ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න

ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න

රනිල් අමෙරිකාවෙන් ඉල්ලයි

ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී රණවිරුවන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ කරුණු හෙළි කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) ප්‍රකාශ කෙළේ ය.

මේ පිළිබඳව එක්සත් ජනපද රාජ්‍යය මගින් කළ ප්‍රකාශනයෙහි පැහැදිලිවම සඳහන් වන බව එම ප්‍රකාශනය උපුටා දක්වමින් ඇමැති පීරිස් මහතා පැවසුවේ ය.විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ක්‍රියා කළාපය නිසා අපකීර්තියට හා අපහසුතාවට පත් වන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ රජය නොවන බව ද මේ රට සහ ජනතාව බව ද ඇමැති ජී. එල්. පීරිස් මහතා අවධාරණය කෙළේ ය.

විපක්‍ෂ නායකතුමා ඕනෑම රාජ්‍ය තාන්ත්‍රික නායකයකු හමුවීම පිළිබඳ රජයේ විරෝධයක් නොමැති බව ද විපක්‍ෂ නායකයා රාජ්‍ය තාන්ත්‍රිකයන් හමු වී කරන සාකච්ඡා පිළිබඳ රජයට ගැටලු පවතින බව ද ඇමැතිවරයා කීවේය. රටට හා රටේ ස්වෛරීභාවයට හානි සිදු නොවන පරිදි විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග කටයුතු කරන ලෙස රජය විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව ද ඇමැති ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මේ බව පැවසුවේ ය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග මට කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. එහෙත් විපක්‍ෂ නායකයාගේ ක්‍රියා කළාපයෙන් අපහසුතාවට පත් වන්නේ මේ රට සහ ජනතාවයි. අපි මේ පිළිබඳ කනගාටු වෙනවා. අපිට ඔහු සමඟ කිසිම තරහක් නැහැ. ඒත් ඇයි ඔහු එහෙම කරන්නේ. ඉන්දියාව වැනි රටවල විපක්‍ෂය හෝ විපක්‍ෂ නායකයන් කිසි විටෙකත් මේ අයුරින් ක්‍රියා කරන්නේ නැතැයි ද මහාචාර්ය පීරිස් මහතා කීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා