සැබෑ නායකත්ව පරමාදර්ශය

සැබෑ නායකත්ව පරමාදර්ශය

ටක නායකත්වය දරන තැනැත්තා කාලාන්තරයක් මුළුල්ලේ පටන් ජනතාව සමඟ සමීපවී ඔවුන්ගේ ප්‍රශ්නවලට මැදිවී ඒවා විසැඳීමට උරදී මානව දයාවෙන් යුක්තව සංවේදී මනසකින් උපයුක්ත පුද්ගලයෙකි. මෙබඳු වාතාවරණයක් නොමැති පුද්ගලයා කිසිසේත්ම නායකත්වයට සුදසු නොවේ.

නායකයා  Leader Ship  හා සැබෑ නායකයා True Leader Ship යනුවෙන් දෙවර්ගයකි. සියල්ලන්ටම නායකයන් විය හැකිය. එහෙත් සැබෑ නායකයන් සියල්ලන්ටම විය නොහැකිය. සැබෑ නායකයන් විය හැක්කේ එක්කෙනකුට දෙන්නකුට පමණි.

මේ තත්ත්වය මත අපට සැබෑ නායකයෙක් දැන් පහළ වී ඇත. ඒ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. ඔහුගේ දේශපාලන දිවිය ඕපපාතික වූවක් නම් නොවේ. දිගු කාල පරිච්ඡේදයක් පුරා ජනතාව සමඟ සමීපවී, සෑම ක්ෂේත්‍රයකම රාජ්‍ය සේවකයන්සේම සෙසු ජනතාව සමඟ එක්වී, ඔවුන්ගේ ගැටලු හා ප්‍රශ්න වලට මුහුණ දී ඒවා විසැඳීමට කටයුතු කළ ආකාර අති විශිෂ්ටය.

සමාජ විඥානය

ජනපති මහින්ද රාජපක්‍ෂ මේ යුගයේ පහළ වූ සැබෑ නායකත්වයේ සංකේතයයි. නායකයාට පුළුල් වූ සමාජ විඥානයක් තිබිය යුතුය. දුර බැලීමේ ඥානය හා සෘජු නායකත්වය ඔහු සතුය.

සැබෑ නායකත්වයට හොඳම සාධකය තමයි මේ රටේ වසර තිහකටත් අධික කාලයක් පැවැතුණු කුරිරු ත්‍රස්තවාදය නිසා මුළු මහත් සමාජයම අතිශය දුෂ්කරතාවන්ට මුහුණ පෑහ. මිනිසාට නිදහසේ ජීවත්වීමට මාර්ගය සලසන ලෙස පාලකයන් ගෙන් ඉල්ලා සිටියහ. කුසට ආහාර නොව කිසිදු උපදාවයකින් තොරව ජීවත්වීමයි අපේක්ෂා කරන ලද්දේ.

මෙයට පෙරාතුව ජේ. ආර්. ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා යන පාලකයන්ට හා පාලිකාවට කරන්නට බැරිවූ දෙයක් මහින්ද ජනපති දැන් සිදුකොට ඇත.

දැන් අපට නිදහසේ බෝම්බ බියෙන් තොරව ඕනෑම තැනකට යා හැකිය. 2005 මහින්ද රාජපක්‍ෂ බලයට පත් නොවූවානම් ත්‍රස්තවාදය මේ රටේ තවමත් මෝරා, මොදු වී පවතිනවාට කිසිදු සැකයක් නොමැත.

කෘතගුණ සැලකීම

වසර තිහක් පුරා බිරිය - ස්වාමියා හා දරුවන් සමඟ එකට ගමන් නොකළ වකවානුවක් මේ රටේ තිබුණි. ස්වාමියාට බිරිය අහිමිවිය. බිරියට ස්වාමියා නැතිවිය. දරුවන්ට මේ දෙදෙනාම අහිමිවූ අවස්ථා එමටය. මෙබඳු ශෝචනීය සමයක් නැත්තටම නැති කෙළේ කවුද? මහින්ද රාජපක්‍ෂ ජනපති නොවේ ද? ඒ අනුව ජනතාව එතුමාට කෘතවේදිත්වය පළ කිරීමට දැන් පෙළ ගැසී සිටිති.

දේශපාලනය හා යුද්ධ මානසිකත්වය යනු දෙකකි. මේ දෙක දැන් විශ්‍රාමික ෆොන්සේකා පටලවා ගෙන ඇත. යුධ මානසිකත්වය හා දේශපාලන මානසිකත්වය යනු දෙකකි.

ඔහු වසර 40 ක් යුධ සේවයේ යෙදී සිටියද දේශපාලන ක්ෂේත්‍රයේ රැඳී සිටියේ නැත. ඒ සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති පුද්ගලයකු ජනාධිපතිවීමට දරන උත්සාහය එක් අතකින් මායාවකි. මිථ්‍යාවකි.

සිත් ගැනීමේ ශක්තිය

සැබෑ නායකයා කෙරෙහි සිත් ගන්නා සිනහව අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මහින්ද රාජපක්‍ෂ මේ අතින්ද පරිපූර්ණය. ජනතාවගේ හදවත් ඇඳ – බැඳ ගන්නා ශක්තියකින් උපයුක්තවූ ජනාධිපති මහින්ද සැබෑ නායකයකුවීමට එය ද සුදුසුකමකි.

සෙන්පතියා අතින් සිදුවන්නේ අණදීමක් පමණි. එහෙත් සැබෑ දේශපාලනඥයා අණ දෙන්නෙක්ද නොවේ. විධානය කරන්නෙක් ද නොවේ. පොදු ජනයාගේ ජීවිතවලට සමීපවී එම ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම අරමුණයි. මේතාක් කල් මහින්ද රාජපක්‍ෂගේ ජීවිතයේදී සිදුවූයේත් එබන්ඳකි.

මහින්ද රාජපක්‍ෂ පොදු අපේක්‍ෂකයාවී සරත් ෆොන්සේකා පටු අපේක්‍ෂකයා වී ඇත්තේ ඔහු කෙරෙහි සැබෑ නායකත්වයක් නොමැති බැවිනි. යුද්ධය ජයගැනීමට සහායවීම නායකත්වයට සුදුසුකමක් නොවේ.

එජාපයේ රනිල් වික්‍රමසිංහට කිසිදා ජය ගන්නට නොහැකි ය. එමෙන්ම ජවිපෙට කිසිම දිනක බලයට එන්නට බැරිය. ඒ හේතුව නිසාම වෛරයීය දේශපාලනය මත සරත් ෆොන්සේකා විපක්‍ෂ අපේක්‍ෂකයා බවට මේ අය පත්කරගත්හ. අප දකින්නේ මොහු පටු අපේක්‍ෂකයෙක් ලෙසය. එකිනෙකාගේ පටු පරමාර්ථ සපුරා ගැනීම අරබයා සරත් ෆොන්සේකා ඉත්තෙක් කරගෙන ඇත. මේ තත්ත්වය මත සැබෑ නායකත්වය මොහු වෙත රැඳී නොමැත.

ප්‍රතිඥා සැබෑවීම

2005 දී ඉදිරිපත් කළ ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුගතව කුරිරු ත්‍රස්තවාදය මුළුමනින්ම අවසන්කරන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ බලයට පත්වී වසර තුනක් බඳු කාලයක් ඇතුළතදී කුරිරු යුද්ධය සමාප්ත කෙළේය.

සමාජයට මහත් හිසරදයක්වූ මේ කුරිරු යුද්ධය අවසන් කිරීම සැබෑ නායකත්වයේ සංකේතයට තවත් සාධකයකි.

හමුදාමය ශක්තිය තිබුණ ද සෘජු නායකත්වය අනවරතයෙන්ම තිබිය යුතුය. දෙස් විදෙස් විවිධ බලපෑම්වලට යට නොවී සෘජු තීරණ ගැනීමේ ආත්ම ශක්තියත් තිබිය යුතුය. ඒ ආත්ම ශක්තිය පෙර විසූ නායක, නායිකාවට නොතිබිණි.

සෘජු නායකත්වය

ත්‍රිවිධ හමුදාවට පෙරට යන්නට රටේ සෘජු නායකත්වයක් තිබිය යුතුය. එසේ නොවන්නේ නම් ත්‍රිවිධ හමුදාවට පෙරට යන්නට බැරිය. වසර 30 ක් පමණ කාලයේ දී එබන්ඳක් නොතිබිණි. ජනතාවගේ භාග්‍යයට වාසනාවට සැබෑ නායකත්වයක් ඒ සඳහා අපට ලැබිණි. මහින්ද රාජපක්‍ෂ හැර වෙන කවරෙක්ද.

සෙන්පතියකු කිසිදා ජනතාව අතරට නොගොස් ඔවුන්ගේ ප්‍රශ්නවලට කන්නොදී ඕපපාතිකව දේශපාලන පොරපිටියට පිවිසීම යනු හුදු සංකල්පයක් පමණි. ඊට ඔබ්බට යාමට හැකියාවක් නොමැත. සැබෑ නායකත්වයක් එතැන නොමැත.

හමුදාවට අණ දෙන නිලධාරියකුට මානව දයාවක් ඇතිවේද. පටු පරමාර්ථ සාධනය උදෙසා ගහෙන් ගෙඩි එන්නාසේ දේශපාලන පොරපිටියට පිවිසීම තරම් විහිළුවක් තවත් නොමැති තරම් ය.

වාක් මාලාවේ සුගැඹුර

සැබෑ නායකත්වයේ වාක් මාලාවේ පවත්නේ ගැඹුරු ස්වරූපයකි. ජාත්‍යානුරාගය, දේශානුරාගය, අවංකකම, සත්‍යවාදිබව නියත වශයෙන් ම තිබිය යුතුය. මේ ගුණාංගවලින් මහින්ද රාජපක්‍ෂ පරිපූර්ණය.

වදන් දෙකක් ඔහුට තිබිය නොහැකිය. නිතරම එක වදනකි ඔහු පවසන්නේ දිව දෙකේ කතාත් නොමැත. බලයට එන්නට පෙරාතුව කියන කතාත්, බලයට පැමිණියාට පසු කියන කතාත් අතර පරස්පරතාවක් තිබිය නොහැකිය. මහින්ද සැබෑ නායකයකු බව ඒ අනුසාරයෙන් ප්‍රායෝගිකව සනාථ කොට ඇත.

දේශපාලන න්‍යායන් කරපින්නා ගත්නායකයකුද නොවේ. සියලුම දේශපාලන න්‍යායයන් අධ්‍යයනය කොට ඒවා සියල්ල කිරා, මැන බලා, සසඳා, අපේ සමාජ ව්‍යුහයට අනුගත වන අයුරින් දේශපාලන රටාව සකස්කරගෙනයාම නිසයි සිවු වසරක කාලයක් ඇතුළත විශාල වශයෙන් ප්‍රගතියක් රටේ ඇතිවූයේ.

සැබෑ නායකත්වය බැරෑරුම් කාර්යයක් දැන් ඉටුකොට ඇත. තවත් කාර්යයන් සමුදායයක් ඉටුකරන්නට ඇති හෙයින් ඒ කෙරෙහිද ස්වකීය විඥානය විශදකොට ඇත. මේ සමාජ සත්‍යමත පදනම් වූ සැබෑ නායකත්වය රටට ආශිර්වාදයක් නොවේද.

මුහුණේ ගති ස්වභාවය සැබෑ නායකයා කදිමට විදහා පායි. දයාව හා අනුකම්පාව ඔහු වෙත රැඳී ඇත. ඒ හේතුව නිසා ම ජනකාය ඔහු වටා රොඳ බැඳ ගනිති. මෙය කිසිදු බලපෑමකින් සිදුවන්නක් නොව නිරන්තරයෙන්ම ඇතිවන්නකි.

ඕපපාතික නායකත්වයේ හා සැබෑ නායකත්වයේ වෙනස මෙයයි. සැබෑ නායකයට ජනකාය වශීකර ගැනීමේ වාග් ශෛලියක් ඇත. ඔහු මිනිසාගේ දුක මැනවින් දන්න බැවිනි. කිසිදා මිනිසාගේ දුකට කන්නොදුන් නායකයාට ජනප්‍රසාදයක් නිතැතින්ම ලැබේද? නැත යන්න සෘජුවම දියහැකි පිළිතුරයි.

මේ ජනප්‍රසාදය බලෙන් ඇතිකරන්නකි. එතැන සැබෑ නායකත්වයක් උද්භවනය නොවේ.

ජනතා ප්‍රසාදය

මුළු මහත් ජනකාය අවතීර්ණවී සිටින්නේ වැදගත් සන්ධිස්ථානයකට යයි සිතමි. ඒ නායකයා හා සැබෑ නායකයා තෝරා බේරා ගැනීම සඳහා ය. ඊනියා නායකයාට අප රැවටෙනවාද එසේ නොමැතිව කාලාන්තරයක් මුළුල්ලේ පටන් අප වටා එක් රොක්වූ ජනතාවගේ කඳුළු මෙන්ම දහඳියවල හුස්ම මැනවින් දන්නා ජනපති මහින්ද රාජපක්‍ෂ මේ යුගයේ යුග පුරුෂයා ලෙස අර්ථ දැක්වීම හැම අතින්ම උචිතය. ඒ හේතුව නිසයි සැබෑ නායකත්වයේ සංකේතය ලෙස අප හඳුන්වන්නේ. අව්‍යාජ දේශපාලන නායකයකු ලෙස දිගු ගමනක රැඳුණු ඔහු යුගයේ සත්‍යවාදි නායකයාය. දිනෙන් දින පොදු අපේක්‍ෂාව බවට මහින්ද රාජපක්‍ෂ පත්වන්නේත් ඒ නිසාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා