අපේ රටේ ජාතිභේද ඇති කළේ දේශපාලනඥයන් හා මාධ්‍ය මිස ජනතාව නොවෙයි

අපේ රටේ ජාතිභේද ඇති කළේ දේශපාලනඥයන් හා මාධ්‍ය මිස ජනතාව නොවෙයි

යන්න කියන්න කලින් යා යුතු වේලාවේ මා සමුගන්නවා - මුරලි
 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඩී. එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග, තේරීම් කමිටු සභාපති අරවින්ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර සමඟ මුත්තයියා මුරලිදරන් මාධ්‍ය හමුවේදී.
ඡායාරූපය – පි‍්‍රන්ස් ගුණසේකර

අපේ රට තුළ ද්‍රවිඩ, සිංහල හා මුස්ලිම් වශයෙන් ජාති භේද ඇති කෙළේ ඇතැම් දේශපාලනඥයන් හා සමහර මාධ්‍යවේදීන් මිස රටේ ජනතාව නොවන බව ටෙස්ට් පිටියෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මුත්තයියා මුරලිදරන් ඊයේ පැවැසීය.

“මා නේවාසිකාගාරයක හැදුණු වැඩුණු කාලයක් තිබුණා. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් මෙන්ම සෑම ජාතියකම යහළුවන් මට හිටියා. අපි හරිම එකමුතුයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී සෑම කඩුල්ලක්ම බිඳහෙලද්දී සියලුදෙනා අත්පොළසන් දුන්නා. එමෙන්ම සිංහ ධජය ලෙළදුන්නා. සාමාන්‍ය ජනතාව තුළ ජාතිබේදයක් නැති බව මා හොඳින්ම දන්නවා.” යැයි මුරලිදරන් පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ වසර 18ක කාලයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මේ මස 18 වැනිදා ගාල්ලේ දී ඉන්දියාව සමඟ පවත්වන තරගයෙන් පසු ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් දැනුම්දීම සඳහා කැදවූ මාධ්‍ය හමුවේදීය. මේ හමුව ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක් වූ ලෝක පූජිත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පැවැසුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට විශේෂ ස්තූතියක් පුද කරන බවයි. තම ක්‍රිකට් දිවියෙහි මුල්පුහුණුකරු සුනිල් ප්‍රනාන්දු මහතා ඇතුළු සියලු පුහුණුකරුවන්ට ද මව්පියන්, බිරිඳ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා නිලධාරීන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ටද ස්තූතිය පුදකරන බව හෙතෙම පැවැසීය.

“ඉදිරියට එන තරුණ ක්‍රීඩකයන්ගේ අවස්ථාව මා නිසා නැති වෙනවා දකින්න කැමැති නෑ. අපට හොඳ දඟ පන්දු යවන්නන් තිදෙනෙකු ඉන්නවා. මට අවස්ථාව ලැබුණ නිසා මේ වගේ තැනකට එන්න ලැබුණා. අනිත් අයටත් ඉදිරියට එන්න දොරටු විවර කිරීම මගේ යුතුකමක්. ඒ නිසා මා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගන්නවා.”

ඉන්දියාව සමඟ ටෙස්ට් තරග 3ක් පැවැත්වෙන හෙයින් ප්‍රථම තරගයෙන්ම විශ්‍රාම ගැනීම ටෙස්ට් කඩුලු 800 වාර්තා කිරීමට බාධාවක් වේවිදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මුරලිදරන් පැවැසුවේ 800 තමාට තවත් ඉලක්කමක් පමණක් බවයි.

“මා විශ්‍රාම ගන්න කැමැති ශ්‍රී ලංකාව ජයගන්නා තරගයකදී . මට හොඳ විශ්වාසයක් තිබෙනවා සෑම දෙයක්ම සමුගන්නා තරගයේදී විශිෂ්ට ලෙස සිදුවේවි කියා” මුරලිදරන් පැවැසීය. මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 132 කට සහභාගි වී කඩුලු 792 ක් බිඳහෙලමින් හා එක්දින තරග 337 කදී කඩුලු 515 ක් බිඳහෙළමින් ලෝක වාර්තාවකට හිමිකම් කියයි. මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගත්තද එක්දින හා විස්සයි – 20 තරග වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බලාපොරොත්තු වේ.

“මගේ ක්‍රිකට් දිවියෙහි වඩාත්ම සතුටු දවස ’96 ලෝක කුසලානය දිනාගැනීමයි. නායක අර්ජුන හා උපනායක අරවින්දටත්, ක්‍රීඩකයන්ටත් මගේ ස්තූතිය හිමිකරනවා. එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේදී ලබාගත් කඩුලු 16 මගේ ක්‍රීඩා දිවියට ආලෝකයක් වුණා. ලෝකයම කතා කළේ ඒ දක්‍ෂතාවයත් සමඟයි” මුරලි අතීතය සිහිපත් කළේය. මේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පැවැසුවේ මුරලිට තමා ආදරය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටත් වඩා ඔහුගේ පෞරුෂයට හා ගතිගුණවලට බවයි.

“අපට මුරලි කෙනෙක් සොයා ගැනීම අපහසුයි. ඔහුගේ වටිනාකම මිල කරන්න බෑ. ඔහු නිසා ශ්‍රී ලංකාව ගැන හොඳ ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට විශාල වශයෙන් ගියා.” ඔහු ශ්‍රී ලාංකේය සමාජයට විශේෂිත වූ කෙනෙක් සංගක්කාර පැවැසීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා