ජීවිතයේ අඳුර දුරලයි

ජීවිතයේ අඳුර දුරලයි

නාධිමත් කලෙක සිට මිනිස් සන්තානගතව පවතින ප්‍රබල මනෝභාවයක් ලෙස “බිය” හැඳින්විය හැකියි. දහමට අනුව බලන කල්හි “බිය” ලෝකපාලක ධර්ම වලින් එකකි. හිරි – ඔත්තප්ප යනුවෙන් දැක්වෙන තැන ඔත්තප්ප යන්නෙන් හඳුන්වන්නේ බියයි.

ධර්මානුකූලව සිතා බලනවිට මෙහි බිය යනුවෙන් සඳහන් වන්නේ පස් පව් දස අකුසල් කළවුන් විඳින දුක දැක ඊට බිය වීමයි. මෙලොව වශයෙන් රාජ දණ්ඩනයට යටත්වී විඳින දුක දැක බිය පත්වීම හා සසරේදී තව තවත් අකුසල විපාකයක් මතු කරන පාපයේ ප්‍රති විපාකයන් පිළිබඳව බියට පත්වීමයි.

මෙලොව වශයෙන් වැරදි කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. යමෙකු වැරදි යයි සම්මත ක්‍රියාවන් කළහොත් එයට මෙලොව වශයෙන් ද පරලොව වශයෙන් විවිධ වධ බන්ධනවලට මුහුණ පෑමට සිදු වෙයි.

පාපයට බියක් ලජ්ජාවක් නැතිව වැරදි කළ විට මෙම ජීවිතයේ දීම තම සතුදේ නැතිවී යයි. නොයෙකුත් රෝග පීඩාවලට ගොදුරු වෙයි. කාටත් එපාවූ පිළිකුල් සහගත අයෙකු බවට පත් වෙයි. මරණින් පසුව තිරිසන් අපාය, ප්‍රේත ලෝකය, අසුර භවය සහ අවිචි මහා නරකයේ උපදියි.

සතර මහා අපාය බිය කරුය. එයින් පළමුවන අපාය තිරිසන් අපායයි. තිරිසනෙකුවී ඉපදුණු පසුව විඳින්නට සිදුවන දුක් වේදනා අපමණය. මෙලෙස ප්‍රේතලෝකය, සංජීවය කාල සූත්‍රය ආදී අති භයානක වූ ස්ථානවල ඉපදී කල්ප කෝටි ගණන් කල් මේ අපා දුක විඳීමට සිදුවේ.

එබැවින් ලෝක පාල ධර්ම ලෙස සැලකෙන හිරි-ඔත්තප්ප ගුණ ධර්ම අප හදවත්වල නිතර රඳවාගෙන සත්පුරුෂ මිනිසුන් ලෙස කටයුතු කිරීමට අදිටන් කරගත යුතුය.

වර්තමාන සමාජය දෙස බලන විට මෙම උතුම් ධර්ම වලින් මිනිස් සමාජය කොතරම් ඈතට ගමන් කර තිබේද යන්න පැහැදිලි වෙයි. පාලකයා මෙන්ම පාලිතයාද, උගතා මෙන්ම නූගතා ද, බාල මහලු, ස්ත්‍රී පුරුෂ භේදයක් නොතකා කෙතරම් සාවද්‍ය දේ කරත් ද?

තාවකාලිකව ලැබෙන සුව පහසුව තකා පවට නොබියව වැරදි අයථා ක්‍රමයෙන් තම අභිමතාර්ථය සාදා ගැනීමට තැත් කිරීම තමාම පරිහානිය කරා ගෙන යන මාවතකි.

වරද කා අතින් කෙරුනද එය වරදක්මය. එයට නිල තල උස්මිටිකම්, බලපුලුවන්කාරකම් යනාදිය බලපාන්නේ නැත. අද ලොව මහා බලසම්පන්න යැයි කියාගන්නා වූ පිරිස විසින් සිදු කෙරෙන ක්‍රියාවන් නිසා ලෝක සාමයට මෙන්ම මානව සමාජයට සිදුවී තිබෙන ව්‍යසනය ප්‍රමාණ කළ නොහැකිය.

අප සියලු දෙනාටම ජීවිතාවබෝධ ලබා ගැනීම සඳහා යළිත් ධර්ම මාර්ගය වෙත නැඹුරු වීමට කාලය පැමිණ තිබේ. සංකීර්ණවූ වත්මන් සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන ඛේදවාචක කෙරෙහි නෙත් සිත් යොමු කරන විට මිනිස් සමාජය ගමන් කරන්නේ කොයිබටද යන්න පවා සිතාගත නොහැකි වේ.

ආගම දහමට මුල්තැන දී සදාචාරාත්මක ලෙස කටයුතු කරන ගුණ ගරුක සමාජ වාතාවරණයක් බිහි කිරීමට ලෝක පාලන ධර්ම දෙස අවධානය යොමු කිරීම අතිශයින්ම කාලෝචිත බව අප සිත් සතන්හි නිතරම තබාගෙන මෙනෙහි කළ යුතු අගනා ශ්‍රේෂ්ට ධර්මයකි.

කු/බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙන්,

නියෝජ්‍ය පරිවෙනාධිපති,

ඉඩම්පිටියේ ආනන්ද හිමි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා