සමචිත්ත සූත්‍රය

සමචිත්ත සූත්‍රය

මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිව ජනතාවට දේශනා කර ලද සූත්‍රවලදී විවිධ විෂය තෝරා ගෙන කාලෝචිත දේශනා ඉදිරිපත් කළ බවට සඳහන් කළෙමු.

බෞද්ධ ආචාර ධර්ම පද්ධතිය ලාංකික ජනතාවට පුරුදු කිරීම පිණිස දේශනා කරන ලද සූත්‍ර දේශනා සමචිත්ත පර්යාය දේශනා ලෙස හඳුනාගෙන ඇත. ජනතාවගේ සිතුම් පැතුම්, චර්යා ධර්මවල ප්‍රායෝගික වූ වෙනසක් ඇති කිරීම සහ වනචාරී අදහස්වලින් නිදහස් කිරීම පිණිස මෙම කරුණු උපයෝගී කර ගෙන ඇත.

තම යුතුකම් සහ වගකීම් මැනවින් සපුරා ගැනීමට ධර්මයෙන් ලැබෙන පිටිවහල මෙතැකැයි කියා නිම නොකළ හැකිය.

අංගුත්තර නිකාය සූත්‍ර පිටකයේ සිව් වෙනි අංගය වේ. කුඩා අනුකුඩා සූත්‍ර රැසකින් සහ ඒවා වර්ග කරන ලද වර්ග රාශියකින් යුතු අංගුත්තර නිකාය ධර්මයේ හරවත් චින්තන සමුදායක් ගොනු කළ සූත්‍ර සංග්‍රහයක් ලෙස අගය කළ හැකිය.

සමචිත්ත පර්යාය දේශනා ආරම්භ කරමින් බුදුරදුන් පළමුව වදාරන්නේ

1. සත් පුරුෂ භූමි

2. අසත් පුරුෂ භූමි ගැනය.

සත්පුරුෂයා කෘතඥ වෙයි. කළගුණ ප්‍රකට කොට දැනගත්තේ වෙයි. ඒ කෘතඥ බව කෘතවේදී බව සත්පුරුෂයන් විසින් ම ප්‍රශංසා කරන ලද්දකි. එවැනි භූමිකාව සත් පුරුෂ භූමිය යයි කියනු ලැබේ.

අසත් පුරුෂයා අකෘතඥ වෙයි. කළගුණ නොදන්නේ වෙයි. ඒ අකෘතඥ බව අසත්පුරුෂයන් විසින්ම ප්‍රශංසා කරන ලද්දකි. අකෘතඥ බව අසත්පුරුෂ භූමිකාව වශයෙන් හඳුන්වා ඇත.

මව්පිය උපස්ථානය බුදුරදුන් විසින් මැනවින් ප්‍රශංසා කරන ලද උත්තම ගණයේ සාධු ක්‍රියාවකි. දෙදෙනකුට ලොව කොතරම් ප්‍රත්‍යූපකාර කළත් සෑහීමට පත් වේ යයි නොකියමි. ඒ මව සහ පියා යන දෙදෙනාට අවුරුදු සීයක් ආයුෂ ඇති, වර්ෂ සීයක් ජීවත්වන්නෙක්.

එක අංශයකින් මව වඩාගෙන, තව අංශයකින් පියා වඩාගෙන පෝෂණය කරයිද, ඔහු ඔවුන්ගේ ඇඟ ඉළීමෙන් පිරිමැදීමෙන් නැහැවීමෙන්, අත පය මිරිකීමෙන් උපස්ථාන කරයිද, ඔවුහු ද දරුවාගේ උකුලෙහිම මළ මූත්‍ර පහ කරයි. ඒත් මව් පියන්ට උපකාර කිරීමක් ප්‍රති උපකාර කිරීමක් නොවේ.

ශ්‍රද්ධාව නැති දෙමව්පියන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව උපදවයි ද, ප්‍රඥාවෙන් තොර දෙමව්පියන් තුළ ප්‍රඥාව අවදි කරයි ද එබඳු ප්‍රති උපකාරය මව්පිය උපස්ථානය සපුරාලීමට ප්‍රමාණවත් බව බුදුරදුන් වදාළ සේක.

ලොව ජනතාව කාය වාග් මනෝ සුචරිතයේ නිරතවෙමින් ක්‍රියා කරයි නම් එය සැමදෙනාගේ යහපතට හේතු වේ. දක්‍ෂිණා පිළිගැනීමට සුදුසු දක්‍ෂිණාර්හ පුද්ගලයෝ දෙදෙනෙක් ලොව වාසය කරති.

1. සේඛ

2. අසේඛ

යයි සමචිත්ත දේශනාවේ සඳහන් වේ. සිල්වත් ගුණවත් ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවර වූ භික්‍ෂුව ආධ්‍යාත්ම සංයෝජනයෙන් පිරි උතුමෙකි. වරදෙහි බිය දන්නා හෙතෙම මැනවින් ශික්‍ෂාපද පුරමින් ජීවත් වෙති.

ලෝභය දුරු කිරීමට, ද්වේෂය දුරු කිරීමට, මෝහය දුරු කිරීමට ක්‍රියා කරන කාය වාග් මනස් සංවරයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා සමසිත් ඇතිව (සමචිත්ත) කල්ගත කරන්නෙකි. හෙතෙම පරලොව බිය උපදවාගෙන ඒ අනුව ජීවත් වෙති.

මහා කච්චාන තෙරුන් සහ බ්‍රාහ්මණයෙකු අතර ඇති වන සංවාදයකදී කච්චාන තෙරුන් වදාරන්නේ, කාමරාගයෙහි පිවිසීම බැඳීම, ගිජුවීම, වැළඳ ගැනීම, ගැලීම හේතු කොට ගෙන ඔවුනොවුන් වාද විවාද, ඇන- කොටා ගැනීම ආදිය සිදු කරන බව වදාරති. යමෙක් කාම පරිදාහයෙන් දැවෙයි ද කාම විතර්කවලින් පෙළෙයිද, කම් සැප සෙවීමෙහි නිරතවේද? එවැනි පුද්ගලයා “බාලයා” යයි කියනු ලැබේ.

භද්‍ර යෞවනයෙන් පිරිපුන් අයෙකු වුවත් කාම දාහයට අසුනොවී කම් සැපෙහි ගිජු නොවී ක්‍රියා කරයි නම් හෙතෙම පණ්ඩිතයෙකු බව ද ඒ සමඟ දේශනා කර තිබේ.

යම් කලෙක රාජ්‍යයක ජනපදයක සොරු බහුල වෙත් නම් එකල රජවරු දුර්වල වෙති. පාලකයෝ සිතැ’ඟි අනුව ක්‍රියා නොකරති. රජවරු පාකයෝ ප්‍රබල වූ විට සොරු දුර්වල වෙති. මෙම ධර්මතාවය අප රටටද පොදු මුළු ලොවටම සාධාරණ ප්‍රමිතියකි.

ගිහි වුවද, පැවිදි වුවද මිථ්‍යා ප්‍රතිපත්ති ඇත්නම් ඒවා පැසසුමට ලක් නොවේ. මධ්‍යම ප්‍රතිපදාවට අයත් නොවේ. මධ්‍යම ප්‍රතිපදාව සපුරන්නෙක් බවට පත් නොවේ. වැරදි ලෙස ගත් සූත්‍ර අටුවා වැරදි මාවතට වැරදි ගමන් මගට අනුගත වූවා විනා නිවැරැදි මාවතට සම්බන්ධ වූ ඒවා නොවේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා