රට විශාල ආර්ථික ඉදිරි පිම්මකට සූදානම්

රට විශාල ආර්ථික ඉදිරි පිම්මකට සූදානම්

වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

2010 වසරේ ඉතිරි කාලසීමාව සඳහා ඉදිරිපත් වූ අය – වැය හා එය රටේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සමඟ ගැළපෙන ආකාරය ගැනත්; අය – වැය සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන විවේචන ගැනත් වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සමඟ ‘දිනමිණ’ කළ සාකච්ඡාවකි මේ.

* මෙවර අය – වැය පිළිබඳ කෙටි සමාලෝචනයක් කළ හැකි ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒකාබද්ධ අරමුදලෙන් රජයේ මුදල් වියදම් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ලබාගත යුතුයි. මේ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මුදල් අමාත්‍යවරයා විසර්ජන පනත නැත්නම් අය – වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. වියදම් කිරීම සඳහා මුදල් උපායගන්නේ කෙසේ ද යන්න එහි සඳහන් නොයෙක් ක්‍රම හරහා යම් යම් භාණ්ඩවල මිල උස් - පහත් කිරීම මඟින් ආදායම් ලබා ගැනීමත් අතීතයේ දී සිදුවුණා.

නමුත්; අපි දියුණුවන රටක් හැටියට අය – වැයක් තනිකරම ඒ ආකාරයෙන් පවත්වා ගත යුතු නෑ. ස්ථාවර වියදමත් එක්කම ස්ථාවර ආදායමකුත් ලබාගන්න පුළුවනි. මෙවර අය – වැය ලේඛනය සම්ප්‍රදායානුකූල අය – වැය ලේඛනයකට වඩා වෙනස්. මොකද 2010 වර්ෂයේ මෙතෙක් මුදල් වියදම් කිරීම සිදුවුණේ අතුරුසම්මත ගිණුමකින් සහ ජනාධිපතිතුමාගේ නියෝග පරිදි ඒකාබද්ධ අරමුදලෙන්. ඒ අනුව ඉතිරි මාස කිහිපය සඳහා වියදම සහ ආදායම මීට අදාළයි.

මුළු වර්ෂයක් තුළ කරන්න බලාපොරොත්තු වෙන වෙනස්කම් කරන්න වෙන්නෙ 2011 වර්ෂයේ දී කියන එක පැහැදිලියි. ඒ සඳහා පදනමක් සැපයීමකුත් මෙයින් සිදුවෙනවා. ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන කතා කරන විට ප්‍රධානම කාරණය තමයි යුද්ධය අවසන්ව තිබීම. එය එසේ මෙසේ ජයග්‍රහණයක් නෙවෙයි. කලාතුරකින් තමයි මේ ආකාරයට යුද්ධයක් තීරණාත්මකව අවසන් වෙන්නෙ. බොහෝ විට ඒවා ඇදෙමින් යනවා. ඒක තමයි ලෝක මට්ටමෙන් ගත්තාම පෙනෙන්න තියෙන්නේ.

නමුත් දැන් අපි යුද්ධය අවසන් කර ඇති නිසා රටේ සංවර්ධනය ගැන ධයක් නැතිව යොමුවෙන්න පුළුවන්. මේ වසරේ දී 7%ක සංවර්ධන වේගයක් පවත්වා ගත්තා. ඉදිරි වර්ෂයේ එය 8% කිරීම අපේක්ෂාවයි. ඊළඟට ඉලක්කම් දෙකේ (10න් ඉහළ) සංවර්ධන වේගයක් අත්කරගැනීම අපේ ඉලක්කයයි.

* 8% වට්ටමේ සිට 10% වැඩි ආර්ථික වර්ධන වේගයක් කරා යාම ප්‍රායෝගිකව සම්පූර්ණ කරගන්නෙ මොන ආකාරයට ද?

එක නිකම්ම කරන්න බෑ. ඊට ආයෝජන අවශ්‍යයයි. රාජ්‍ය පෞද්ගලික හා සමූපකාර කියන ක්‍ෂේත්‍ර තුනේ ම ආයෝජන කළ යුතුයි. වසර 30ක පමණ කාලයක් උතුර – නැඟෙනහිර ප්‍රදේශවල නිෂ්පාදනය රටේ ජාතික නිෂ්පාදනයට එකතු වුණේ නෑ. ඒ ඔස්සේ එම ප්‍රදේශවල ජනතාවට ආදායමක් ලැබුණෙත් නෑ. ඒ කියන්නෙ රටේ ආර්ථිකයට එමඟින් සෙතක් වුණේ නෑ.

නමුත් එල්. ටී. ටී. ඊ. ය එයින් ඵල ප්‍රයෝජන ලැබුවා. විදේශාධාරත් ලැබෙන අතරම එමඟිනුත් ඔවුන් මුදල් ඉපැයුවා. භාණ්ඩ මත බදු පැනවීම පවා ඔවුන් සිදු කළා. මේ නිසා ඇත්තට ම උතුර සහ නැඟෙනහිරට බදු නුහුරු දෙයක් නෙමෙයි. නමුත් දැන් ඒ ප්‍රදේශවල ජනතාව මත එවැනි බදු පැටවීමක් නෑ. උතුර – නැගෙනහිර ප්‍රදේශත් දැන් රටේ සංවර්ධනයට දායක වෙනවා.

යටිතල පහසුකම් දියුණු කිරීමත් මේ සඳහා අවශ්‍යයයි. අපේ අරමුණ ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදනය හා නාගරික වෙළෙඳපොළ අතර සක්‍රීය සම්බන්ධයක් ඇති කිරීම සඳහා මාර්ග පහසුකම් ආදිය දියුණු කිරීමයි. වෙනත් ක්‍ෂේත්‍ර ගැන වුණත් මේ කාරණය අදාළයි. ධීවර අංශයේ සංවර්ධනය සඳහා වරාය පහසුකම් නැංවීම අවශ්‍ය කරනවා. භාණ්ඩ අපනයනය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පහසුකම් පුළුල්වීමත් අවශ්‍යයයි. මේ විධියට අදාළ පහසුකම් ඉක්මනින් ලබා දීම ගැන රජය ක්‍රියාත්මකයි.

ආයෝජකයන් දිරිගැන්වීම සඳහාත් යටිතල පහසුකම් නැංවීම ඉතාමත් වැදගත්. ඉහළ කොත්මලේ - නොරච්චෝලේ, කෙරවළපිටිය ආදී බලාගාර ව්‍යාපෘති බලශක්ති ක්‍ෂේත්‍රය තුළ ක්‍රියාත්මකයි. මොරගහකන්ද බහුකාර්ය යෝජනා ක්‍රමය ඉදිවෙමින් පවතිනවා. විදුලිබල ක්‍ෂේත්‍රයේ දියුණුවකින් තොරව සංවර්ධනය ගැන කතා කිරීම සිහිනයක් පමණයි. ඒ නිසා මේ ව්‍යාපෘති රටේ සංර්ධනයට විශාල රුකුලක්.

* නමුත්; ආණ්ඩුවේ ණය බර විශාල වශයෙන් වැඩියි කියලා විපක්ෂයෙන් චෝදනාවක් තියෙනවා?

ණය ලබාගන්නෙ නැතුව මේ ආයෝජන කරන්න, ආර්ථිකය දියුණු කරන්න බෑ. හැබැයි පැහැදිළිවම කියන්න ඕන අපි මේ සියලු ණය ගත්තෙ රජයේ ආර්ථික අරමුණු කරා යා හැකි යටිතල පහසුකම් හඳාගන්නයි. එහෙම නැතුව කන්න - බොන්න නෙවෙයි. ලබාගත් ණය මේ ව්‍යාපෘති සඳහා යෙදවීමෙන් ආණ්ඩුවට ලැබෙන්නෙ ආදායමක්. රජයේ බලාපොරොත්තුව අපේ ආදායම 17% කින් වැඩිකිරීම.

විවිධ ක්‍රම මඟින් ආදායම ඉහළ නංවන්න පුළුවන්. බදු පැණවීමෙන් පමණක් එසේ කරන්නේ නෑ. ව්‍යාපාර ක්‍ෂේත්‍රය වර්ධනය වෙනකොට ඉන් යම් ප්‍රතිශතයක් රජයටත් බදු වශයෙන් ලැබෙනවා. ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 4000 දක්වා වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 2004 දී එය ඇ. ඩො. 1062 යි. 2009 දී ඇ. ඩො. 2053 දක්වා ඉහළ ගියා. මේ ආර්ථික වර්ධනයේ ලකුණු.

ඒක පුද්ගල ආදායම අපි අපේකෂා කරන ඉලක්කයට ගෙනියන්න රටේ විශාල ධනයක් රැස්විය යුතුයි. ඒ සඳහා ආයෝජන කිරීමේ දී පුද්ගලික අංශයේ සහභාගිත්වයත් අවශ්‍ය කරනවා. මොන මොන ක්‍ෂේත්‍ර සඳහා ඒ ආයෝජන යොමු කළ යුතු ද කියන එකත් මෙවර අය – වැයේ සඳහන්. එක් නිදසුනක් තමයි සංචාරක ව්‍යාපාරය. එමඟින් ඉක්මනින්ම මුදල් සොයාගන්නත් පුළුවනි. සාමාන්‍යයෙන් වසරකට සංචාරකයන් ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් තමයි එන්නෙ. ඒත් මේ වසරේ පසුගිය කාලසීමාව තුළ සාර්ථක වර්ධනයක් පෙන්නුම් කරනවා. මෙම සංඛ්‍යාව ලක්ෂ 25 දක්වා වැඩිකරගැනීමට ක්‍රියාකරන්න කියලා තමයි ජනාධිපතිතුමා උපදෙස් දීල තියෙන්නෙ. එනම් දළ වශයෙන් පස් ගුණයක වර්ධනයක් සංචාරකයන්ගේ පැමිණීම අතින් අපේක්ෂා කරනවා.

එජාපය තනිකරම පුද්ගලික අංශය කෙරෙහි විශ්වාසය තබා ක්‍රියාකළා. අපි එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අපි යෝජනා කරලා තියෙන්නෙ රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය එක්ව යන ගමනක් කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අපි සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනවා. පසුගියදා මුදල් නෝට්ටු මුද්‍රණය කරන ඩිලාරු සමාගම තම ව්‍යාපාර තවත් පුළුල් කළා. ඔවුන් 48% ආයෝජනයක් ඊට කළා. රජයට ලැබිය යුතු ආදායමත් මේවායින් ලැබෙනවා. රටේ ඉදිරි ගමනට මෙවැනි සහයෝගිතා ගමනක් අවශ්‍යයයි.

* කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වර්ධනය අදාළ කරගන්නෙ මොන ආකාරයට ද?

නිදසුනක් ලෙස වී ගොවිතැන ගත්තොත්; පොහොර සහනාධාරය අපි දිගට ම ලබාදෙමින් තියෙනවා. යුද්ධය අවසන්වීම නිසා උතුර – නැඟෙනහිර වී ගොවිතැන යළිත් පටන් අරන් ඊළඟ කන්නයේ දී විශාල අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. වී අස්වැන්න අතිරික්තයක් තියෙයි ‘පාන්’ කන්න අවශ්‍ය නෑ. තුන් වේලම බත් කන්න පුළුවන් එහෙම කරනවා නම් පාන් කන්න වැය කරන සල්ලි පිටරටට ඇදෙන්නෙත් නෑ.

ඇයි අපි පිටරට ගොවියො, සමාගම් පොහොසත් කරන්නෙ? මේ වෙනස හරියට මාධ්‍යවත් පෙන්නල දෙන්නෙ නෑ. විශේෂයෙන් විරුද්ධ පක්ෂය මේ ගැන කතාවක් නෑ. ඔවුන් හඬ නඟන්නෙ පිටිම දෙන්න කියලා. පිටරට තිරිඟු වවන මිනිස්සු බත් කන්නෙ නෑනෙ. තිරිඟු නිෂ්පාදනය කරන රටවල භාණ්ඩයක් වන පාන් අපිට හුරුකළාට පස්සෙ අපි ඒකට යටවෙලා. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන.

මට යන්න තියෙන්නෙ රජය යුද්ධය හරියට කළා වගේ ම ආර්ථික යුද්ධය කිරීමේදීත් දැඩි තීරණ ගන්නවා .සේවා අංශය ගත්තාමත් විශාල වර්ධනයක් අපේ රටේ තියෙනවා. ලංකාවේ ජනගහනය මිලියන 20යි. මිලියන 14ක් ජංගම දුරකතන පරිහරණය කරනවා. පොඩි කාර්, යතුරු පැදි, ත්‍රිරෝද රථ කොපමණ තියෙනවාද? මේ සෑම දෙයක් ම ආර්ථික වර්ධනයේ ලකුණු. රට ස්වයංපෝෂණය කරා යද්දි විපක්ෂයට සටන් පාඨ නැතිවෙනවා.

ඒ අයට තියෙන ප්‍රශ්නය ඒකයි. හොඳට හිතල බලන්න මේ අය – වැය ගෙනෙද්දි විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ අල්ලගෙන හිටපු බෝඩ්වල මොනවද තිබුණෙ කියලා? කා වෙනුවෙන් ද ඔවුන් පෙනී සිටියෙ කියලා? ඔවුන් හොඳට පෙන්නුවා තමන් අධිරාජ්‍යවාදයේ ගැත්තො කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ කාලෙ කංකුං පවා පිටරටින් ගෙනාවා. අපි ඊට වෙනස් ගමනක යන්නෙ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ කාලයේ පටන් ම අපේ ආර්ථික ප්‍රතිපත්තිය දේශීයත්වයට නැඹුරු එකක්.

* රට ආර්ථික සංවර්ධනය කරා යමින් තිබිය දී දක්නට ඇති සුබ ලකුණු මොනවාද?

උද්ධමනය තනි ඉලක්කමකට ඇවිත් විදේශ සංචිත ඩොලර් බිලියන 6ක් දක්වා ඉතිහාසයේ පළමු වතාවට වර්ධනය වෙලා. බිලියන 6ක් 1% පොළියට අරගෙන එය බැංකුවල තැන්පත් කර 3.5% ක් අපි උපයනවා. රටේ ආර්ථික වර්ධන වේගය හොඳ මට්ටමක පවතිනවා. ඉදිරි කාලය තුළ එය ඉලක්කම් දෙකක අගයට ගෙන ඒම අපේ අපේක්ෂාව. ආසියානු කලාපයේ ඇතැම් රටවල් දැන් ඒ මට්ටමට ඇවිත් ඉන්නවා.

මේ දේවල් දකිමින් ම තමයි විපක්ෂය, අපි ණය වෙනවයි කියන්නේ. අය – වැය පරතරය යම් මට්ටමක පවත්වා ගැනීමේ වරදක් නෑ. බොහෝ රටවල් එසේ කරනවා. ණය අරගෙන ඒවා සංවර්ධනය සඳහා යොදවනවා. රටක් දියුණුව කරා යනවා නම් ඒ ණය අනුපාතය අඩුවෙනවා. දළ දේශීය නිෂ්පාදිතයට 120ක් වූ අපේ ණය අනුපාතය දැන් 80 ට අඩුවෙලා. ඒකත් හොඳ ලකුණක්. රටේ ආදායම් තත්ත්වය යහපත් වන විට ණය අනුපාතය තවත් අඩුවෙනවා. අපේ ගමන් මඟ ඉතාමත් පැහැදිලියි.

* මේ අය – වැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කළ එකක් බව විපක්ෂයේ චෝදනාවක්. මේ ගැන මුදල් අමාත්‍යවරයා ලෙස ඔබ මොකද කියන්නෙ?

නෑ. එහි කිසිම සත්‍යතාවක් නෑ. අර්ථ ශාස්ත්‍රඥයෝ මුදල් අමාත්‍යාංශයෙ හිටියත්, මහ බැංකුවෙ හිටියත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටියත්, ලෝක බැංකුවෙ හිටියත්, ආසියානු සංවර්ධන බැංකුවේ හරි පුද්ගලික බැංකුවල පර්යේෂණ ක්‍ෂෙත්‍රයෙ හරි හිටියත් කටයුතු කරන්නෙ අර්ථ ශාස්ත්‍රයට අනුවයි. ධ්ර්ජ්එක කියන්නෙ මුලු ලෝකයේ ම ආර්ථිකය පරිශීලනය කරන අය. ඔවුන් ලෝක ආර්ථිකය කඩාවැටෙන්න ඉඩදෙන්නෙ නෑ. ඉතා ම සහනදායි ණය ක්‍රමයකට අපිධ්ර්ජ්එකෙන් ඇ. ඩො. බිලියන 2.6ක ණයක් ගත්තා. එය කොටස් වශයෙන් ලැබෙනවා.

අපි ඔවුන් එක්ක සංවාදයක යෙදෙනවා. දැන් මේ ණය දෙන ආයතන කොන්දේසි දුන්නෙ නෑ. විශේෂයෙන් සුබසාධනය පිළිබඳ, පුද්ගලීකරණය පිළිබඳ මහින්ද චින්තනයේ එන ප්‍රතිපත්ති මත තමයි අපි පිහිටා සිටින්නෙ. ඒ අදහස් මේ ආයතන පිළිඅරගෙන තියෙන නිසයි ණය මුදල අපට ලැබෙන්නෙ. විපක්ෂය කියන විධියට අය – වැයධ්ර්ජ් එක හැදුවා නම් මේකෙ පුද්ගලීකරණය තියෙන්න ඕන. වචනයක්වත් නෑ. රුපියලේ අනුපාතය පහළ දානවා කියලා තිබුණ ද? නෑ. වෙලා තියෙන්නෙ මේ අය – වැය කියවගන්නවත් ඔවුන්ට දැනුමක් නැති එකයි.

හරියට බලන්නෙ නැතිව මොනව හරි කියනවා. 13 වෙනි සංශෝධනයට අනුව පළාත් සභා යටතේත් අධ්‍යාපනය - සෞඛ්‍ය ආදී ක්‍ෂේත්‍රවලට විශාල මුදලක් යෙදවෙනවා. ඒ ගැන බලන්නේ නැතුව මේවාට මුදල් කපලා කියලා කෑ ගහනවා. දැන් විපක්ෂයට එල්ලෙන්න වැලක් නැති නිසාධ්ර්ජ් වැලේ එල්ලිලා ධ්ර්ජ් එක කතාකරන්නෙ විපක්ෂය කියන දේවල් ගැන නෙවෙයි, ආර්ථික කළමණාකරණය ගැනයි. ඔවුන් ආර්ථික ප්‍රතිපත්ති භාරදෙන්නෙ අදාළ රටට. ඒ අය ප්‍රතිපත්ති හදන්න එන්නෙ නෑ. ඔවුන්ට අවශ්‍ය ආර්ථික කළමණාකරණය හරියාකාර වීමයි. ඒ දෙක අතර සමාන්තර ගමනක් යන්න බැරිනම් ඒ අය ඒ රටෙන් ඈත්වෙලා නිකම් ඉඳීවි. අපි එහෙම තැනකට වැටිල නෑ.

* මේ අය – වැයෙන් රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක්. සිදුවේ යැයි අපේක්ෂා කෙරුණා. එය සිදුවූයේ නෑ?

රාජ්‍ය සේවකයන්ට මේ සහන 2011 දී ලැබෙන බව කිවහැකියි. ඒ නිසා ප්‍රශ්නය ඒකම නෙවෙයි. අපේ රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 12ක් ඉන්නවා. රාජ්‍ය සේවකයන් නොවන ලක්ෂ 60ක් විතර ඉන්නවා. රැකියා විරහිත පිරිසකුත් ඉන්නවා. ස්වයං රැකියා කරන අයත් ඉන්නවා. මේ රජය රාජ්‍ය සේවකයන්ව රකින රජයක්. එජාපය සැලසුම් කළේ මේ රාජ්‍ය සේවය දියකර හරින්න.

නමුත් අපේ රාජ්‍ය සේවයත්, රාජ්‍ය සේවකයනුත් ශක්තිමත් කරන්න සැමවිටම ක්‍රියා කළා. ඉදිරියටත් එහෙමයි. ඒ අතරම රටේ ආර්ථිකය දියුණු වෙද්දි පුද්ගලික අංශය රාජ්‍ය අංශය අභිබවා යාමටත් ඉඩ තියෙනවා. ඒ නිසා අපට තියෙන අභියෝගය රාජ්‍ය අංශය මීට වඩා කාර්යක්ෂම කිරීම. එවිට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ඔවුන්ටත් ලැබෙනවා. රටේ දියුණුවත් සමඟම රාජ්‍ය සේවකයනුත් දියුණු තත්ත්වයකට පත්වීම ඉදිරියේ දී සිදුවෙයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා