඹුරු වූවා ය.

ඒ කාලයේ ඔවුන් දන්නා හඳුනන ආසන සංවිධායකවරයෙක් මැතිවරණයට ඉදිරිපත්ව සිටියේය. ඔහුට සහයෝගය පළ කිරීමට මැණිකේ ඉදිරිපත් වූවාය. මේ 1989 භීෂණ කාලයයි.

“පක්ෂෙ කෙසේ වෙතත් මම තමුන්නාන්සේව දිනවලා දෙන්නම්”

මැණිකේ පොරොන්දු වූවාය. ඇය ආසනය පුරාම ඇවිද මනාප එකතු කළාය. අන්තිමේදී ඇගේ වෑයම සඵල විය. අපේක්ෂකයා ජයග්‍රහණය කෙළේය. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ඇය තවත් කිහිප දෙනෙකු සමඟ කැබ් රථයකින් ගමන් කළාය. ආපසු එනවිට විරුද්ධ පක්‍ෂයේ පිරිසක් සැඟවී සිට වෙඩි තැබූහ.

එක් අයෙක් මියගොස් තවකෙකුට තුවාල සිදුවිය මැණිකේගේ කට දැලිපිහියෙන් කපා දැමිණි. දැන් ඇගේ මුහුණ හරහට මුඛය දෙපැත්තෙන් දරුණු කැපුම් පහර දෙකකි.

“ඔය මූණත් අරන් තමුසෙත් එක්ක මං පාරේ බැහැලා යන්නේ කොහොමද?”

දුරස්වෙමින් සිටි සැමියා ඇගෙන් ඈත්වීමට එයද හේතුවක් කරගත්තේය. ඔහුගේ නොපනත් කම් ඉවසිය නොහැකි තැන ඈ දරු තිදෙනා ද කැටිව කාමරයක් කුලියට ගෙන පදිංචි වුවාය.

“ජීවත්වෙන්න විදිහක් නැතුව මම කුලී වැඩ කළා. නමුත් ඒ මුදල ජීවත්වෙන්න මදි. ඒ අතරෙදි තමයි මට ඒජන්සි කරන ගෑනු කෙනෙක් මුණ ගැහුණේ. එයා මට සල්ලි වංචා කරන හැටි කියලා දුන්නා. ඒත් මට දුප්පත් මිනිස්සුන්ට වංචා කරන්න හිතුනේ නෑ. ඒ වෙනුවට “මම මැණික් මුදලාලිලාට වංචා කළා.

මම ලක්‍ෂ ගණන්වලින් සල්ලි හෙව්වා

වංචාකරපු අඩුම ගාණ ලක්‍ෂ හැටපහයි”

මම විස්මිත වී ඈ දෙස බලාසිටියාය. ඈ ඒ ගණන් කීවේ ශත ගාණක් ගැන කියනවාට වඩා සැහැල්ලුවෙනි.

ඒ කාලේ හිටියෙ ඇමැති කෙනෙකුගෙන් මම කෝටි දෙකහමාරක් වංචා කළා. දුරකථන සමාගමකට කේබල් දාන්න ආව සමාගමකින් කෝටි දොළහමාරක් (12 1/2) වංචා කළා. මැණික් වංචාවයි මේ සේරම මම අවුරුදු 8 ක් 9 ක් තිස්සේ පාඩුවේ කරගෙන ගියා කිසි කරදරයක් නැතුව.

ඒ කාලේ මැති ඇමැතිවරු නිතරම අපේ ගෙදර ආවා ගියා. මේ වෙනකොට මම හම්බ කරපු සල්ලිවලින් ගෙවල් අරන් දරුවන්ට ඉඩම් අරන් හුඟක් දේවලා කරලා තිබුණේ.

කොටින්ම ඒ එක මන්ත්‍රී, ඇමැති කෙනෙකුටවත් පවුල් පිටින් ගමන් ගියත් මං නැතුව බෑ. මොකද ඔය තැන් තැන්වල ගිහින් ඒගොල්ලෝ වෙනුවෙන් බාර හාර වුණේ මං නිසා.

අපි පෝයට කතරගම යනවා. මැණිකෙත් යං අපි එක්ක. ඔයවගේ කතා ඛ්රියට කිවුවා. ඒ කාලේ මගේ ඕනෑම ප්‍රශ්නෙකට පොලිසියට කෝල් කරන පමාව විතරයි. ඕ. අයි. සී. මහත්තුරු ගෙදරටම ඇවිත් ප්‍රශ්නෙත් විසඳලා දීලා යන්නේ.

“ඔයාට බය හිතුණේ නැද්ද? මේ වංචාවල් අහුවුණේ නැද්ද? මිනිස්සු නඩු දැම්මේ නැද්ද? මම නොයිවසුම්ව ප්‍රශ්න වැලක්ම ඇසිමි.

“මොකද නැත්තේ නඩු 165ක් තිබුණා. කොයි නඩුවට රිමාන්ඩ් කළත් මම දවස් 14 න් එළියට එනවා. ඒවට මුහුණ දීලාම ගැළවෙන විදිහ මම දැනගෙන හිටියා. ඒ කාලේ දැන්වගේ නෙවෙයි නීතියෙන් රිංගන්න පුළුවන් තැන් තිබුණා. නමුත් දැන් එහෙම නෑ. දැන් මේකේ ඇතුළේ සල්ලි බලේට තැනක් නෑ. ඒකයි මේ වතාවෙ මට නවතින්න වුණේ.

වංචා කළ මුදල්වලින් ඇය බොහෝ සුව පහසු ජීවිතයක් ගත කළාය. තමන්ට නොලැබුණු ළමා කාලයද සියලු සැප සම්පත්ද ඇය තම දරුවන්ට ලබා දුන්නාය.

සමහර මිනිස්සු ලැජ්ජාවට මට විරුද්ධව නඩු දැම්මේ නෑ. මම මේ හැමදේම කළේ සමාජය එක්ක ලොකු වෛරයකින් වගේ” නඩුවලට උසාවි යන එක මට සෙල්ලමක් වගේ වුණා. මම නඩුකාරයාට කවියෙන් බැනලා ලියලා යවනවා. අන්තිමට මාව උසාවියට හිසරදයක් වුණා.

එක නඩුකාරයෙක් උසාවියෙදී කිව්වා මගේ නඩුව අඬගහනතුරු මාව උසාවියට ගේන්නවත් එපා කියලා. ඔහොම ඉන්න කාලේ මම එක දවසක් නඩුකාරයගේ සීල් දෙකකුත් හොරකම් කළා.

මම විශ්මයෙන් ගල් ගැසී සිටියෙමි. මේ මොන විදිහේ ගැහැනියක්ද? යකඩ ගැහැනියක් ද යක්‍ෂ ගැහැනියක් ද?

“ඉතිං මොකද වුණේ. කොහොමද ඔයා සීල් එක හොරකම් කළේ”

මම ඇසුවේ සීමා රහිත නොඉවසිල්ලකිනි.

“ඒක අපේ ගම් පළාතේ උසාවියක්. හැමෝම අපේ පවුල ගැන දන්නවා. ඒකාලේ මට තිබුණ බලයත් නිසා ඕනෑ තැනක යන්න පුළුවන් කම තිබුණා. එක දවසක් මට උසාවි ගිහින් රෙජිස්ටාර් එක්ක කතා කරකර ඉන්න ගමන් නඩුකාරතුමාගේ දින මුද්‍රාවයි නිල මුද්‍රාවයි එතැන මේසේ උඩින් අරන් ඔසරිපොටේ දවටගෙන එළියට ආවා.

ඊට පස්සේ ඒවා පාවිච්චි කරලා ඇප ගන්න බැරිව හිටිය අයට ඇප අරන් දුන්නා. මැණික් ගල්වලට නඩු වැටුණ විදිහට ලිපිලේඛන හැදුවා. ඒවයින් කෝටි ගණන් සල්ලි හෙව්වා.”

ප්‍රශ්න ඇසීමෙන් තොරව මම මේ අමුතු ගැහැනිය ගේ කතාව අසා සිටියෙමි. ඇය කටයුතු කර ඇත්තේ කිසියම් වියරුවකින් මෙනැයි මට සිතේ.

“මේ කාලේ මාව අල්ලා දෙන කෙනෙකුට රුපියල් ලක්‍ෂ දහයක තෑග්ගක් දෙනවා කියලා රූපවාහිනි දැන්වීමකුත් දැම්මා. මම ගෙදරට වෙලා ඒක බලලා හිනා වුණා. දන්න අඳුරන ඇමැතිවරුන්ටත් කෝල් කරලා කිව්වා. දැන් මම ටී වී එකේත් රඟපානවනේ දැක්කේ නැද්ද කියලා.

මේ වන විට මැණිකේ ගේ දරුවන් ලොකු මහත් වී හොඳ රැකියාවලට ද යොමුවී සිටියහ. ඔවුහු සමාජයේ වැදගත් පවුල්වලින් විවාහ පවා කරගෙන සිටියහ. උසාවියට ඉදිරිපත් විය යුතු යැයි කුමන හෝ හේතුවක් නිසාවෙන් ඇයට කල්පනා විය.

ඇය නීතිඥවරයකු සහ හිතවතුන් කිහිප දෙනෙකු සමඟ පොලිසියට බාර වීමට සූදානම් වූවාය. ඒ වනවිටද ලක්‍ෂ දහයේ තෑග්ග වලංගුව තිබුණෙන් ඈ සමග සිටි හිතවත් අයෙකු ඈ අල්ලා දී ලක්‍ෂ දහය හිමිකර ගත්තාය.

“කමක් නෑ ඔහේ ගත්ත දෙන්”

ඈ සිතුවාය. ගමන් කළ වාහනයද ඇයද අත්අඩංගුවට ගැනිණි. මෙවර නම් වෙනදා මෙන් මුදල් බලයෙන් ගැළවී යාමට ඇයට නොහැකි විය. ඈ වසර දොළහකට වැලිකඩ බන්ධනාගාරයේ සිරගත වූවාය. දැන් මේ ගෙවී යන්නේ හය වැනි වසරයි. ඇගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂය තිබුණේ බන්ධනාගාරය තුළය.

බන්ධනාගාරයේ විසල් දොරටුවෙන් ඇතුළට ගිය “චණ්ඩි” මැණිකේ එහිදී වෙනස් ගැහැනියක් වූවාය. එයටද හේතු රැසක් තිබිණි. මෙවර එහි යනවිට සුපුරුදු පරිසරය වෙනස් වී තිබිණි.

වෙනදාමෙන් මුදල් අල්ලසට වැඩකරන අය ඈට සොයාගත නොහැකි විය. ජේලර්වරිය ද අලුත් කෙනෙකි. ඇගේ වැඩ නීතියටය. එහෙත් ඈ මැණිකේට කතා කළේ ආදරයෙනි. නමුත් මැණිකේ ඈ හා නොදොඩා තරහෙන් පුපුරමින් සිටියාය. මෙසේ දින කීපයක් ගත විණි.

“පිරිමියෙක් වගේ චන්ඩිකමෙන් සල්ලි බලෙන් ඔයා ඔය ගෙවන ජීවිතේ නවත්තන්න මැණිකේ. ඔහොම ගිහින් කවුරුහරි ඔයාව මරලා දැම්මොත් ඔයාගේ දරුවන්ට වෙන්නේ මොනවද?

මෙවැනි කතා නිතරම ජේලර්වරියගේ මුවින් නික්මිණි. ටික දිනක් යනවිට මැණිකේගේ සිත තරමක් මොළොක් විය.

“ඇයි මෙයා මේ තරම්ම මට මේ දේවල් කියන්නේ. මට මේවගේ ආදරෙන් කවුරුවත් කතා කළේ නැහැ. මෙයා ඇත්තටම මට ආදරෙන්ද කියන්නේ. මැණිකේ සිතුවාය. කරුණු වැටහෙත්ම ඇගේ දෑස් කඳුළෙන් පිරිණි. ඇයට ඉබේටම හැඬුම් ආවේය.

මම මගේ ජීවිතේ වෙනස් කරගත්තා. කළ වැරැදිවලට දඬුවම් විඳලා එළියට ගිහින් දරුවොත් එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න හිතා ගත්තා. දැන් මගේ හිතේ ඉස්සර තිබුණ වෛරී හැඟීම් මුකුත් නැහැ.

සමාජයට වෛර කළ දරුණු ගැහැනියක ලෙස මහඋළු ගෙදරට ගිය මැණිකේ අද බොහෝ දේ ගැන විවේක බුද්ධියෙන් සිතා කටයුතු කළ හැකි ගැහැනියකි.

“දිට්ට ධම්මවේදනීය කර්මය කියන දේ මේ ලෝකෙදීම පටිසන් දෙනවා. එදා මම කරපු දේවල්වලට මට දඬුවම් ලැබිලා. මගේ බඩවැලේ පිළිකාවක්. නමුත් හෙට මැරුණත් මගේ හිත සැහැල්ලුයි. මම මවුපියන්ගේ මගේ සැමියගේ ආදරය නොලබපු ගැහැනියෙක්. දරුවෝ එක්ක ගත කළෙත් ටික කාලයයි.

මට ආදරය කරුණාව ලැබුණේ මේ හිරගෙදර ලොකු මැඩම්ගෙන්. හිරබත් කෑවත් දැන් හිත නිදහස්. සුන්දරයි. මම ළඟදී ගෙදර යනවා. ජීවිතය හරහා වැටුණු කළු පැල්ලම් මකාගෙනයි මම යන්නේ මම මෙහේදී ඉගෙන ගත්ත දේවල්වලින් මට සල්ලි හම්බ කරන්න පුළුවන්. මම ඒවට පිං දෙන්නේ හිරගෙදර ලොකු මැඩම්ටයි. මගේ දූලා වගේ ඉන්න අනිත් නිලධාරිනියන්ටයි.”

බුලත් කහට බැඳි දසන් දක්වා සිනාසෙමින් ඈ කියන්නේ හෘදයාංගම ස්වරයකිනි.

“”ඉතිං ඔයා එළියට ගියාම ඔය මූණේ කැලලින් ඔයාව ඕන කෙනෙකුට අඳුරගන්න පුළුවන්නේ.” මම කීමි.

පිස්සුද මිස් මම එළියට ගිහින් මෙහෙම ඉන්නේ නෑ.මේ කොණ්ඩෙ කපලා ඇඳුම පවා වෙනස් කරනවා. රුපියල් 19000ක කී‍්‍රම් එකක් තියෙනවා ඒකට මේ කැලල් සේරම මැකිය හැකි. ඈ කියන්නේ ජයග්‍රාහි සිනාවෙනි.

හොඳයි දැන් අන්තිමට ඔයාට මොනවද කියන්න තියෙන්නේ මම ඇසිමි.

ගැහැනිය හැමදාම අසරණයි. සමාජය එයින් ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා සමාජය දිහා ආරක්ෂා සහිතව බලන්න. අසරණ වුණාට වරදට යොමුවෙන්න එපා. ගැහැනුකම රැක ගන්න. ලෝක අපවාද නොඅසා දරුවන්ට පාරේ බැහැලා යන්න පුළුවන් අම්මෙක් වෙන්න. මං වගේ වෙන්න එපා. එළියේ අයට මම කියන්නේ ඒකයි.

ඈ එසේ කියාගෙන ගියාය.

“මං තව කවියක් කියන්නද ඒකත් ලියා ගන්න

“ගැරහුම් අවමාන ඉවසුම කියාදේ

විවේචනය නිවැරැදි මඟ සොයාදේ

බාධක නිබඳ ජය ශක්තිය ලබාදේ

මේ සැම එකතු වී මිනිසකු තනාදේ”

මද සිනාවෙන් යුතුව කවි කියන මේ අරුම ගැහැනිය දෙස මම කිසිවක් කියාගත නොහැකිව බලා සිටියෙමි.

වැලිකඩ බන්ධනාගාරයේ සියලු නිලධාරීන්ට හා නිලධාරිනියන්ට විශේෂ ස්තුතිය පිරිනැමේ.
මෙහි සියලු නම් ගම් මනඞකල්පිත ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා