ජවිපෙ ස්වර්ණමය යුගය අවසානයි

ජවිපෙ ස්වර්ණමය යුගය අවසානයි

ෂාන් විජයලාල් ද සිල්වා
දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති,
ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.ස. කණ්ඩායම් නායක

කුණේ පළාත් සභා මැතිවරණය සඳහා නිදහස් සන්ධානයේ සූදානම කොහොමද? නිදහස් සන්ධානයේ දේශපාලන ගමනට විපක්‍ෂය පාර්ශ්වයෙන් එල්ල වී තිබෙන අභියෝග මොනවාද? සහ පළාත් සභා මැතිවරණයේ දේශපාලන වටිනාකම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් එ. ජ. නි. ස. කණ්ඩායම් නායක ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමඟ කළ සංවාදයකි මේ.

* පසුගිය වසර පහේදී දකුණේ් මහ ඇමැතිවරයා විදිහට ඔබගේ පාලන කාලය ඇතුළත දී පළාත් සභාව මගින් ඉටු කරන ලද සේවය මොන වගේද?

පසුගිය අවුරුදු පහේදී අපිට තමයි වැඩි ම අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. සුනාමි ව්‍යසනයෙන් දකුණු පළාත විනාශ වෙද්දී අපි පළාත් සභාවේ බලයට පත් වුණා විතරයි. එතැන් සිට දකුණ යළි ගොඩනැගීමේ කාර්ය භාරයට අත ගහන්න සිද්ධ වුණේ අපිට. මේක අපිට ප්‍රබල අභියෝගයක් විදිහටයි තිබුණේ. ඒත් අවුරුද්දක් යද්දී අපිට පුළුවන්කම ලැබුණා මේ අභියෝගය ජය ගැනීමට. වෙන කිසි ම පළාත් සභාවකට මේ අභියෝගය එල්ල වුණේ නැහැ.

ඒ නිසා අපිට සංතෝස වෙන්න පුළුවන් දකුණට වැඩක් කළා කියලා. අපිට පළාත් සභාවේ බහුතරය තියාගෙන වැඩ කරන්න පුළුවන්කම ලැබුණේ අවුරුද්දයි. අවුරුද්දක් යද්දී අපිත් එක්ක තරග කරලා ආණ්ඩු පක්‍ෂයේ හිටිය ජනතා විමුක්ති පෙරමුණ අපෙන් අයින් වෙලා විපක්‍ෂයේ ඉඳගත්තා.

එදා ඉඳලා අවුරුදු හතරේ ම අපි පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂයේ හිටියේ බහුතර ආසන ප්‍රමාණයක් නැතිවයි. මේ වගේ දුෂ්කර දේශපාලන වාතාවරණයක් තියෙද්දිත් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ජනතාවට විශාල සේවයක් සිදුකරන්න. ඒ අතර පළාත් සභාවේ බලය ආරක්‍ෂා කරගෙන ඉදිරියට යන්න.

ග්‍රාමීය යටිතල පහසුකම් ඉහළ දැමීම අධ්‍යාපනයේ සංවර්ධන කටයුතු වගේ ම ධීවර කර්මාන්තයට ප්‍රාදේශීය වශයෙන් ලැබිය යුතු ඉහළ ම සහයෝගය ලබාදීමටත් දකුණු පළාත් සභාවට පුළුවන් වුණා. මේක අපි දේශපාලන අභියෝග ජය ගැනීම සහ සංවර්ධන ඉලක්ක ජය ගැනීම යන කාරණා එකවර ජය ගැනීමට පුළුවන් වෙච්ච අවස්ථාවක් විදිහටයි මම දකින්නේ.

* එජාපය, ජවිපෙ කියන විදිහට නම් පසුගිය අවුරුදු පහේදී එජනිස පාලනය යටතේ දකුණට සේවයක් ඉටුවෙලා නැහැ කියලා චෝදනා කරනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

විරුද්ධ පාක්ෂිකයන් පක්‍ෂයට වෙලා නින්දේ හිටියම ඒ අයට මේ දේවල් තේරෙන්නේ නැහැ. දකුණේ මැදහත් ජනතාව පළාත් සභාව මගින් ඉටු කළ සේවය ගැන විශාල අවබෝධයකින් ඉන්නේ. එජාපය, ජවිපෙ වගේ බංකොළොත් වෙච්ච දේශපාලන පක්‍ෂ නඟන චෝදනා දකුණේ ජනතාව පිළිගන්නේ නැහැ. අද මේ අය කතා කරන්නේ තමන්ගේ බංකොළොත්කම වහගන්න මිසක් වෙන දේකට නෙමෙයි.

* එජාප පළාත් සභා අපේක්‍ෂක බුද්ධික පතිරණ මහතා සඳහන් කරනවා, දකුණේ දී ආණ්ඩුවට රිදෙන්න ගහනවා කියලා. ඇත්තට ම එහෙම කරන්න පුළුවන් වෙයිද?

මට කෙනෙක්ගේ නමක් කියලා උත්තරයක් දෙන්න බැහැ. මගේ ප්‍රතිපත්තිය තමයි පුද්ගලයන් විවේචනය නොකර ප්‍රතිපත්ති විවේචනය කිරීම. ඒත් මගේ පක්‍ෂයට විවේචනයක් අභියෝගයක් එල්ල වෙනවා නම් ඒකට උත්තරයක් දිය යුතුයි. අද තියෙන තත්ත්වය අනුව අනාවැකි කියන්න දෙයක් නැහැ. ආණ්ඩුවට ඉතාමත් පහසුවෙන් ජයගන්න පුළුවන්.

ඒ වගේම පැහැදිලි පරතරයකින් ආණ්ඩුවට දිනන්න පුළුවන්කම තියෙද්දි ආණ්ඩුව හොල්ලනවා. ආණ්ඩුව පරද්දනවා වගේ මෝඩ කතා කියන්නේ දේශපාලන වශයෙන් අත්දැකීම් නැති දේශපාලන වශයෙන් මුහුකුරා නොගිය අය විතරයි. ඒ කතාව කියන්න ඇත්තේ මේ වගේ පුද්ගලයෙක් වෙන්න ඕනෑ. ඒ නිසා මේ වගේ මුහුකුරා නොගිය අත්දැකීම් නැති අයට දේශපාලනය ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න වෙයි.

* දකුණු පළාත් සභාවට නාමයෝජනා භාරදීමත් සමඟ එම ප්‍රදේශවල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යන තත්ත්වයක් දකින්න පුළුවන්. මේ තත්ත්වය පසුගිය පළාත් සභා මැතිවරණවල දී දකින්නට ලැබුණේ නැහැ. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

සමහර මාධ්‍යවලින් මෙහෙම තත්ත්වයක් පිළිබඳව උලුප්පා දැක්වීම් කරනවා. ඒත් දකුණේ ඔය විදිහේ භීෂණයක් ප්‍රචණ්ඩත්වයක් නැහැ. හුදෙකලා සිදුවීම් සුළු සිදුවීම් කිහිපයක් වෙන්න ඇති. එහෙම නැතිව මහා පරිමාණ ප්‍රචණ්ඩ ක්‍රියා නම් මේ දවස්වල සිද්ධ වුණේ නැහැ. ඒ නිසා අපිට කියන්න බැහැ දකුණේ ඡන්දය ප්‍රචණ්ඩකාරියි කියලා.

හැබැයි එජාපය නම් එදා සම්පූර්ණයෙන් ම මැතිවරණ ජයග්‍රහණය කළේ ප්‍රචණ්ඩත්වය සහ හොර ඡන්ද දමලා. අපිට ඒ විදිහට ඡන්ද දිනන්න ඕනෑකමක් නැහැ අපිට රට පුරාම ඉහළ ජනතා පදනමක් තියෙනවා.

* ජවිපෙ නිජබිම ලෙස සලකන්නේ දකුණු පළාත් සභාව මේ තත්ත්වය තුළ දකුණේ ජවිපෙ ක්‍රියාකාරීත්වය ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට අභියෝගයක් නෙමෙයිද?

කිසිම අභියෝගයක් නැහැ. දකුණේදී කියලා ජවිපෙට අලුත් දෙයක් කරන්න බැහැ. ඒ අයගේ ස්වර්ණමය යුගය අවසන් වෙලා තියෙන්නේ. මේ විදිහට ගියොත් දකුණේදී ආසන 3 ක් දිනාගැනීම පවා දුෂ්කර වෙලා තියෙන්නේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා