අර්ථාන්විත ගීතයේ සැබෑ ප්‍රතිමූර්තිය

අර්ථාන්විත ගීතයේ සැබෑ ප්‍රතිමූර්තිය

‘එඩ්වඩ් ජයකොඩිගේ හඬ තරම් සංගීතයට මුසු වූ මධුරතර, අතිශය ප්‍රබල, දීප්තිමත්, නිරවුල්, ශික්‍ෂිත හඬක් මෑත භාගයේ දී මගේ සවනට වැටී නැත.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එඩ්වඩ් ජයකොඩි ගායනවේදියා ගැන “මාරම්බරී” ග්‍රන්ථයට අදහස් දක්වා ඇත්තේ එලෙසිනි. මහාචාර්යවරයා එඩ්වඩ් ජයකොඩිගේ සමස්ත ගායන විලාසය මැනැවින් ම හඳුනාගෙන එකට පිඩිකොට ඇති අයුරු ප්‍රශස්තය. මෙම උද්ධෘතයෙහි ඇදක් පළුද්දක් නැත.

මන්ද අපට ලියන්නට ඇත්තේ ද මෙම උද්ධෘතයේ සවිස්තරයක් වන බැවිනි. නිවැරැදි උච්ඡාරණය, මධුර මනෝහර වූ අපේ හදට හිතට බැඳෙන ආදරණීය හඬක් සතු එඩ්වඩ් ජයකොඩි ගායකයා ප්‍රවීණ ගායක අතළොස්සක් අතරේ ප්‍රමුඛස්ථානයේ සිටින අයෙකි.

කෑගල්ලේ හෙට්ටිමුල්ල නම් වූ පිටිසර ගම්මානයෙන් කොළඹට පැමිණ සංගීතය පිළිබඳ උපාධි ලබමින්, විශාරද තත්ත්වයට පැමිණ සංගීතාංශයෙන් පරතෙරට පැමිණි එඩ්වඩ් ජයකොඩි වූ කලී දේශීය අනන්‍යතාවය අපට පසක් කළ සුවිශේෂී ගායකයෙකි.

ශ්‍රාවක හදවත් හෘදයාංගමව අවධි කරන්නට සමත් කට හඬවල් අතළොස්ස අතරේ එඩ්වඩ් ගේ මධුර මනෝහර හඬ කැපී පෙනෙන්නේ එබැවිනි. ඇරැඹුමේ සිට අද දක්වා ද එහි වෙනසක් නැත. අපේකම අපේ හිතට දැනෙන ලෙස ඔහු ගැයූ කිසිදු ගායනාවක් අසා සිටීමේ බැරිකමක් අපට නැත.

ගීතය වූ කලී සංගීත ප්‍රකාශනයකි. එමෙන්ම එය ශ්‍රව්‍යගෝචර කලාවකි. එමෙන්ම ශ්‍රාවක මනසට සංවේදී හෝ ප්‍රබලව දැනෙන්නට ගායනය ඉදිරිපත් කිරීම ගායකයාගේ තිබෙන අපූර්ව හැකියාවකි. එඩ්වඩ් ජයකොඩි ඒ අතින් විශිෂ්ටය. භාව ප්‍රකාශනය ඉතා විශිෂ්ට අන්දමින් එඩ්වඩ් ගේ ගායන විලාසය තුළ ගැබ් වී තිබේ.

එඩ්වඩ් ගේ ආකර්ෂණීය හඬ සහ හෘදයාංගම ආමන්ත්‍රණයට දක්වන සමර්ථකම කිසිදු ගායකයකුට දෙවෙනි නොවන්නේ ඒ නිසාය. ජීවන ගමනේ පනස් පස් විය ද පසුකොට සිටිය ද එඩ්වඩ් ගේ මියුරු මධුර මනෝහර හඬින් තවමත් අපට දැනෙන්නේ තාරුණ්‍යයේ මිහිරියාව ම නොවේ ද? නූතන සිංහල ගීතයේ අපේකම දැනෙන අනන්‍යතාවයක් ප්‍රකට කරන එඩ්වඩ් ගේ ගායනා සහ ඔහුගේ හඬෙහි ඇති සෞන්දර්යයාත්මක භාව පූර්ණ බව පුංචි දරුවකුට හෝ හඳුනා ගැනීම විඳගැනීම අපහසු නොවේ.

අද්‍යතන ගීත ක්‍ෂේත්‍රය අද වළපල්ලට ගොසිනි. ගීත කලාවට උදා වී ඇත්තේ දුර්භාග්‍ය සම්පන්න කාලවකවානුවකි. ගායකයෝ යැයි කියා ගන්නා පිරිස් බුරුතු පිටින් බිහිවෙයි. නිර්මාණ බංකොලොත් බව කෙතරම් ද කිවහොත් වෙළඳ දැන්වීම්වලින් පවා ගීත නිර්මාණය වනු පෙනේ.

මෙය ගීතයට ළබැඳි වූවන්ගේ හද සසල කරවන්නකි. එහෙත් එඩ්වඩ් ජයකොඩි වැන්නවුන් කිසිදා නිර්මාණ බංකොළොත් භාවයකට පත් වූයේ නැත. අර්ථාන්විත ගීත තෝරා බේරා ගැනීමට ප්‍රමුඛත්වය දීම එඩ්වඩ් ගී ගැයුමේ ඇරැඹුමේ සිට අද දක්වාම සිදුකරයි.

ගීතයේ ආකෘතිය වළපල්ලට ගිය මෙවන් වකවානුවක ද ඔහුගේ නිර්මාණ පෞරුෂය දශමයකින් හෝ අඩු නොකර ගෙන තිබීම ද එඩ්වඩ් ජයකොඩි ගායනවේදියාණන්ගේ නිර්මාණ දිවියේ තවත් සුවිශේෂී ලක්‍ෂණයකි. ගීතය වූ කලී ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් නිමා විය යුත්තක් බව දැඩිව සිතන නිසා ඔහු ගේ අපමණ වූ ගී ගොන්නෙහි අරුත් සුන් එකම ගීතයක් හෝ නොවන්නේ එබැවිනි.

කවුරුන් හෝ ලියා දෙන ඕනෑම දෙයක් ගැයීමේ පුරුද්දක් එඩ්වඩ්ට නැත. ඔහු ගායනා කරන්නට යෙදෙන පදවැල පිළිබඳව දැඩිව පරිස්සම් වන ගායකයෙකි. තමාට නුචිත ගී පබැඳුම් ගයමින් ජනපි‍්‍රයත්වය පසුපස හඹා යෑමේ පුරුද්දක් කිසිදා එඩ්වඩ්ගේ ගායන දිවියේ දක්නට නොලැබුණි.

එඩ්වඩ් ජයකොඩි ගායනවේදියාණන් යනු ලාංකේය සුබාවිත ගීත ක්‍ෂේත්‍රය පෝෂණයෙහිලා අනූපමේය මෙහෙවරක් කළ අද්විතීයිය ගණයේ ශිල්පියෙකි. ප්‍රමුඛ පෙළේ ගායකයන් පවා මුදලට ලොල් වී හෝ වෙනත් අවශ්‍යතා මත ගීතයේ ප්‍රමිතිය පාවා දුන් අවස්ථා අප කොතෙකුත් දැක ඇත. එනමුත් එඩ්වඩ් කිසි දිනෙක මුදලට තමාගේ අනන්‍යතාවය පාවා දුන්නේ නැත.

හැමදාමත් ඔහු පෙනී සිටියේ යහපත් ගීත කලාවක් උදෙසා ය. යථාර්ථය සහ සුන්දරත්වය ඔහුගේ ගීතවලින් අපූරුවට පිළිබිඹු විය. පහත් පෙළේ රුචිකත්වයට ශ්‍රාවකයා පොළඹවන ගී වෙනුවෙන් දේශීයත්වය අගය කරමින් සංස්කෘතික අගනාකම් වටිනාකම් ආරක්‍ෂා කරමින් ජන විඥානය උදෙසා ගීතය භාවිතා කිරීම එඩ්වඩ්ගේ නිර්මාණ භාවිතයේ තවත් කැපී පෙනෙන ලක්‍ෂණයකි.

කලාකරුවන් අප රටේ එමට සිටිති. එහෙත් කලාවේදීන් අපට ඇත්තේ අතළොස්සකි. ඒ අතළොස්ස අතරේ සිටින කලාවේදියකු ලෙස එඩ්වඩ්ගේ නම නොබියව පැවැසිය හැකිය. ගීත ක්‍ෂේත්‍රයේ ඉතිහාසය විමසීමේදී බොහෝ ශිල්පීන් පද රචකයන්ට සහ සංගීතඥයන්ට සීමා වී සිටි බවක් පෙනේ.

එහෙත් එඩ්වඩ් ජයකොඩි කිසිදා එක් පද රචකයකුට හෝ එක් සංගීතඥයකුට සීමා නොවූ නිසා පරම්පරා කිහිපයක ගී පද රචනා ශිල්පීන් සහ සංගීතඥයන්ගෙන් දායකත්වයෙන් ඔහුගේ සෞන්දර්යය චාරිකාව වඩාත් ඔපවත් වී ඇත.

එක් ශිල්පීය පරපුරකට එඩ්වඩ් සීමා නොවූවා සේම ගායන විලාසය ද එකම රාමුවකට සීමා නොකළේ ය.

තම හඬට ගැළපෙන පැවැරෙන වගකීම නිසි ලෙස හඳුනාගෙන ගායනයට සාධාරණය උපරිමයෙන් ඉෂ්ට කළේ ය. ඔහු විටෙක ප්‍රේම ගීත ගැයුවේ ය. ආකූල ව්‍යාකූල විඩාබර මනසට ඔහු ගේ ප්‍රේමාන්විත හඬ දිව්‍ය ඖෂධයක් වැනි ය. ළමා පරපුරේ වින්දනය උදෙසා එඩ්වඩ්ගේ හඬ මුසු වූයේ ය. ළමා පරපුර ද එක සේ එඩ්වඩ්ට සමීප වූහ.

කතෝලික බැතිමතෙක් වුවද වෙසක් දිනයේ දී අපට එඩ්වඩ් බොදු බැති ගීයකින් සමීප වෙයි. පී‍්‍රතිමත් නත්තලේ ද එඩ්වඩ් කිතුනු ගී ගායනා කළේ ය. සාමය උදෙසා ද ඔහුගේ හඬ අවධි වූයේ ය. මේ කුමන තෝරා ගැනීමක දී වුවද එඩ්වඩ් මැනැවින් කාර්ය භාරය හඳුනාගෙන අපට දැනෙන ලෙස ගැයුවේය.

මේ වූ කලී එඩ්වඩ් ජයකොඩි ගායනවේදියා සතු ප්‍රතිභාවයි. නිර්මාණ පෞරුෂය යි. ව්‍යුත්පත්තිය යි. කලාකරුවකුගේ භූමිකාව හරහා ජනපි‍්‍රයත්වයත්, සාර්ථකත්වයත්, දේශීයත්වයත් එකට කැටුව දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි.

නමුත් එඩ්වඩ් ජයකොඩි ඒ අතින් සැබැවින් ම වාසනාවන්තය. ඒ සියල්ල ලැබීමේ වාසනා ගුණයකින් හෙබි කටහඬක් උපතින් එඩ්වඩ්ට ලැබී තිබුණි. එඩ්වඩ් ගයන ගීයේ පද සරලය. එහෙත් අරුත් ගැඹුරු ය.

ඒ ඔහුගේ ප්‍රමිතිය යි. බාල බොළඳ හරසුන් ගීත කලබලයේ ගැයීම එඩ්වඩ් ගේ අනන්‍යතාවය නොවෙයි. එඩ්වඩ්ගේ තිස් පස් වසරක ගී මෙහෙවරේ ඔහු විසින් කළ ගීත කැසට් පට හෝ සංයුක්ත තැටි හත අටකට වඩා නොවැඩි වීමත් ප්‍රමිතියකින් යුතුව නිර්මාණවල යෙදීමට ඔහු තුළ වන කැමැත්ත මැනැවින් ප්‍රකට කරන කරුණකි.

එඩ්වඩ් ජයකොඩි මෙරට පමණක් නොව දේශ දේශාන්තරෙහි මේ නම සුපතලව ඇත්තේ ගායක භූමිකාව ඔස්සේ නමුත් ඔහු නළුවකු බව ද දන්නෝ දනිති. එඩ්වඩ් ප්‍රථමයෙන් කලා ලොවට එක් වූයේ නළුවකු ලෙසිනි.

ධම්ම ජාගොඩ රංග ශිල්ප ශාලිකාවෙන් රංගනය හදාරා එඩ්වඩ් ප්‍රථමයෙන් එක් වූයේ පසුගියදා වියෝ වූ සුනන්ද පුෂ්පකුමාර ගේ “ස්පාටකස්” වේදිකා නාට්‍යයට ය. එතැන් සිට නාට්‍ය ගණනාවක රඟපෑ එඩ්වඩ් ජයකොඩි වරක් රාජ්‍ය යෞවන නාට්‍ය උළෙලේ දී හොඳම සහය නළුවා සම්මානය ලැබීය.

පසු කාලයේ වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණයට එක් වී අවස්ථා කිහිපයකදීම සම්මානයට හිමිකම් කීවේය. චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණයේ ද එඩ්වඩ් නියැළෙයි.

එපමණක් නොව පද රචනයෙන් තනු පබැඳුමෙන් ද එඩ්වඩ් ගීතයට එක්වෙයි. එමෙන්ම ඔහු සංගීත ගුරුවරයෙකි. අධ්‍යාපන සහකාර සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙස වගකීම් සහිත රාජ්‍ය තනතුරක් ද දරයි.

මේ සා විවිධ භූමිකා ඔස්සේ එඩ්වඩ් තම කුසලතා ප්‍රකට කළත් එඩ්වඩ්ගේ ගායන ප්‍රතිභාව මේ සියල්ල අභිබවා ඉදිරියෙන් ම සිටී. හෘදයාංගම ළබැඳි සොඳුරු හුරුබුහුටි ගායකයා ලෙසින් ම පමණක් අපගේ මතකයට හැඟෙන්නේ එබැවිනි.

ගුරුකුල මාතාව ඇසුරේ හිඳි සමයේ ගායකයකු ලෙසත් ගුරුවරයකු ලෙසත් ජනතාව අතරට පත් වූ එඩ්වඩ් ජයකොඩි සහෘද කලාවේදියාණන් ගැන ගුරුකුල ආදි ශිෂ්‍යාවක වන මට මේ මොහොතේ ඔහු ගැන ලියන්නට ලැබීමත් සතුටට කරුණකි. තව තවත් ඔබේ ගීතවත් හඬින් අප සිත් සනහාලන්නට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා