ආරක්ෂාවට පොලිසියේ 7000ක්

ආරක්ෂාවට පොලිසියේ 7000ක්

මේ 10 වැනිදා පැවැත්වෙන දකුණු පළාත් සභා ඡන්දයේ ආරක්ෂක කටයුතු මෙහෙයවීම සඳහා පොලීසිය දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කැර ඇත.

පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ් ඍජු අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සිවුදෙනකු ඇතුළු පොලීසියේ හත්දහසක් සමඟ පොලිස් කැරලි මර්දන අංශය, පොලිස් ජංගම රථ බුද්ධි අංශ ඇතුළු සියලුම ආරක්ෂක කොටස් යොදවා අරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී නිමල් මැදිවක මහතා පැවැසීය. මාතර, ගාල්ල, තංගල්ල සහ ඇල්පිටිය වශයෙන් පොලිස් කොට්ඨාස බෙදා ආරක්ෂක කටයුතු මෙහෙයවීම සිදුකැරේ.

ඊයේ (07) රාත්‍රී 12න් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කැරිණි. අද (08) සිට නීතිවිරෝධී ලෙස ප්‍රචාරක කටයුතුවල යෙදෙන පිරිස්, කණ්ඩායම් වශයෙන් රැස්වීම් ඇතුළු නීති විරෝධී ක්‍රියාවල යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලතල ලබා දී තිබේ.

මැතිවරණ පැවැත්වෙන ප්‍රදේශ පුරා තැන් තැන් වල මෙතෙක් පැවැති පක්ෂ කාර්යාල අද සිට වසා දැමිය යුතුය. එක් ප්‍රදේශයකට තිබිය හැක්කේ එක් පක්ෂ කාර්යාලයක් පමණි.

ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇත. ඡන්ද දායකයන්ට බියෙන් සැකයෙන් තොරව ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය වාතාවරණය ලබාදීම, ඡන්ද අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද එම ආරක්ෂක වැඩපිළිවෙළට අයත්ය.

ඡන්ද අපේක්ෂකයන්ට, ඡන්ද දායකයන්ට තර්ජන හිරිහැර කරන කැරළි ගැසීමට උත්සාහ කරන පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කැරේ.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා උපදෙස් දී ඇත. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළුවීමේ අවසරය තිබෙන්නේ තේරීම් බාර නිලධාරියාගේ අවසරය ඇති අයට පමණි.

මැතිවරණය පැවැත්වෙන කාලයේදී ප්‍රදේශයේ ආරක්ෂාව පොලීසිය යටතේ පමණක් සිදුවන අතර ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අවශ්‍ය වුවහොත් ප්‍රදේ්ශයේ ආරක්ෂාවට හමුදාවේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා