මං අලිත් දණගස්සවලා තියෙනවා

මං අලිත් දණගස්සවලා තියෙනවා

හේරත් එප්පාවල

නම – හිටි බණ්ඩාරනායක මුදියන්සේලාගේ පුංචිබණ්ඩා හේරත් එප්පාවල
ගම - එප්පාවල
උපන්දිනය - 1945.05. 02
ඉගෙනගත් පාසල - එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලය
වෘත්තිය - කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි, ග්‍රාමසේවක
ජනපි‍්‍රය වූයේ – ජනශ්‍රැති පර්යේෂකයෙක්, නාට්‍ය ශිල්පියෙක්, ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක්, රූපවාහිනි පිටපත් රචකයෙක්
ලැබූ සම්මාන - උතුරුමැද පළාත් සභාව මගින් රාජරට්ඨාභි ධාන සම්මානය, ජාතික රූපවාහිනියෙන් සූර්ය ලංකා සම්මානය, සංස්කෘතික අමාත්‍යංශයෙන් කලාශූරී සම්මානය (2005), වන්නියේ වේදිකාව, තක්‍ෂිලා සමාධි කලායතනය වන්නි අඬහැරය සංවිධානය මගින් සම්මානයට හා ඇගැයීමට ලක්විය.

“මට සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙක් හිටියා. ඒත් අම්මයි අප්පච්චියි අපි එක්කෙනෙක්වත් බඩගින්නෙ තිබ්බෙ නෑ.

කුඹුරෙන් ආපු වී හාල් ටිකයි, එළදෙනුන්ගේ කිරිවලින් ලැබෙන ආදායමෙනුයි පවුලේ අවශ්‍යතා ඔක්කොම පිරිමහගන්න අම්මට පුළුවන් වුණා. අපේ අප්පච්චි සර්ප වෙදකමට හරි දක්‍ෂයි. අප්පච්චි හොයාගෙන ලෙඩ්ඩු හරියට එනවා යනවා. අප්පච්චි බේත් කරලා සල්ලි හබ්බ කෙරුවෙ නෑ. බුලත් කොළේට තියලා දෙන කීය වුණත් සතුටින් බාර ගත්තා.

යල මහ දෙකම පැහෙන කුඹුරයි, හරක් පට්ටියයි තමයි අප්පච්චිගේ එකම ආදායම. පට්ටියටම හරක් සීයක් විතර හිටියා. ඒ කාලේ ගමේ ලොකුම හරක් පට්ටිය හිටියේ පුංචිබණ්ඩා මුදලාලිට. ඊළඟට අපිට සමහර දාට උන් මාරු වෙනවා. ඒ හින්දා අපේ අප්පච්චි හැම හරකෙකුගේම පිටේ “එප්පා පුංචි බං” කියලා හණ ගැහුවා.

මම ඉස්කෝලෙ ගියත් ගෙදර වැඩට උදව් වුණා. වැඩිමලා හින්දා ඒ බර මම හිතලම කරට ගත්තා. ඉස්කෝලේ යන අතරතුරේ එළදෙනෙක්ගෙන් කිරි අරගෙන විකුණන වැඩේ කරන්න මං බාර ගත්තා. උදේ පාන්දරම එළඳෙනුන්ගේ කිරි දොවලා මට පුළුවන් තරමට එකතු කරපු කිරි බෝතල්වල දාලා මල්ලක අඩුක්කරලා කඩවල්වලට ගෙනියනවා. එප්පාවල 15 කණුව ළඟ ඉදන් කෝංවැවේ හන්දියටම පයින් මල්ලත් කරේ තියාගෙන යනවා. ඒ කාලේ කිරි ලීටරයක් ශත 20 යි. කඩේකින් කිරි කාලක් විකුණන්නේ ශත 10ට යි.

කිරි කඩේට විකුණන වැඩේට අප්පච්චි හරස් වුණේ නෑ. ඒත් ඉස්කෝලෙ යන වයසේ සල්ලි හොයන්ඩ කරපු අනික් වැඩවලට නම් අප්පච්චිට රුස්සන්නේ නෑ. සමහර දාට කුලියට මිනිස්සුන්ට පොල් කඩලා දෙනවා. එක ගහකට බැල ගෙඩි දෙකක් හම්බ වුණා. ඒ දවස්වල පොල් ගෙඩියක් ශත 04 යි. ඒ විතරක් නෙමෙයි ගෙදරට හොරෙන් කමත්වලට ගිහින් කොළදින් කරනවා. හරක් දාලා කොළ පාගනවා. වැඩේ අහවර වුණාම වී බුසල් භාගයක් මට ලැබෙනවා.

එප්පාවලට බයිස්කෝප් පෙන්වන පික්චර් හෝල් එකක් දැම්මා. හවසට විතරයි පික්චර් පෙන්නන්නේ. මමයි මස්සිනායි කඩල ගොටු හදාගෙන ගිහින් විකුණුවා. කඩල ගොට්ටක් දුන්නේ ශත 05ට

මේ විදිහට ලැබෙන සල්ලිවලින් ගෙදරට වියදම් කරන්ඩ තරම් හැකි වුණේ නෑ. අනෙක අම්මයි අප්පච්චියි මගෙන් සල්ලි ඉල්ලුවෙත් නෑ. සමහරදාට පොළට ගියාම මම නංගිලාට ඉමිටේෂන් බඩු ගත්තා. නංගිලාටත් ඉතින් ඊට වැඩිය දෙයක් නෑ.

නැටුම් ඉගෙන ගන්ඩ මගෙ හිතේ පුංචි කාලේ ඉඳන් ලොකු ආසාවක් තිබුණා. නැටුම්, නාට්‍යය, දෙකටම මට තිබුණු සහජ හැකියාව මේ ඇල්මට හේතු වෙන්ඩ ඇති. එහෙම නැතිව පරපුරෙන් ලැබුණු දෙයක් නෙමෙයි. 1959 නැටුම් ගාන්ධර්ව ප්‍රාරම්භ විභාගයට ඉදිරිපත් වුණා. ඉන් පාස් වුණාට පසුව නාට්‍යය ගැන ආසාව වැඩිවුනා. එප්පාවල විජිතසේන නාට්‍ය සංගමයට සම්බන්ධ වුණේ ඒ හින්දයි.

රස්සාවකට යොමුවීමේ අවශ්‍යතාව තිබුණත් ඊට අම්මවත්, අප්පච්චිවත් බල කළේ නෑ. අම්මා කැමැති වුණේ එයා උණු උණුවේ තම්බලා දෙන කුරහන් පිට්ටුයි, තල ගුලි, මුං කැවුම්, හැලප වැනි නානාප්‍රකාර රස කැවිලි, රස බල බලා මම ගෙදරට වෙලා ඉන්නවට.

ගෙදර හිටපු කාලේ මම අප්පච්චිට කුඹුරෙ හේනේ වැඩට උදව් දුන්නා. සමහර කන්නවල හොඳට වැහි ලැබුණම අප්පච්චිට පැල් දෙක තුනක් වැටෙනවා. එතකොට මම එක පැළකට යනවා. ඒත් වල් අලි හින්දා පැල් රැකිල්ල ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. හවස තුන හතර වෙනකොට අලි පාරට බහිනවා. ඒ හින්දා අපිත් හතර වෙනකොට වත් පැළ ළඟට යන්ඩ ඕනෑ. ගිහින් හතර වටෙන් ගිනි මැළ ගහගන්නවා. පැළ ළඟටම අලියා ආවොත් එළවනවා බොරු.

දවසක් මම වෙනදා වගේ පැළට යන්ඩයි ලෑස්තිවුනේ. හැබැයි එදා ගියේ තනියම නෙමෙයි. මාමණ්ඩිගේ බේත් කොටන තුවක්කුව හොරෙන් අරගෙනයි මම පැළට ගොඩවුණේ. රෑ කරුවර වැටිලා අන්ධකාරෙ පැතිරුණා. ඒත් යාන්තමට හඳ එළිය තිබ්බ හින්දා අව ට පේන නොපෙනෙන තරමටයි තිබුණේ. රැහැයි සද්දෙ හැරෙන්ට ගහක් කොළක්වත් හෙළවෙන හඩක් ඇහුණේ නැ. එක පාරටම මට සරසර ගාලා සද්ධයක් ඇහුණා.

මම ගත්තා ටෝච් එක. සද්දෙ ආපු දිසාවටම හරියට ටෝච් එක ඇල්ලුවා. මෙන්න අඟ මුවෙක් ඇස් දුන්නා. ගත්තා තුවක්කුව තිබ්බා වෙඩිල්ල. හැබැයි උදේ එළිය වැටෙනකං පැලෙන් බැස්සේ නෑ. ඉර එළිය වැටීගෙන එද්දී පැලෙන් බැහැල වෙඩිකාපු අඟ මුවා හොයාගෙන ගියා. අනේ... ඇස් දීලා තියෙන්නේ ගස් දෙබලක හිටපු බස්සෙක් නෙ. ඒත් ඉලක්කය හරියට වැඩ කළානේ කියලා මං හිත දා ගත්තා.

ආචිරියාගම වෙල්යායේ අපේ කොටුව පීදෙන්න ඔන්න මෙන්න නිසා පැලට යන්ඩැයි අප්පච්චි මට කිව්වා. මම හතර හමාරට පහට විතර ගෙදරින් පිටත් වුණා. වෙල පේන්න ඔන්න මෙන්න තියෙද්දී මට ඇහුණා මිනිස්සු වගයක් “ඕං අලි එනවෝ” කියලා කෑගහනවා.

මට ඒ හඬට කන් දෙන්ඩවත් වෙලාවක් ගියේ නෑ. මෙන්න තුන්පත් රෑන මට ඉස්සරහින් මතු වුණා. ඇඟේ ලේ හිඳුනා. කරන්ඩ කිසිම දෙයක් නෑ මැතිරුවා අලි මන්තරේ. පළමුව අලි මන්තරේට අනුව අලියා පිට නැඟලා ඉන්න දේවතාව බිමට බස්සන්ඩ ඕනෑ. ඒ මන්තරේ “ඕං ඉතිඞ” කියලා මතුරලා ඉවර වෙලා “දිරි මන්තරේ” කිව්වා. මෙන්න අලි තුන්දෙනා දණ ගැහුවා ඒ විතරක් යැ අලින්ට මං ඉස්සරහම ලේ බඩ ගියා. ඊට පස්සේ උන් හිමින්ම පසු බැස්සා.

මේ කතාව ගෙදර ඇවිත් අප්පච්චිට කිව්වා. ආයේ කවදාවත් ඒ මන්තරේ මතුරන්න එපා කියලා අප්පච්චි මට එදා කිව්වා. ඒ මම මතුරපු මන්තරේ හරියට ජප කළොත් ලේ අතීසාරය හැදිලා අලි මැරෙන තරම් බලගතු එකක් හින්දා.

අපේ අප්පච්චි පරම්පරාගත නියම ගොවියෝ හින්දා ඒ ඌරුව අපිටත් පිහිටියා. ඒත් මවුපියෝ දරුවන්ට ඉගැන්වුවේ කොහොම හරි ආණ්ඩුවේ රස්සාවකට යවා ගන්ඩයි. ඒ හින්දම මමත් 1963 - 64 අවුරුද්දේ මහ ඉලුප්පල්ලම කෘෂිකර්ම විද්‍යාලයේ පුහුණුවට ගියා.

මුල්ම රස්සාව මට ලැබුණේ තැපැල් දෙපාර්තමේන්තුවේ එප්පාවල තැපාැල් කන්තෝරුවේ ඉඳන් කටියායට මේල් මල්ල අරගෙන යන්ඩයි මට පැවරුණේ. හැතැප්ම 4 ක් විතර සයිකලේ පදින්ඩ ඕනෑ. දවසකට මට ශත 75 ක් ගෙව්වා. ඊට අමතරව කටියාය ට්‍රැක් 09 ට ටෙලිග්රෑම් අරන් ගියා. හැතැප්මකට ශත 10 ක් ගෙව්වා.

ටික කලෙකින් මම මේ රස්සාවෙන් ඉවත් වුණේ මහඉලුප්පල්ලම කෘෂිකර්ම විද්‍යාලයේ අනියම් ක්‍ෂේත්‍ර සහායක ලෙස කෘෂිකර්ම පර්යේෂණ අංශයේ රැකියාවකට තේරුණු හින්දා මගෙ ජීවිතේ මම ඉතාමත්ම තෘප්තිමත්ව කළ රස්සාවක්ක ඒ ගමේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න තිබුණු නිසා මම ඒ රස්සාවට කැමැතියි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විභාගයෙන් පාස් වුණාට පස්සේ කෘෂි කර්ම ව්‍යාප්ති සේවක ලෙස මගේ පත්වීම ස්ථිර වුණා.

ඒ කාලේ ගොවියා සහ ගොවිපොළ නමින් වැඩසටහනක් තිබුණා. හැම ගොවියෙකුටම ගොවිපොළක් තිබෙන්ඩ ඕනා. ඒ වගේම අපිටත් පැවරුනේ එසේ මෙසේ රාජකාරියක් නෙමෙයි. හැම ව්‍යාප්ති නිලධාරියෙක්ම තමාගේ කොට්ඨාසයෙන් ධාන්‍ය පැකට් සියයක්, කුකුල් පැටව් සියයක් වෙළෙඳ පොළට දාන්න ඕනෑ.

මම පදවියේ වැඩ කරන කාලේ තරුණ ගොවි සමිතියක් පිහිටෙව්වා. පදවිය ජනපදයේ ජීවත්වුණේ ලංකාවේ හතරදිග් භාගෙන් ආපු මිනිස්සු. ඉන් භාගයක්ම කුඹුරුවැඩ දන්නේ නැ. මම එයාලට නඟුලෙන් හාන හැටි ඉගැන්වුවා. ඒ විතරක් නෙමෙයි පදවියේ මුස්ලිම් ඇත්තන්ට එළදෙනුන්ගෙන් කිරි ගන්න හැටි උගන්නන්ඩත් වුණේ මට. පදවිය සුදුමුඩ්ඩ, තෙන්නමරංවාඩි,, කල්වරෙයි, කුච්චවේලි, ගම්වල දෙමළ මුස්ලිම් මිනිසුන්ට හරක් දහස් ගණන් ඉන්නවා. ඉස්කෝල මහත්තයෙකුත් එක්ක මම ඒ ගම්වලට ගියා. කිරි ගන්න හැටි ඉගැන්වුවා.

මම ඉතාමත් සතුටින් හදවතට අවංකවම මේ රස්සාව කළා. අනේ වැඩිකල් ගියේ නෑ ප්‍රේමදාස මහත්තයගෙ ආණ්ඩුවෙන් කෘෂි ව්‍යාප්ති අංශ වහල දාලා අපි ඔක්කොම ග්‍රාම නිලධාරි කළා. ඉතින් තියෙන්නෙ සහතික දි දී ගෙදරට වෙලා ඉන්ඩයි. පරිපාලන නිලධාරි රස්සාවක් හම්බවුණාට මොකද ගොවියො අපෙන් ඈත් වුණා.

1969 රජරට සේවය පටන් ගත්තට පස්සෙ කටහඬ පරීක්‍ෂණයකින් පස්සේ කථික, ශිල්පි පිටපත් රචක යන අංශ තුනටම මාව තෝරා ගත්තා. ගුවන් විදුලි ක්‍ෂේත්‍රයේ අති දක්‍ෂයන් වූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ප්‍රේමකීර්ති ද අල්විස්, ගුණදාස කපුගේ, සුදර්මන් සිල්වා, ඩී. එස්. දයාරත්න වැනි ශිල්පින්ගේ ඇසුර ලැබුණා. විශේෂයෙන් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් එයාගේ නාට්‍යවලට මාව සම්බන්ධ කර ගත්තා. ඒ නාට්‍ය හරහා රසිකයන්ට අපි ඉතාමත් සමීප වුණා.

දවසක් මම වාරියපොල මඟුල් ගෙදරකට ගියා. මඟුල් ගෙදරට පෙරදා රාත්‍රියේ මං ඒ ගෙදරට යන්ඩ පිටත් වුණා. හන්දියෙන් බැහැලා කරුවලේම මම නෑදෑ ගෙදරට යනවා. මම පිටිපස්සෙන් ගමේ කෙල්ලො ;කාල්ලො කට්ටියක් රෙඩියෝවකුත් හරි සද්දෙට දාගෙන එනවා. එයාලා මේ ගම්මැද්ද නාට්‍යය අහ අහා තමයි යන්නේ. මම රජරට සේවයේ හේරත් එප්පාවල ඒ නාට්‍යයේ පිටපත මගේ කියලා එයාලට කිව්වා. කට්ටියම මාව වටකරගෙන මඟුල් ගෙදරට එක්කන් ගිහින් මනාලයට යි මානලියටයි වඩා මට සැලකුවා.

රජරට සේවයේ වැඩසටහන් කරන්න අපි ගම්වලට යනවා. දවසක් කළුආරච්චිය ගමටත් ගියා. ගමේ ගෙදරකයි පටිගත කළේ. අත්ටැක්ටර් තුනක් තුන් පැත්තකින් ලයිට් ගහල අපිට එළිය දුන්නා. දැන් වැඩේ පටන් ගන්න ඔක්කොම ලෑස්තියි. මම මයික් එක ගත්තා. මයික් එක ඔන් කළා විතරයි මෙන්න අලියෙක් පිම්බා. මයික් එකෙන් සද්දෙ වැඩියෙන් ඇහුණා.

බලනකොට අලි දෙන්නෙක් ගේට්ටුව ළඟ බලන්ඩ ආපු අයයි අපේ ශිල්පීන් කණ්ඩායමයි මුළු ගම දෙවනත් කරමින් කෑගැහුවා. ඒත් අලි දෙන්නා නෙමෙයි හෙල්ලුනේ. මුන් දෙන්නා යන පාටක් නැති හින්දා අලි දෙන්නගේ කල්ක්‍රියාව බලන්ඩ ගේට්ටුව කිට්ටුවෙන් දෙන්නෙක් තියලා කවුරුත් සන්සුන් කරලා අපි ආයෙත් පටන් ගත්තා. කාගෙත් හිතේ බිය නැති කරන්ඩ මම හිටිවන කවියකින්ම වැඩේ පටන් ගත්තා.

හරි ලස්සට ඇවිදින් ඇති අලි රෑන
කරගෙන වගෙයි අද මේ ගම රජ දහන
රෑ කල බලන්නෑ හදවත බිය ගේන
උදේට ගණන් කරනවා බෙටි ගාන

වල් අලියා පිඹපු හඬ, කට්ටිය බියෙන් කෑගහපු හඬ, මගෙ හිටිවන කවිය පටිගතවුණු තැටිය අදටත් රජරට සේවයේ තැටි ගබඩාවෙ තියෙනවා.

එක්දහස් නවසිය පනස් ගණන්වල ඩී. එස්. සේනානායක මහත්තයා කටියාය ජනපදය හැදුවා. ඒත් එක්කම අපි දැකපු පැරැණිගම වෙනස් වෙන බවට ලකුණු පහළ වුණා. මේ වන විට මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගේ ගම් පෙරළිය නව කතාව කියවලා තිබුණා. ඒ නවකතාවේ පසුබිම පැරැණි ගම ගැන හොයන්ඩ මාව දිරිමත් කළා.

මගේ ඥාති රන්හාමි කිරිඅක්කා ලෙඩ්ඩුන්ට හොඳට නූල් බඳිනවා. ගැට හතක් ගහන්ඩ උන්දැ ශත 25 ක් ගත්තා. ගැට තුනට ශත 10 යි. මම කිරි අක්කා ළඟට කිට්ටු වෙලා ගැටේ රහස ඇහුවා. වෙලාවකට උන්දා මට බැනලා එළවා ගන්නවා. මම පසුබැස්සේ නෑ.

තවත් දවසක එප්පාවල තලාකොළවැව අයියනායක දේවාලෙට යනවා. තව දවසක වින්නඹු අම්මා හොයාගෙන යනවා. එහෙම ගිය මොහොතක ගමේ වින්නඹු අම්මා අපූරු කවියක් කිව්වා.

සාර මසට ඇත දරුවා පිළිසිඳිලා
චිත්‍ර රුවට ලමැදේ ගෝමර ඉසිලා
ගස්සා වෙයි නෙළුවොත් පන් විල බැහැලා
එපා කිව්වේ හිමි මට බැනලා

මේ වාගේ ජන ජීවිතයේ සියලු පුරුෂාර්ථ වටිනාකම් හොයාගෙන මම ගම් ගම් වල ඇවිද්දා. කුඹුරේ කෙම්ක්‍රම, ශාන්ති කර්ම, මේ හැමදේකම අගමුල මම හෙව්වා. කෙම් ක්‍රම ගැන බොහොමයක් තොරතුරු මං දැන හොයා ගත්තේ මගෙ අප්පච්චිගෙන්.

ජනශ්‍රැතිය ගැන මා සොයාගත් තොරතුරු ඇතුළත්කර අත් පිටපත් හත්සීයක් විතර සකස් කළා. ඒවා මුද්‍රණයට ඔන්න මෙන්න තියෙද්දී මගේ බිරියගේ මළ ගෙදර දවස්වල ඒවා නැතිවුණා.

මගෙ ජිවිතේ මං අතිශය කම්පනයටත් වේදනාවටත් පත්වුණේ බිරියගේ වියෝවෙන්. මගේ බිරිය මට මුණ ගැහුණේ පානියංකඩවල කෘෂි ව්‍යාප්ති නිලධාරි ලෙස කටයුතු කළ කාලයේ. මම ඇයගේ පියාගෙන් කෘෂිකාර්මික තොරතුරු ලබා ගන්න යද්දී තමයි හිතවත්කමක් ගොඩ නැඟුණේ. ඊට පසුව අපි විවාහ වුණා. අපට පුතෙක් ඉන්නවා. මගේ බිරිය හදිසි අනතුරකින් මිය ගියා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා