නෂීඩ් මහත්තයා ටිකක් ඉවසන්න!

නෂීඩ් මහත්තයා ටිකක් ඉවසන්න!

ටොලමි නම් භූගෝල ශාස්ත්‍රඥයා මාලදිවයින හඳුන්වන්නේ ශ්‍රී ලංකාව අසල දූපත් සමූහය ලෙස ය. මාකෝපෝලෝ නම් දේශ ගවේෂකයා එය හඳුන්වන්නේ විහිදුණු පෙති සහිත විශාල පුෂ්පයක් ලෙස ය. අරාබි ජාතික සංචාරකයකු වූ ඉබන් බතුතා මේ දූපත් සමූහයෙහි සංචාරය කොට බොහෝ ඓතිහාසික තොරතුරු සටහන් කර තිබේ. එම ඓතිහාසික තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර නො බිඳිය හැකි සම්බන්ධතාව ක් තිබේ. අතීත මාලදිවයිනෙහි විසූ ශිරවාරු නම් ගෝත්‍රිකයෝ ශ්‍රී ලංකාවේ රාජ කුමාරයෙක් සිය නායකයා ලෙස තෝරා ගෙන රාජ්‍යත්වයට පත් කළ හ.

අද අප මේ තීරුව වෙන් කරනුයේ අසල්වැසි මාලදිවයින් රාජ්‍යය සඳහා ය. අපගේ මිතුරාට කිසියම් අභාග්‍ය සම්පන්න කාලයක් උදා වී තිබේ. ඔහු ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ සංචාරක කර්මාන්තය කෙමෙන් දුර්වල අඩියකට යමින් තිබේ. දේශපාලන අර්බූද උත්සන්න වී තිබේ. නූතන මාලදිවයිනෙ හි රාජ්‍ය නායකයා මොහොමඩ් නෂීඩ් මහතා ය. ඒ මහතා වහා ම ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමැතී ය. අර්බූදය සංසිඳවී ම සඳහා සහාය ලබා දෙන්නැ’ යි ඉල්ලා සිටියේ ය. අපේ ජනාධිපතිවරයා මේ තීරුව ලියන මොහොතේ ද මාලදිවයිනෙහි සිට සාකච්ඡා පවත්ව යි.

මාලදිවයිනෙහි හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් මහතා දසක තුනකට වැඩි කාලයක් රාජ්‍ය නායකත්වයෙහි සිටියේ ය. ඔහු ද ශ්‍රී ලංකාවේ ගජ මිතුරෙකි. ගයුම් මහතා අද එරට විපක්ෂයේ නායක පදවිය උසුල යි. විපක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර අර්බූදය උත්සන්න වී තිබේ. එහි උපරිමය සටහන් වූයේ පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයට අයත් දහතුන් දෙනා ම ඉල්ලා අස්වීමත් සමඟ ය. නෂීඩ් ජනාධිපතිවරයා ට ආණ්ඩුව ගෙන යෑමට නො හැකි තත්ත්වය ට අර්බූදය ඔඩු දුවා තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනෙහි අගනුවර වූ මාලේ වෙත සැපත් වන්නේ එම අවස්ථාවේ ය.

මහින්ද රාජපක්ෂ මහතා ගේ රාජ්‍යතාන්ත්‍රික භාවය ද ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව ද මුළු ලෝකය ම පිළිගනී. ලොව අංක එකේ ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස හඳුන්වන ලද කොටි සංවිධානය ශ්‍රී ලංකා භූමියෙන් ඉවත් කළේ ඔහු ය. බෙදුම්වාදය අවසන් කළේ ඔහු ය. ශ්‍රී ලංකාව ට දෙවන නිදහස ලබා දුන්නේ ඔහු ය. ඔහු සිදු කළ වෙනස ඇතැම් විචාරකයන් විසින් ‘විස්මිත විප්ලවය’ ලෙස හඳුන්වනු ලැබේ. එබඳු නිර්භීත හා විචක්ෂණ පුද්ගලයකුට මාලදිවයිනෙහි ගැටුම බරපතළ අර්බූදයක් නො වේ.

මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනට ගොස් එරට විපක්ෂ නායකවරයා ගේ අදහස් විමසා ඇත. කථානායක, අග්‍ර විනිශ්චයකාර,, අගමැති යන ප්‍රධාන තනතුරු දරන අය සමඟ සාකච්ඡා පවත්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සාකච්ඡාවක් මේ තීරුව ලියන මොහොත වන විට පැවැත් වේ. එය බෙහෙවින් සාර්ථක ශුභදායී එකක් බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂය හා විපක්ෂය රටේ පොදු ගැටලු සම්බන්ධයෙන් විවෘත සංවාදයකට පැමිණ තිබේ. රටේ ආර්ථික උපාය මාර්ගයන් විනාශ නො කර දේශපාලන වශයෙන් සංහිඳියාවකට යා හැකි මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාලදිවයිනෙහි දේශපාලකයන්ට පෙන්වා දී තිබේ.

මීට අවුරුදු සිය ගණනකට පෙර මාලදිවයිනට රකුසකු පිළිබඳ උවදුරක් තිබිණි. රතවාරී නම් රකුසා මුහුදේ සිට නැඟිට’විත් රටේ තරුණියන් බිළිගන්නා කතාවක් එදා තිබිණි. කන්‍යාවියක් බිළිගැනීම රකුසා ගේ ආධ්‍යාශය විය. මසකට වරක් මුහුදෙන් නැඟිටින රකුසා වැසියන්ට කරදර ඇති කළේලු! රකුසා හමුවට ගිය ආගමික නායකයෙක් ඉතා කාරුණික ව ඔහු ට සලකා බලහත්කාරය ගැන කරුණු කියා දී ඇත. පාපකර්ම පැහැදිලි කර දී රතවාරී රකුසා ගේ කරදරය එතෙකින් සමාප්ත විය.

මාලදිවයින යනු සාක්ෂරතාව 98% ක් පවතින රාජ්‍යයෙකි. එහි අධ්‍යාපනය දියුණු ය. සේවා අංශය දියුණු ය. නිදහසින් පසු 1965 සිට එම රට දියුණුව කරා ගමන් කරන්න ට විය. 1989 දී ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුනි. එම ප්‍රතිසංස්කරණ ඔස්සේ රට යම් ආර්ථික වර්ධනයක් ලබාගත්ත ද දේශපාලන වියවුල දිගට ම පැවැතිණි. නැවත 2008 මැතිවරණයෙන් ගයුම් මහතා පරදවා නෂීඩ් මහතා බලයට පත් විය. ඔහු ගේ එනම් නෂීඩ් මහතා ගේ ඡන්ද ප්‍රතිශතය 54% විය. ගයුම් මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට හතළිස් ගණනක් විය. ගයුම් මහතා ඉහත කී ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පිළිගත්තේ ය. නව ජනාධිපතිවරයා කැටුව සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතිඥා දුන්නේ ය.

මේ සාමකාමී තත්ත්වය වැඩි කල් නොයාම දෙදරා ගියේ ය. ඒ සමඟ ම ශීඝ්‍ර ආර්ථික පසුබෑමක් සටහන් වෙන්නට විය. දේශපාලන ආරවුල ද ප්‍රශස්ත මට්ටමකට පැමිණ තිබිණි. මාලදිවයිනෙක ආණ්ඩු ජාතික ප්‍රතිපත්ති අනුගමනය කරන බවක් පෙනුන ද ඒවා තුළ කඩාකප්පල්කාරී වැඩසටහන් ක්‍රියාත්මක වේ. වංචාව හා දූෂණය බහුල ලෙස දකින්නට ලැබේ. මේ හේතු සාධක ඔස්සේ මාලදිවයිනෙහි දේශපාලන අර්බූදය ගිනි කන්දක් සේ පුපුරා ගියේ ය. ජනාධිපති ගයුම් මහතා ගේ කාල සීමාව තුළ නිදහස ඉල්ලා සටන් කරන්නට නෂීඩ් මහතා එදා ඉදිරිපත් විය. අද එම කාර්යය ම පෙරළා ගයුම් මහතා විසින් ඉටු කරනු ලැබේ.

දැනට ලැබී ඇති ආරංචි වලට අනුව අර්බූදය විසැඳෙමින් පවතින අතර මාලදිවයිනට දේශපාලන ස්ථාවරත්වය කරා යා හැකි බව පෙනී ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා දෙපාර්ශ්වය සමඟ තවදුරටත් සාකච්ඡා පවත්ව යි. ගැටුම් නිරාකරණය සඳහා ඉදිරිපත් ව සිටින මහින්ද රාජපක්ෂ මහතා ගේ ක්‍රියා කලාපය බැන් කී මූන් මහතාට වුව කදිම ආදර්ශයක් බව පෙන්වා දෙන්නෙමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා