ධම්ම පදයෙන් ජීවිතාලෝකය

ධම්ම පදයෙන් ජීවිතාලෝකය

සචම්මත උසස් සමාජ ධර්ම වල මෙන්ම ආගමානුකූල ප්‍රතිපත්තිවලද හොඳ හැටියට නොහික්මුණු මිනිසා තමන් ගේ අඩු පාඩු කම් ගැන නොව අනුන්ගේ අඩු ලුහුඬුකම් ගැන නිතර සොයන්නෙකි. අනුන් කීයේ කුමක් ද ? අනුන් කළේ කුමක් ද ? ගියේ කොහිද ? කළ යුතු නොකළ යුතු දෙය කුමක් ද ? මේ ආදී වශයෙන් නිතර සොයන්නේ බලන්නේ අනිකා ගැනම ය.

මෙසේ නිතර අනුන් ගැන විමසන ඔහුට තම කාර්යන් හි ව්‍යාවෘත වන්නට කාල වේලාවක් හෝ කල්පනා කරන්නට අවස්ථාවක් නොයෙදෙයි. මේ නිසාම ඔහු තම දියුණුවෙන් පසු බසී. නිතර අනුන්ගේ වැරදි ගැන කථා බහ කරමින් එයම යම් යම් අඬ දබර ආදියට පවා මාර්ගයක් කර ගනී. මෙයින් නැති අවුල් ඇති කර ගනී; ඇති අවුල් වැඩි දියුණු කර ගනී. ජීවිතයම අඳුරකට යොමු කර ගනී.

මෙය මෙලොවත් පරලොවත් දියුණුවට බාධාවක් නිසා තමා කළ නොකළ දේ ගැන නිතර හිතන්නට බුදුහාමුදුරුවෝ අනුදැන වදාළහ. එයින් ජීවිතය දෙස ආපහු හැරී බලන්නට මග සැලසෙයි. තමා ළඟ තිබෙන අඩු පාඩුකම් අබල දුබලකම් හදා ගන්නටත්, සකස් කර ගන්නටත්, එයින් මං පෑදෙයි. එයම මිනිසා ගේ සැදීමට හා දියුණුවට හේතු වෙයි. බුදුරජාණන් වහන්සේ මේ උපදේශය දෙමින් ජීවිතය ආලෝකය කරා ගෙන යාමට පෙන්නූ සේක:
 

‘න පරෙසං විලෝමානි

න පරෙස කතාකතං

අත්තනොව අවෙක්ඛෙය්‍ය

කතානි අකතානි ච

සත්ත්වයා උපදියි; මැරෙයි; යළි උපදියි; යළිත් මැරෙයි මෙසේ ඉපදෙමින් මැරෙමින් යන කෙනෙකු තව තවත් සසර දික්කර ගනී තව කෙනෙකු කොට කර ගනී. සසර දික් කර ගන්න දහම් නොදන්නා අඥානයා ය. මෝඩයා ය. සසර මහත් අවුලකි. එය නිරවුල් කර ගත හැක්කේ ඥානවන්තයකුටම ය. අඥානයා අතින් අවුල තවත් අවුලක් වෙයි. ඒ නිසා ආඥාන මෝඩයා ඒ සසර අවුල දික් කරන්නෙකි. නො නිදන්නාට රාත්‍රීය දිග වාගේම ගමනින් වෙහෙසපත් වූවහට මර්ගය දිග වාගේම මෝඩයාට සසර දිග වෙයි. එම සත්‍යය දෙසන බුදු රජාණන් මෙසේ වදාළ සේක.
 

‘දීඝා ජාගරතො රත්ති

දීඝං සන්තස්ස යෝජනං

දීඝො බාලානං සංසරෝ

සද්ධම්මං අවිජානතං’

සමාජයක් තුළ ජීවත් වන්නෙකුට මූණ පාන්නට වන ලොකුම ගැටලුව ඇසුරු කළ යුත්තා කවුරුන්ද ඇසුරු නොකළ යුත්තා කවුරුන් ද දැයි තෝරා බේරා ගැනීමට ඇති අපහසුකම ය. සමාජයෙහි සුලබ වැ ලබා ගත හැකි නරක නපුරු අසත් පුරුෂයන් ඇසුරු කිරීමෙන් වන විපත අති විශාල එකකි. එය සමහර කෙනෙකු ගේ ජීවිතයටම අනතුරු දායක ඇසුරු කිරීමක් විය හැකි ය. කෙනෙකු ගේ් මෙලොව පරලොව දෙලොව දියුණුව විනාශ කරලන ඇසුරු කිරීමක් වන්නට බැරි නො වේ. මේ නිසා ආශ්‍රය මහත් පරීක්ෂාවකින් හා හොඳ විමසිල්ලකින් ම කළ යුත්තකි.

බුදු දහමින් මෙන් ම වෙනත් සමාජ නීති උපදේශ මගින් ද උගන්වා ඇත්තේ තමාට වඩා උසස් ගුණවතකු ම ඇසුරු කළ යුතු බව ය. එයින් තමා ළඟ නැති ගුණ ඇති කර ගත හැකි ය. ඇති ගුණ වැඩි වගා කර ගත හැකි ය. එය ජීවිත පහන ආලෝකය කරා ගෙන යාමට හේතු වෙයි. ධම්ම පදයෙන් එය මෙසේ ප්‍රකට වෙයි.

‘වරං වේ නාධිගච්ඡෙය්‍ය

සෙය්‍යං සදිසමත්තනො

ඒක චරියං දළහං කයිරා

නත්ථි බාලේ සහායතා’

ලොව වැඩි දෙනකු බාලයෝ ය. නොහොත් අඥානයෝ ය. ඔවුන් ගේ ස්වරූපය හොඳ නරක තේරුම් ගැනීමට හැකියාවක් නැතිකම ය. එසේ ම කරන දෙය හොඳ හැටියට පිරික්සා විමසා බලා කිරීමට හැකි කමක් නැති කම ය. එබඳු මෝඩයන් ගේ ඇති ප්‍රධාන වරද මෙය නො වේ. තමන් නො දන්නන් බව නොහොත් අඥානයන් මෝඩයන් බව ඔවුන් දන්නේ නැත.

යම් කිසි මෝඩයකුට තමා මෝඩයකු බව තේරුම් ගැනීමට හැකි නම් හේ නැණැත්තෙකි. නොහොත් නැණත්තෙකුට සමාන වන්නෙකි. යම් කිසි අනුවණයකු තමා අනුවණයකුව සිටිමින් නැණවතකු සේ සලකයි නම් නැණවතකු ය යන අභිමාතයෙන් ක්‍රියා කරයි නම් එබන් දා අනුවණයන් අතර අනුවණයෙකි. මෝඩයන් අතර මෝඩයෙකි. සමාජයට අහිත පිණිස ජීවත් වන ඔවුහු මෙලොවින් ද පරලොවින්ද පිරිහෙමින් ජීවිතය අඳුරකට යොමුකර ගනිති.

බුදුරජාණන් වහන්සේ එය මෙසේ ප්‍රකාශ කළ සේක.
 

‘යෝ බාලෝ මඤඤති බාල්‍යං

පණ්ඩිතොවාපි තෙන සො

බාලොව පණ්ඩිතමානි

සවේ බාලෝති වුච්චති

ආශ්‍රය නිසා මිනිසුන් ගේ ගතිගුණ අදහස් උදහස් වෙනස් වේ. හොඳ ගති ඇත්තන් ආශ්‍රයෙන් ඇතැම් මිනිස්සු හොඳ අය වෙති. නැණවත් හොඳ අය ආශ්‍රය කළ සමහරුනට කිසිදු වැඩක් නො වෙයි. එසේ වැඩක් නො සිදු වන්නේ බරපතල අඥාන මෝඩයන්ට ය. නැණවතකු ජීවිතාන්තය දක්වා ඇසුරු කළ ද එබන්දන්ට කිසිදා වැඩක් නො වේ.

මාළු පිණි වල රස ඒවා බෙදන්නට ගන්නා හැන්දට දැන ගන්නට බැරුවා වාගෙයි. කොතරම් රසවත් මාළුවක් හැන්දකින් බෙදුවත් හැන්දට ඒ මාළුවෙහි රස දත නොහැකි වෙයි. ඥාණවන්තයන් ඇසුරු කරන බාල ආඥානයා රසවත් ඉමිහිරි දෙයක් ආශ්වාදනය කර නො හැකි හැන්දක් වැනි ය. යම් තරමකට හෝ නුවණක් ඇති අයකුට ඥානවන්තයන් ආශ්‍රය කිරීමෙන් ලොකු මිහිරි රසයක් ලබා ගත හැකියි.
 

‘යාව ජීවම්පි චේ බාලෙ

පණ්ඩිතං පයිරුපාසති

න සො ධම්මං විජානාති

දබ්බි සුප රසං යථා’

යමෙකුට යමෙක් අහිත පිණිස අවැඩ පිණිස හැසිරේ නම් එබන්දා හතුරෙකු ලෙස සලකනු ලැබේ. සතුරෙකුගෙන් කවර දිනක හෝ නරකක් නපුරක් විපතක් කරදරයක් විනා හොඳක් නම් සිද්ධ වන්නේ ම නැත. මේ නිසා හතුරා හඳුනාගෙන ඔවුන්ගෙන් බේරී ගෙන දුරුව වාසය කිරීම සිහි කල්පනාව ඇති ඇත්තන් ගේ කාර්ය යයි. මේ තමා බැහැර සිටින හතුරා ගැන පිළිපදින සාමාන්‍ය ස්වරූපය යි. තමා ළඟ ම හතුරෙකු ඇත. ඒ අනිකෙකු නොව තමා ම යි. තමා තමාට සතුරු නම් එහි බරපතල කම ඉතා විශාල ය. තමා තමාට සතුරු වන්නේ කෙසේ ද ? ඒ අනිකක් නිසා නොව තමන් විසින් ම කර ගන්නා වූ නරක වැඩ නිසා වෙනි. පව් කම් වල හේතුවෙනි. ඒ බව ධම්මපදයෙන් මෙසේ පැවසේ.
 

‘චරන්ති බාල දුම්මේධා

අමිත්තෙනව අත්තනා

කරොන්තා පාපකං කම්මං

යං හොති කටුකප්ඵලං’

යම් යම් මිනිස්සු දුර දිග නො බලා යම් යම් දෑ කරති. කරන දැයින් කවර ප්‍රතිඵලයක් ලැබේ දැයි කල් ඇති ව නොසිතති. යම් දෙයක් කරන්නට පෙර සිතා නො බලන මේ පුරුද්ද නිසා ‘පනින්නට පෙර සිතා බලනු’ යන පිරුළ ඔවුන් තුළින් තුරන් වී ගොසිනි. තමා කළ නපුරු දෙයින් යම් දවසක ප්‍රතිඵලයක් ලැබෙයි. එය සුළු පටු එකක් නො වේ. ඔහු එහි ඵල විදින්නේ කඳුළු වගුරවමින් කරන හඬා වැළපීමෙනි. ඒ අවස්ථාවේදී තමා කලින් කර ඇති දෙය ඉතා නරක දෙයක් බව මනාව වැටහෙයි. මේ නිසා බුද්ධ නියමය වන්නේ යම් ක්‍රියාවක ප්‍රතිඵලය හැඬූ කඳුලින් විඳින්නට සිදු වන එකක් නම් එබඳු දෙය නොකළ යුතු බව ය.

යම් ක්‍රියාවක් කරන්නාට ඒ කරන දෙයට කලින් පළමු කොට කල්පනා කරන්නට මෙයින් අවස්ථාව සැලසෙයි. මේ සිරිත පුරුදු කර ගත් තැනැත්තා ඉවක් බවක් නැතිව යමක් කියන්නෙක් කරන්නෙක් නො වේ. නරක දෙයින් වළකින්නට මෙන් ම කල්පනා කාරීව වැඩ කරන්නට ද මේ ධම්මපද ධර්මෝපදේශය මග පාදා දෙයි.

‘න තං කම්මං කතං සාධු

යං කත්වා අනුතප්පපති

යස්ස අස්සුමුඛෝ රොදං

විපාකං පටිසෙවති’

නරක දෙයට ගිජු වන්නා තමා කරන්නේ නරකක් බව නො දනියි. නො තකයි. තමා කරන නරක දෙයින් නොහොත් පාපයෙන් එය කරන වේලාවේ ඔහුට ලැබෙන්නේ ඉමහත් මිහිරකි. සතුන් මරන්නාට ඒ පාප ක්‍රියාව ඉතා රසවත් ක්‍රියාවකි. සුරා සොඬහුට තම ක්‍රියාව රස දනවන ඉමිහිරි දෙයකි. බොරු කියන්නාට ගැහැණු සොඬ ආදීන්ටත් ඒ ඒ ක්‍රියාවල යෙදෙන විට දැනෙන්නේ ඉමහත් මිහිරි ආස්වාදයක් ම යි.

එහෙත් එහි යථා තත්වය එය නො වේ. එය විපාක දෙන විට මහා කටුක විඳිය නො හැකි දුක් විපාකයන් ලබා දෙයි. ඒ අවස්ථාවේ මහ බලවත් දුකකට පීඩාවකට පත් වෙයි.

විනෝදය සඳහා ක්‍රීඩා පිණිස බල පුළුවන් කම නිසා යම් යම් අය කරන පව්කම් වලින් වළකින්නට බුද්ධ අවවාදය විශිෂ්ට මග පෙන්වීමකි.

‘මධුව මඤ්ඤති බාලෝ

යාච පාපං න පච්චති

යදාච පච්චති පාපං

අථ බාලො දුක්ඛං නිගච්ඡති’

පව් වලින් ලැබෙන විපාකය සමහර විට එකෙණෙහි ම අත් පිට ම නො ලැබිය හැකි ය. එහෙත් විපාක ලැබෙනු නියතම ය. ඇස් පනා පිට ම පාපයට විපාක නො දීම නිසා සමහර විට අඥානයා පාපයට පෙළඹිය හැකි ය. දෙවු කෙණෙහි ම කිරිවල මිදීමක් නැත. ඒ වගේ පාපයට ද එකෙණෙහි විපාක දීමක් නැති විය හැකි ය. ඒ නිසා පාපයේ විපාක දීමේ කිසි ම අඩු පාඩුවක් වෙනසක් වන්නේ නැත.

නියම කාලය ලබන තුරු එය සැඟවී ඇත. අළුයට තිබෙන ගිනි පුපුර සැඟවී ඇතත් අළු ඉවත් වූ කල ඕනෑ ම දෙයක් දවා පුළුස්සා ලීමේ ශක්තිය නො අඩුව ම එයට ඇත. පව්කම් කරන්නාට අයත් වන විපාකය ද එසේ ම ය. එය එකෙණෙහි විපාක නො දුන්නත් කවරදා හෝ නියම වේලාවට ඒ පාපියා කරා අවුත් විපාක දෙමින් ඔහු දවා පුළුස්සා දමන්නේ ය. එතෙක් එම විපාකය එම පාපියා ලුහු බඳිමින් දිවෙයි.

තෙරිපැහැ සෝමානන්ද මහ නාහිමි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා