මෙදා දූෂණය නැති කරන්න හදන්නේ දූෂණයට නම් දැරූ රනිල් සමඟයි

විපක්ෂයේ පොදු අපේක්ෂකයා

මෙදා දූෂණය නැති කරන්න හදන්නේ
දූෂණයට නම් දැරූ රනිල් සමඟයි

විමල් වීරවංශ මිනුවන්ගොඩ දී කියයි

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සරත් ෆොන්සේකා මහතා දූෂණය වංචාව නැති කරන්නට හදන්නේ දූෂණය වංචාවට නම් දැරූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වී යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කෙළේ ය.

දූෂණය නාස්තිය නතර කරන්නට කතා කරන ෆොන්සේකා මහතා යුද්ධය අවසන් වූ පසු ආරක්ෂක අමාත්‍යාංශයටත් හොරෙන් ආයුධ නැවක් ගෙන එන්නට උත්සහ දැරූ බවත් ඒ මහතා පැවැසීය.

ඒ ආයුධ නැව ගෙනාවේ සරත් ෆොන්සේකා වුවත් එය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කරපිට දමන්නට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මඩ ප්‍රචාර යැවූ බවත් හෙතම ප්‍රකාශ කෙළේ ය.

ඒ මහතා මේ අදහස් පළ කෙළේ 2010 ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය මිනුවන්ගොඩ නගර සභා ක්‍රීඩාංගනයේ දී ඊයේ (27) පැවැත්වූ ජන රැළියට එක් වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් වූ මේ ආයුධ නෞකාව හරවා යැවුයේ තමා යැයි මුලින් ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා දැන් ප්‍රකාශ කරන්නේ හමුදාවට පුහුණු වීමට අවශ්‍ය පතුරම් ගෙන් වූ ඒ නෞකාව ගෝඨාභය හරවා යැවූ බව යැයි ද හෙතෙම කීවේ ය.

රට හදන්නට කථා කරන ෆොන්සේකාට අද කියන බොරුව හෙට මතක නැති බව කී හෙතෙම සුදු කොඩි රැගත් කොටි නායකයන් ගෝඨාභයගේ අණ මත මරා දැමූ බවට කළ ප්‍රකාශය ජනතා විරෝධය නිසා ඉවත්කර ගත් ෆොන්සේකා 17 වැනිදා රත්නපුරයේ දී කීවේත් ගෝඨාභය හමුදාවට වැරැදි අණ දුන්නා කියා යැයි ද වැඩිදුරටත් පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා