අද අප නිදහසේ ඉන්නේ රණවිරුවන්ගේ කැපකිරීම නිසයි

අද අප නිදහසේ ඉන්නේ රණවිරුවන්ගේ කැපකිරීම නිසයි

- චතුර පමුණුව

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී දිවයින පුවත්පතට එක් වූ චතුර පමුණුව අද වන විට ඉරිදා දිවයින සංග්‍රහයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ වෙයි. කාලීන... දේශපාලනික.... යුදමය ලිපි සැකැසීමේ නිරතවන චතුර පමුණුව ඒ පිළිබඳව හසල දැනුම ද ඇත්තෙකි.

මාවිල්ආරුවේ සිට පුදුමාතලන් දක්වා වූ තීරණාත්මක හතර වැනි ඊළාම් යුද්ධයට අදාලව චතුර විසින් දිවයින ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපි පෙළකින් තෝරාගත් ලිපි ඇතුළත් කර ගනිමින් ‘මව්බිමට ජය’ නමින් කෘතියක් මේ මස 14 වැනිදා එනම් සඳුදා සවස 3.30 ට පුස්තකාල ප්‍රලේඛණ මණ්ඩලයේ දී පාඨකයා අතට පත් වෙයි. සරසවි වෙතින් ප්‍රකාශයට පත් වන ‘මව්බිමට ජය’ චතුර විසින් ලියන ලද ප්‍රකාශයට පත් වන දෙවැනි ග්‍රන්ථය වෙයි.

* ග්‍රන්ථ කතුවරයකු ලෙස චතුරගේ ආරම්භය සිද්ධ වන්නේ කොහොමද?

1999 දී මම දිවයින පත්‍රයට සම්බන්ධ වුණා. ඉරිදා දිවයින සංග්‍රහයට ලිපි ලියන්න පටන් ගත්තේ 2003 ඉඳලයි. ඒ ලියන්න පටන් ගත්තේ ඒ යුගයේ සටන් විරාම ගිවිසුම හින්දා ලංකාවට ඉතාම අවාසිසහගත තත්ත්වයක් උදා වුණා. ඒ අවාසිසහගත තත්ත්වය ප්‍රබලව ඉදිරිපත් කළේ ‘දිවයින’ පත්තරෙන්. එවකට එක්සත් ජාතික පක්ෂ පාලනයක් තිබුණේ.

ඒ සටන් විරාම ගිවිසුම නිසා රටට, ආරක්ෂක හමුදාවට වෙලා තිබුණු අවාසිය... විශේෂයෙන් කොටි සංවිධානය සටන් විරාමය හරහා ශක්තිමත් වන අයුරු මෙහි දී අපි නිරන්තරයෙන් පෙන්වා දුන්නා.

2003 ඉඳලා 2006 දක්වා සටන් විරාමය නිසා රටට වෙච්ච විනාශය ගැන ලියූ ලිපි එකතු කරලා 2006 අගෝස්තු මාසයේ දී ‘රට සිර කළ සටන් විරාම උගුල’ නමින් ග්‍රන්ථයක් එළි දැක්වූවා. ඒ පොතෙන් සම්පූර්ණයෙන් ම විස්තර වෙන්නේ සටන් විරාමය මුවාවෙන් ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය ශක්තිමත් වන ආකාරයයි.

* ‘මව්බිමට ජය’ පොතට පසුබිම් වෙන්නෙත් පත්‍රයට ඔබ ලියූ ලිපිම නේද?

2003 ඉඳලා දිගට ම මම ලිව්වේ යුද්ධය ගැනයි. මේ පොතට පදනම් වුණේ 2007 ජනවාරි ඉඳලා 2009 මැයි 24 වැනිදා දක්වා දිවයින පත්තරේ මා ලියූ ලිපිවලින් තෝරාගත් ලිපි 30ක එකතුවක්. මාවිල්ආරු සොරොව්ව වසා දමමින් ප්‍රභාකරන් සිද්ධ කර ගත්තේ මාරාන්තික අත් වැරැද්දක්.

එදා මාවිල්ආරු මෙහෙයුමේ ඉඳලා නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන්ගේ මරණය දක්වා මේ රටේ 4 වැනි ඊළාම් යුද්ධය පිළිබඳ මනා විවරණයක් මේ පොතේ අන්තර්ගත වෙනවා.

* වසර 2 1/2ක් වැනි දීර්ඝකාලයක් සතිපතා ලියූ ලිපි ප්‍රමාණයක් අතුරින් ලිපි 30ක් තෝරා ගැනීමේ බැරෑරුම් කාර්යයට ඔබ මුහුණ දුන්නේ කොහොමද?

ඊළාම් යුද්ධයේ විවිධ හැරවුම් ලක්ෂ තිබුණා. 2005 නොවැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපති වී බලයට පත්වීම ඊළාම් සටන පරාජයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයයි. තවත් නිදර්ශන කිහිපයක් පෙන්වා දෙනවා නම්; ‘ඊළාම් රාජ්‍යයේ හිස ගසා දැමීම හෙවත් තොප්පිගල පරාජය’.

ඒ ලිපියෙන් සම්පූර්ණයෙන් ම විස්තර වන්නේ නැඟෙනහිර මුදා ගැනීමයි. මෙය යුද්ධයේ සුවිශේෂි අවස්ථාවක්. මේ පොත අවසන් වන්නේ ‘ප්‍රභාකරන් නිහඬ කරවීම’ ලිපියෙන්. එනම් ප්‍රභාකරන්ගේ් මරණයෙන්. මෙහි ඇතුළත් හැම ලිපියකම වැදගත්කමක් තියෙනවා.

පුවත්පත්හි පළ කළ ලිපි එකතු කර පොත් මුද්‍රණය කිරීමේ විශාල ප්‍රවණතාවයක් අද දකින්න ලැබෙනවා? බහුතර මාධ්‍යවේදීන් ග්‍රන්ථ රචකයන් ලෙස කළ එළි බසින්නේ මේ ක්‍රමය හරහා යි.

විශේෂ වැදගත්කමක් තියෙන ලිපි ප්‍රකාශයට පත් කළාට වැරැද්දක් නැහැ. මොකද යම් දවසක පත්තර පිටු නැති වුණොත් පොතක් විදියට තිබුණොත් පරිහරණය කරන්නට ලෙහෙසි ය. අපි නිදසුනක් හැටියට මෙහෙම හිතමු.

හතර වැනි ඊළාම් යුද්ධය ගැන තොරතුරු අධ්‍යයනය කළ යුතු අවස්ථාවක දී මේ ලිපි වැදගත් වෙනවා. ඒ ලිපි සොයා ගැනීමේ දී පත්තරෙන් පත්තරේ සොයා ගන්නවට වඩා මේ පොත තිබීම වැදගත් වෙනවා.

මේ තමයි දෙවැනි නිදහස් අරගලය. ලංකාවට සැබෑම නිදහස ලැබුණේ 2009 මැයි 18 වැනිදා යි. 48 දී නිදහස් දිනයේ දී ජාතික කොඩිය එසෙව්වා පමණයි. මිනිස්සු පාරේ කිරිබත් උයලා කෑවේ නෑ. නමුත් මෙදා මිනිස්සු පාරේ කිරිබත් උයලා කෑවා. මිනිස්සු රතිඤ්ඤා පත්තු කළා.

පෙරහැරේ ගියා. මේ හැම දෙයක් ම රටේ ජනතාව පක්ෂ භේදයකින් තොරව කළේ ඒ නිදහස අපේ ආත්මයේ පතුලට ම කිඳා බැහැලා දැනුණු නිසයි. එනිසා මට හිතෙන්නේ විශේෂ වැදගත්කමක් තියෙනවා නම් අපි ලියන ලිපි පොත් වශයෙන් පල කළාට වරදක් නැහැ.

* මේ කෘතිය හරහා ඔබ සමාජයට දෙන්නට උත්සහ කරන පණිවුඩය කුමක් ද??

අද අපට නිදහසේ ඉන්නට රටක් උරුම කර දෙන්නට හා ඒ වෙනුවෙන් දහස් ගණනක් සොල්දාදුවන් ජීවිත පිදුවා. තුවාල වුණා. ඔවුන් ගේ ලේ, අතපය කැප කිරීම් නොතිබුණා නම් අපට මේ නිදහස ලබන්න බැහැ. අප අද මේ විඳින නිදහස විඳින්නට බැහැ.

ඒ සතුරා අපි පරාජය නොකළා නම් අපි නැවත වහල්භාවයට පත් වෙනවා. ඒ වහල්භාවයෙන් අපි මිදුණේ 2009 මැයි 19 වැනිදායි. ඒ වහල්බවින් අප මුදවා ගන්නට ඒ කැප කළ සියලු දෙනාටම උපහාරයක් විදියට මම මේ පොත කළේ. එනිසාම තමයි මම මේ පොත ‘මව්බිමට ජය’ කියලා නම් කළෙත්.

දෙමළ නාසිවාදය තුරන් කිරීම සඳහා කළ යුතු ප්‍රමුඛතම කාර්යය ප්‍රභාකරන් විනාශ කිරීම බව අප හැමදාමත් අවධාරණය කළ කාරණයක්. දැන් එය යථාර්ථයක් වී හමාරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා