දඟ වැඩකළාට කමක් නැහැ ජරා වැඩ කරන්න එපා

දුප්පත් දරුවන් ගේ මිතුරා

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ළමා කාලයේ කතා

දඟ වැඩකළාට කමක් නැහැ ජරා වැඩ කරන්න එපා

මහින්ද පාසලේ කැන්ටිමට ගියේ ය. කාසි ගණන් කරමින් සිටි මුදලාලි හිස ඔසවා බැලුවේය. “විදුහල්පතිතුමා මට කීවා මුදලාලි මුණගැහෙන්න කියල” මහින්ද කීවේ ය.

මේ ළමයද මහින්ද කියන්නෙ?”

“ඔව්”

“මට ටික කලක ඉඳල කරදරයක් තියෙනවා. කැන්ටිම අතඇරලා දාන්නත් හිතෙනවා. විදුහල්පතිතුමාට මේ ගැන කීවාම මට කීවා මහින්ද කියල ළමයෙක් ඉන්නවා. එයාට කියන්න කියලා.”

මහින්ද ගේ මුහුණට සිනාවක් නැගිණ

“හොඳයි, කියන්න මොකක්ද කරදරේ කියල”

විවේක වෙලාවෙදි මෙතනට ළමයි මහ ගොඩක් එනවා. සමහරු කෑම කාලා සල්ලි නොදී පැනල යනවා. සමහරු හොරාට කනවා. මට දැන් වෙළෙඳාමෙන් පාඩුයි. ඉස්සර මෙහෙම වුණේ නැහැ. මේක බලාගන්න තව සේවකයො ගන්න මට වත්කමක් නැහැ.”

මහින්ද නැගිට්ටේ ය.

මුදලාලි, මම ඒක බලාගන්නම්. කැන්ටිම අතඅරින්න එපා” ඊට පසුදා මහින්ද සිය මිතුරකු වූ මිත්‍ර ගංකන්ද සමඟ කැන්ටිම අසලට වී බලා සිටියේ ය.

ළමයි කණ්ඩායමක් පැමිණියහ. මේසයක් මත ලැවරියා. වඩේ සහ පොල් රොටි පිඟන් තිබිණ. ළමයි කෑම පටන් ගත්හ. පොල් රොටියක් කෑ ළමයෙක් තවත් රොටියක් කලිසම් සාක්කුවේ දමා ගන්නා අයුරු පෙනිණ. තවත් ළමයෙක් ලැවරියා එකක් කා වඩේ එකක් සාක්කුවේ දමා ගත්තේය. ළමයි කීප දෙනෙක් මුදලාලිට මුදල් ගෙවූහ. කෑමෙන් පසු මුදල් නොගෙවා පිටතට එන ළමයි ගණන් කරගත්තේ ගංකන්ද ය.

මහින්ද ඔවුන් ඉදිරියට ගියේ ය.

“නැවතියල්ලා. උඹලා කාපු ඒවට සල්ලි ගෙවලද යන්නෙ?”

ළමයි තක්කු මුක්කු වූහ.

“මම ගෙව්වා” එක ළමයෙක් කීය.

අපි බලාගෙන හිටියෙ. එකෙක් වත් හෙල්ලෙන්නෙ නැහැ. උඹලා ගිහින් මුදලාලිට සල්ලි ගෙවල වරෙල්ලා. ඊළඟට කෝ බලන්න උඹේ සාක්කුව. මේ තියෙන්නෙ වඩේ”

මහින්ද මෙසේ කියමින් ළමයෙකු ගේ සාක්කුවෙන් වඩයක් එළියට ගත්තේ ය. ගංකන්ද තවත් ළමයෙකු ගේ සාක්කුවෙන් ලැවරියා එකක් පිටතට ගත්තේ ය.

ළමයි මුදලාලිට මුදල් ගෙවූහ. ඒ ළමයි සියලුදෙනා ම ළඟට කැඳවා ගත් මහින්ද ඔවුන්ට මෙසේ කීය.

මෙතන ඉන්න හතර දෙනෙක් මං දන්නවා. උන් එන්නෙ තඩි කාර්වලින්. ඒ වුණාට උන් කැන්ටිමේ වඩේ, ලැවරියා හොරාට කනවා. අනික් අය මං අඳුනන්නෙ නැහැ. ඇයි මෙහෙම කරන්නෙ? මේ මුදලාලි ලොකු හෝටල්කාරයෙක් නෙමෙයි. ළමයින්ට පොඩි දෙයක් විකුණලා යම්තම් ජීවත්වෙන මනුස්සයෙක්. මට කීවා හොරාට කන ළමයි නිසා කැන්ටිම වහල දාන්න වෙනවා කියල. මෙහෙම වැඩ කරලා තවත් අහුවෙන්න එපා.

දඟ වැඩ කළාට කමක් නැහැ. තේරුණාද, ජරා වැඩ කරන්න එපා.”

ඉන්පසු කැන්ටිමේ කෑම හොරකමක් ගැන අසන්නට නොලැබිණ.

දිනක් කැන්ටිමේ මුදලාලි මහින්දට තේ බොන්නට කතා කළේ ය.

මට මුදලාලිගෙන් තේ ඕන නැහැ. දැන් කැන්ටිම වහල දාන කල්පනාව නැහැ නේද?” මහින්ද ඇසුවේ ය.

“ඔය පුතාට පිංසිද්ධ වෙන්න ඕන. කැන්ටිම වහන්නෙ නැහැ.” මුදලාලි කීවේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා