මිනිසා පවට පෙළඹෙන්නේ ඇයි?

මිනිසා පවට පෙළඹෙන්නේ ඇයි?

සත්ව ලෝකයෙහි දියුණුම සත්වයා මිනිසා බව අවිවාදයෙන් පිළිගනු ලැබේ. ඒ ඔහු අනිකුත් සතුන්ට වඩා සිතීමෙහි සහ විමසීමේ ශක්තිය ලබා සිටින හෙයිනි. එහෙත් මිනිසා සතු දුර්ගුණ ද රැසක් තිබේ. පාපයට නැඹුරු වීම එයින් එකකි. පව් හෙවත් වැරදි කිරීමට ලජ්ජා නොමැතිකම බොහෝ පුද්ගලයන් තුළ පවත්නා දුර්වලතාවක් ලෙස පෙන්වා දිය හැකියි. නමුත් මෙම දුර්ගුණයෙන් ඉවත්වන පැහැදිලි දේශනයක් සම්බුදු දහම තුළින් උගන්වා තිබේ.

ලෝක පාලන ධර්ම හෙවත් දේව ධර්ම යනුවෙන් ඒවා සඳහන්කොට තිබේ. “හිරි – ඔතප්ප” “සුක්ත ධම්ම” යනුවෙන් ද මේවා හැඳින් වේ. පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන දේවධර්ම ජාතකය මගින් මෙහි උදාර බව මැනවින් හෙළි පෙහෙළි කර තිබේ.

පව් කිරීමට යමෙකු තුළ පවතින්නා වූ ලැජ්ජාව හඳුන්වා ඇත්තේ “හිරිය” යනුවෙනි. ඒ සඳහා ඇති බිය ඔත්තප්පයයි.

දේව ධර්ම ජාතක කථාවෙහි දැක්වෙන අන්දමට බරණැස් පුරවරයෙහි රජ කළ බ්‍රහ්ම දත්ත රජ පෙළපතට අයත් රජ කෙනෙකුට මහිංසාසත සහ චන්ද්‍ර යනුවෙන් පුත් කුමාර වරු දෙදෙනෙක් සිටියෝය. මව් බිසව හදිසි රෝගයකින් අභාවයට පත්වූ නිසා වෙනත් බිසවක් රජ විසින් අගමෙහෙසිය බවට පත් කර ගත්තේ ය. එම බිසවට ද පුත් කුමරෙක් ලැබුණු අතර ඔහු සූර්ය නමින් හැඳින් විය.

රජකම පිළිබඳව ඇති වූ ගැටලුවක් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය වූ හෙයින් උපාය මාර්ගයක් ලෙස පිය රජතුමා විසින් වැඩිමහල් කුමාරවරු වෙනත් ප්‍රදේශයකට යැවීමට කටයුතු කළේය. මේ දෙදෙනා සමග සූර්ය කුමරුද පිටත්වී ගියේ රජ බිසවගේ බලවත් අකමැත්ත ද නොතකා හරිමිනි.

මේ තිදෙනා මහ වනයක් මැදින් ගමන් කරන විට හමු වූ පොකුණකින් දිය ගෙන ඒමට සූර්ය කුමරා ඉදිරිපත් වුනි. ඒ විලට අරක් ගත් යක්ෂයා දියට බසින කවරෙකුගෙන් වුවද දේව ධර්මය දන්නේ දැයි අසා එය නොදන්නේ නම් මරාගෙන අනුභව කිරීමට වෙසමුණු රජුගෙන් වරම් ලැබූවෙකි.

දියට බට සූර්ය කුමරුගෙන් ද දිය රකුසා එම පැනය විමසූ විට එයට ඔහු දුන් පිළිතුරෙන් රකුසා සෑහීමකට පත් නොවුනි. එබැවින් ඔහු ගස් බෙනයක සඟවා තැබීය. ඉන් අනතුරුව විලට ගිය චන්ද්‍ර කුමරුටද ඒ ඉරණම අත්විය. අවසානයේදී මහිංසාසක කුමරු එහි ගොස් රකුසා විසින් ඇසූ පැනයට පිළිතුරු දී ඔහු දමනය කළේය. (මෙම කථාව දක්වා ඇත්තේ ඉතා සැකෙවිනි.)

පාපයට ඇති ලැජ්ජාව දේව ධර්මයක් බව එහිදී මහිංසාසක කුමරු රකුසාට අවබෝධ කර දුන්නේය.

මෙය වත්මන් සමාජය හා සසඳා බැලීමේ දී බෙහෙවින් වැදගත් ඉගැන්වීමක් වශයෙන් අගය කළ හැකියි. අතිශයින් සංකීර්ණවූ වර්තමාන සමාජය විවිධ දුරාචාරවලින් ගහන වී ඇති අයුරු අප කාහටත් නොරහසකි. මේ නිසා මිනිසා ඉතා පහත් තත්ත්වයකට වැටී සිටියි. එයින් අප සමාජය මුදාගත හැකි ක්‍රමවේදයක් වශයෙන් දේව ධර්මය හෙවත් “හිරිය” නමැති මෙම උතුම් ධර්මතාවය යොදාගත හැකිය.

පවිටු චේතනාවක් සිතේ පහළ වන අවස්ථාවකදී එය යටපත් කර ගැනීමේ ක්‍රමයක් බුදු දහමෙහි උගන්වා තිබේ. එනම් තම ආත්ම ගරුත්වය පිළිබඳව සිතා බැලීමයි. මා වැනි කෙනෙකු මෙබදු පහත් ක්‍රියාවක යෙදීම සුදුසු නොවේ. එමගින් මෙතෙක් මා විසින් ආරක්ෂා කරන ලද මගේ චරිතය කෙළෙසීමට පත් වෙයි. මා ඇසුරු කරන සමාජයෙන් නින්දා අපහාස විඳීමට සිදුවෙයි. මෙසේ තමන් පිළිබඳව සිතා යමෙකුට පව් කිරීම පිළිබඳව ලජ්ජාවක් ඇති කර ගත හැකිය.

එසේම තම පරම්පරාව, දෙමාපියන්, ගුරුවරුන්, තනතුර, සිල්වත් බව, උගත්කම, ආදී කරුණු පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලීමෙන් පහත් ක්‍රියා වලින් වැලකී සිටීමට අපහසු නොවේ.

වරදට පෙළඹී සිටින සෑම කෙනෙකුම තම ජීවිතය දෙස ආපසු හැරී බලා ඒවා නැතිකර ගැනීමට උනන්දු වන්නේ නම් අප දේශය තුළ දැහැමි සමාජයක් ගොඩ නගා ගැනීම අසීරු දෙයක් නොවනු ඇත. යහපත්වූ ආකල්ප වලින් හෙබි මානව පරපුරක් හදා වඩා ගැනීමට දේව ධර්ම ජාතකයෙන් අපට තව බොහෝ පාඩම් ඉගෙනගත හැකිය.

කු/බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙන්හි ආචාර්ය

ඒ. එච්. එම්. අබේකෝන් බණ්ඩාර

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා