රනිලුත් මේ පොත ගන්නා බව මට විශ්වාසයි

රනිලුත් මේ පොත ගන්නා බව මට විශ්වාසයි

- මහින්ද අබේසුන්දර

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී... දිනමිණ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා ලියූ ‘විපරම’ කෘතිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී එළිදක්වන්නට නියමිත ය. කලක් ස්වාධීන රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශනයෙන් අනතුරුව විකාශය කරන ලද අතිශය ජනප්‍රිය වූ ‘විපරම’ මෙසේ කෘතියක් ලෙස පාඨකයා වෙත ගෙන එන්නට එහි පිටපත් රචක මහින්ද අබේසුන්දර ඉදිරිපත් වීම ‘විපරම’ බැලූ මෙන් ම නොබැලූ සැමට ද ‘විපරම’ පිළිබඳ පසු විපරමක් කරන්නට උදා වූ අවස්ථාවකි.

* ‘විපරම’ ඔබගේ අලුත් ම කෘතියයි. මෙහි අන්තර්ගතය ගැන කතා කළොත්?

‘විපරම’ කෘතියට පාදක වෙන්නේ කලක් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය වීමෙන් අනතුරුව පළ වූ විශේෂාංගය යි. ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය ආරම්භ වුණේ 1995 වර්ෂයේ සාමාන්‍යාධිකාරී වශයෙන් නිව්ටන් ගුණරත්න පත්ව සිටි යුගයේ දී යි. එවකට මම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විදියට ITN එකට පැමිණ සිටි අවධියයි. මම ITN එකට යන කොටත් ‘විපරම’ විශේෂාංගය පටන් අරගෙන තිබුණා.

එහි ස්වභාවය ගැන කතා කළොත් ‘විපරම’ කියන්නේ සමාජ ප්‍රශ්න ගැන කතා කළ වැඩසටහනක්. විවිධ රූපවාහිනි නාලිකා දේශපාලනය ගැන කතා කරන්නට අකැමැති යුගයක ‘විපරම’ පිටපත රචනා කිරීමේ වගකීම මට බාර දුන්නා. විශේෂයෙන් ම කාලීන සමාජ ප්‍රශ්න දේශපාලනය සමඟ මුසු වූ වැඩසටහනක් ලෙස ලිවීම මෙහි ප්‍රධානතම අරමුණ වුණා.

* ඔබ බොහෝ විෂයයන්... පුද්ගලයන් පිළිබඳ නිරතුරුවම විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යවලට ලියන මාධ්‍යවේදියෙක්. ‘විපරම’ තෝරා ගෙන මෙසේ කෘතියක් ලෙස පළ කරන්නට හිතුණේ ඇයි?

‘විපරම’ කියන්නේ ඒ අවධියේ දකින්නට ලැබුණු සුවිශේෂී වැඩසටහනක් කිව්වොත් නිවැරැදියි. ‘විපරම’ එවකට ආන්දෝලනාත්මක වැඩසටහනක් වෙලා තිබුණා. මේක බොහෝ ම සැරට වදින තැන්වලට වදින වැඩසටහනක්. විශේෂයෙන් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය තුළ තිබූ අසාධාරණය ඍජුවම පෙන්නුම් කළේ ‘විපරම’ යි. එනිසා ම එක්සත් ජාතික පක්ෂයට ‘විපරම’ බරපතළ හිසරදයක් බවට පත් වෙලා තිබුණා.

නිදර්ශනයක් හැටියට කිව්වොත් ජූලි වර්ජනයෙන් ලක්ෂ දෙකක පිරිසකට රැකියාව අහිමි කරවීම, විසි දෙනෙක් සිය දිවි නසා ගැනීම, බඩු මිල අහස උසට වැඩිකිරීම, රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීම (පියන් තනතුරක්වත් නොදීම) ආදී ප්‍රශ්න ගැන ‘විපරම’ තුළින් නොබියව කෙලින් කතා කළා. එනිසා ම මේ වැඩසටහන ජනතාව අතර ප්‍රචලිත; බහුතරයක් ඉතාම ප්‍රිය කරන වැඩසටහනක් වුණා.

ඔය කාලේ ම... ඒ කියන්නේ මම ‘විපරම’ ට සැරට ලියන කාලේ; UNP එකට සැරටම වදින කාලේ බලය වෙනස් වුණා. UNP  එක බලයට පත් වුණු වෙලාවේ මට සහ මගේ පවුලේ උදවියට සැඟවී ඉන්නත් සිද්ධ වුණා. එක්තරා පෞද්ගලික රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවක් මම යන එන තැන් පිළිබඳ විශේෂයෙන් ප්‍රවෘත්ති විකාශය කළා.

රටේ නොයෙකුත් ප්‍රදේශවල සැඟවෙමින් ජීවිතය බේරා ගෙන මාස 1 1/2කට පස්සේ කොළඹට ආවා. මම ගිය තැන්වලදී ‘විපරම’ වැඩසටහනේ ජනප්‍රියත්වය ගැන මිනිස්සු ප්‍රශංසාත්මකව කතා කළා. ඉතිං ඒ අදහසත් මගේ හිතේ තිබුණා. ඒ අතරේ මං ඇසුරු කරන දේශපාලන ක්‍ෂේත්‍රයේ වගේ ම මාධ්‍ය ජීවිතේ සහ මගේ සියලුම මිතුරන්ගෙන් තිබුණු බලවත් ඉල්ලීම නිසා ම අවසානයේ පොතක් විදියට පළ කරන්න තීරණය කළා.

* ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘විපරම’ සියලුම වැඩසටහන් මේ පොතට ඇතුළත් ද?

තෝරා බේරා ගැනීමක් සිදු කරන්න වුණා. මොකද සියලුම වැඩසටහන් කිව්වොත් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. එනිසා දේශපාලන සිද්ධි, චරිත, ක්‍රීඩා, කොටි ත්‍රස්තවාදය වගේ ම සමාජ, ආගමික, සංස්කෘතික අධ්‍යාපන ආදී සමාජ ප්‍රශ්න ගැන විමර්ශනාත්මක වැඩසටහන් මේ පොතට මම ඇතුළත් කළා. මෙය මගේ ස්වාධීන අදහසක් මිසක් කිසිවෙකුගේ බලපෑමක් තිබුණේ නැහැ. සමහර කර්කෂ යැයි හැඟුණු.... සිද්ධි මේ පොතට ඇතුළත් කළේ නැහැ.

* ‘විපරම’ රූපවාහිනි වැඩසටහනට මල් වගේ ම ‘ගල්’ ද නොඅඩුව තිබුණා. මේ පොතට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියා ඔබ හිතනවාද?

මේ රටේ ජනතාවගෙන් ඉතාම යහපත් ප්‍රතිචාරයක් තිබේවි. මට එහෙම හිතෙන්නේ රටේ ජනතාව ප්‍රවෘත්ති නොබැලුවත් ‘විපරම’ බලන්නට තරම් පෙළඹි සිටියා. එවගේ ම මම සැඟවී සිටි කාලයේ ‘විපරම’ ට තිබූ සැබෑ ප්‍රතිචාර මම ගිය ගම් දනව්වලින් මට දැනුණා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු මා සමඟ කියා තිබෙනවා; ‘විපරම’ නිසා ප්‍රවෘත්ති බලන්නත් යොමු වුණා කියලා.

එවගේ ම ඒ වැඩසටහන ගැන ඉවසාගෙන ඉන්න බැරි පිරිසකුත් හිටියා. හොඳ සිතින් දරා ගන්න බැරි අය තැන තැන බනිනවා. නැතිනම් පෝස්කාඩ්වලින් බැනලා එවනවා. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය අතරත් මේ පොත ජනප්‍රිය වේවි කියලා මට හිතෙනවා.

මේ වැඩසටහන කොයිතරම් ජනප්‍රිය ද කිව්වොත් එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මගේ මිතුරෙකු හරහා ‘විපරම’ නැවැත පටන් ගන්න කියලා ඉල්ලීමක් කර තිබුණා.

ඒ ඉල්ලීම වුණේ රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට පක්ෂවත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට විරුද්ධවත් ලියන්න කියලයි. මේ බව කියන්නට මගේ මිතුරා නිවසට දුරකතන ඇමැතුමක් දීල තියෙනවා.

ඒ වෙලාවේ මගේ දුව ඇමැතුම අරගෙන තියෙන්නේ. දියණිය ඔහුට කියලා තියෙනවා; ඊට වඩා හොඳයි පවුලේ අය සිය දිවි නසා ගන්නවා කියලා. ඇත්තට ම දියණිය ඒ මොහොතේ දුන් පිළිතුර ගැන මම සතුටු වෙනවා.

ඉතිං රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පවා මේ වැඩසටහන හිතට අල්ලලා තිබිලා තියෙනවා. එනිසා එතුමන් මේ පොත මිල දී ගනිවී කියලා මට විශ්වාසයි.

සමහරු කියනවා ‘මඩ’ ගහනවා කියලා. තවත් සමහරු කියනවා සැර වැඩියි කියලා. නමුත් මම මගේ ආරට ‘විපරම’ අරගෙන ආවා.

* දැන් විකාශය වන ‘විමසුම’ සහ ‘විපරම’ අතර ඇති වෙනස මොකක් ද?

එක්සත් ජාතික පක්ෂයට උහුලන්න බැරි නිසා මම ITN එකේ ඉන්දැද්දී ප්‍රවෘත්තිවලින් පස්සේ ‘විය සිඳුරෙන්’ කියලා වැඩසටහනක් පටන් ගත්තා. ඒ වැඩසටහන 200ක් විතර විකාශය කෙරුණ. වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ජයග්‍රහණය කළාට පස්සේ ‘විමසුම’ අලුතින්ම විකාශය වෙන්න පටන් ගත්තා.

* විපරම’ වගේ ම ‘විමසුම’ ත් කවදා හරි ග්‍රන්ථාරූඪ වෙයි ද?

නොවැරැදී ම. ඊළඟට මගේ අදහස තියෙන්නේ ‘විමසුම’ ගැනයි.

* ‘ඔබට ‘විපරම’ ප්‍රකාශයට පත් කර ගැනීමට ප්‍රසිද්ධ ප්‍රකාශකයකු සොයා ගැනීමේ කිසිඳු අපහසුකමක් නැහැ. නමුත් ඔබ ‘විපරම’ එළි දක්වන්නේ කර්තෘ ප්‍රකාශනයක් හැටියට යි. ඇයි ඒ?

පොත් ප්‍රකාශක සමාගමක් හරහා කළොත් මට පාඩු නිසයි. කර්තෘ විසින් ම ලියා පොත මුද්‍රණය කළොත් ලාභ ලැබෙනවා. මේ පොත හොඳට විකිණෙනවා. ඒ ගැන මට විශ්වාසයක් තියෙනවා.

* මෑතකදී සම කර්තෘත්වයෙන් එළි දැක් වූ ‘බ්ලඩ්හාඩ්’ කෘතියට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම හොඳයි. ලංකාවේ පරිවර්තන සාහිත්‍යයට ඇලුම් කරන ඉතා විශාල පාඨක පිරිසක් ඉන්නවා. එනිසා හොඳ පරිවර්තිත සාහිත්‍යයකට මේ රටේ යහපත් ප්‍රතිචාර තියෙනවා. ‘බ්ලඩ්හාඩ්’ කෘතිය පරිවර්තනය කිරීමේ දී වැඩි දායකත්වයක් දරමින් ඉතාම ඕනෑකමින් පරිවර්තන කටයුත්ත කළේ මගේ මිතුරු සුජීව දිසානායක යි.

සුජීව කියන්නේ පරිවර්තන සාහිත්‍ය පිළිබඳ හසල දැනුමැති කෙනෙක්. විශිෂ්ට පරිවර්තන රැසක් කළ කෘතහස්ත මාධ්‍යවේදියෙක්. ඉදිරියේ එළැඹෙන පොත් ප්‍රදර්ශනයේ දී තව තවත් ‘බ්ලඩ්හාඩ්’ සඳහා ප්‍රතිචාර ලැබේවි කියා හිතනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා