අරෝග්‍යා පදනමෙන් ආබාධිතයන්ට උපකරණ

අරෝග්‍යා පදනමෙන් ආබාධිතයන්ට උපකරණ

දඹදිව වන්දනාවේ යෙදී සිටියදී රිය අනතුරකින් ආබාධිත වූ උනපාන අරියධම්ම හිමියෝ, අරෝග්‍යා ආබාධ සහිත වූවන් සඳහා වන පදනම පිහිටුවාගෙන ආබාධිත වූවන්ගේ සුබසාධනය සඳහා සමාජ සත්කාර වැඩවල නිරත වෙමින් සිටී.

මේ පදනම මගින් පසුගියදා රුපියල් ලක්ෂ 45ක් වටිනා රෝද පුටු, කොමඩ් සහිත පුටු, ජලාසයන, අත්වාරු, ළමා පුටු, ළමා ඇඳන් ආදී ආබාධිතයන්ට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ පරිත්‍යාග කෙළේය.

එම උත්සවය පතිරගොඩ නාලන්දාරාමයේදී පසුගියදා සිදුකෙරිණි. ආබාධිත වූවන්ට ස්වයං රැකියා ආධාර සහ පුහුණුව ලබාදීම බතික් කර්මාන්තයෙන් ජීවත්වන පිරිසකට ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ භාණ්ඩ ලබාදීමත් එදින සිදු කෙරිණි. පොළොන්නරුව, මොනරාගල, ඇඹිලිපිටිය ප්‍රදේශවල ආබාධිත රෝගීන්ට රෝදපුටු, අත්වාරු, කිහිලිකරු උපකරණ ලබාදුන්නේය.

දෘශ්‍යාබාධිත පවුල් හතරකට ස්වයං රැකියා ආරම්භ කිරීමට මුදල් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු විය. ස්වයං රැකියා ආරම්භ කිරීමට මුදල් පරිත්‍යාග ලබාදුන් අතර එම පවුල්වල දරු දැරියන් සඳහා රෙදිපිළි පරිත්‍යාගයක් ද සිදු කෙරිණ. මේ පදනම මගින් ඉදිකිරීමට යෝජිත ස්නායු රෝහලට සහාය විය හැකි පින්වතුන්ට උන්වහන්සේ ඇරයුම් කර සිටිති.

අධ්‍යක්ෂ උනපාන අරියධම්ම හිමි, නාලන්දාරාමය, පතිරගොඩ, මහරගම ලිපිනයෙන් අරෝග්‍යා පදනම පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. මේ අවස්ථාවට විහාරාධිපති ශාස්ත්‍රපති තලපත්පිටියේ පුණ්‍යාලෝක, ශාස්ත්‍රපති ඕමාරේ පුණ්‍යසිරි හිමිවරු සහ පදනමේ විදේශ ලේකම් තුසිත වීරවර්ධන, භාණ්ඩාගාරික ගාමිණී දහනායක ආබාධිත සම්බන්ධීකාරක පී. ඒ. ගුණවර්ධන, කථිකාචාර්ය අමිත කුමාර කීල්ස් ආයතනයේ නිරෝෂා ගමගේ මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
 

දෘශ්‍යාබාධිත පවුල්වල සාමාජිකයන්ට පරිත්‍යාග ලැබීමෙන් පසු අරෝග්‍යා පදනමේ නිලධාරීන් සමග.
ඡායාරූපය - මහරගම විශේෂ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා