නව සිනමා ප්‍රබෝධය

නව සිනමා ප්‍රබෝධය

යාපා

1960 දසකයේදී නාට්‍ය කලාවේ, සිනමා කලාවේ හා සාහිත්‍යයේ ඉමහත් ප්‍රබෝධයක් දක්නට ලැබිණ. ඇත්තෙන් ම මේ ස්වර්ණමය අවධියකි. සුගතපාල සෙනරත් යාපා සිනමාකරුවකු වන්නේ 1960 දසකයේ අග භාගයේදී ය. එහෙත් ඊට වසර ගණනාවකට පෙරාතුව ම ඔහු නාට්‍ය කලාව හා එක්ව සිටි බවත්, සිනමාවට ද සම්බන්ධ වූ බවත් රහසක් නොවේ.

1960 දශකය තුළදී වඩාත්ම ක්‍රියාකාරී සංස්කෘතික සංවිධාන අතර “කලා පෙළ” ට හිමිවන්නේ ප්‍රමුඛත්වයකි. සැබැවින්ම “කලා පෙළ” වේදිකා නාට්‍ය, සිනමාව, සාහිත්‍ය, චිත්‍ර කලාව, මූර්ති ශිල්පය විවිධ ප්‍රමාණයෙන් විෂය කර ගත් ප්‍රමුඛ සංස්කෘතික සංවිධානයක් වේ. මෙහි නිර්මාතෘ ප්‍රකට කලාකරු ජී. ඩී. එල්. පෙරේරා යි. සුගතපාල සෙනරත් යාපා මෙහි උද්‍යෝගිමත් සාමාජිකයෙකි.

”කලා පෙළ” පෙරට ආවේ වේදිකා නාට්‍ය ගණනාවක් ම නිෂ්පාදනය කරමිනි. පසුකාලීනව එනම් 1960 දශකයේ මැද භාගයේ දී “කලා පෙළ” සිනමාවට ද අවතීර්ණ විය. එය ලාංකික සිනමා කලාව පොහොසත් කරවන අභිනව සිනමා ධාරාවකට මඟ පෑදූ ප්‍රයත්නයක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මේ ප්‍රවණතාව නියත වශයෙන් ම 1970 දශකයේ වර්ධනීය අවස්ථා හා අවියෝජනීයව බැඳී තිබිණ.

”කලා පෙළ” නිෂ්පාදනය කළ ජී. ඩී. එල්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ ප්‍රථම වෘත්තාන්ත සිනමා පටය වූයේ වර්ෂ 1965 දී මුල් වරට ප්‍රදර්ශිත “සාමා” යි. “සාමා” සිනමා පටයට පසුබිම සැකසූවන් අතර සුගතපාල සෙනරත් යාපා ප්‍රමුඛයෙකි.

ජී. ඩී. එල්. පෙරේරා වර්ෂ 1960 දී නිෂ්පාදනය කළ “සාමා” වේදිකා නාට්‍යයයි. “සාමා” සිනමා පටයට පාදක කර ගනු ලැබුවේ සුගතපාල සෙනරත් යාපා “සාමා” වේදිකා නාට්‍යයේ ප්‍රමුඛ චරිතයක් නිරූපණය කළ බවද මෙහිදී සිහිකළ යුතු ය.

”කලා පෙළ” සත්වැනි සංවත්සර සභාව පවත්වනු ලැබුවේ වර්ෂ 1962 අප්‍රේල් මස වැලිකඩ – රාජගිරියේ. සාමාජික සාමාජිකාවෝ තිස් දෙනෙකු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. සමලේකම් ධුරය දැරුවේ සුගතපාල සෙනරත් යාපා යි. සංවත්සර උළෙලේ ස්තූ®ති කතාව පවත්වනු ලැබුවේ ඔහු ය. එතැනදී ඔහු ඉදිරිපත් කළ අපූරු යෝජනාවකි. එනම් “කලා පෙළ” සිනමා පටයක් ද නිර්මාණය කළ යුතු බව ය.

සිනමා පටයක් නිර්මාණය කිරීමට අවැසි මූල්‍යමය ශක්තියක් ඒ වන විට “කලා පෙළ” සතුව නොතිබිණ. “කලා පෙළ” සතු වූයේ නොපසුබට උත්සාහයත්, අධිෂ්ඨාන ශක්තියත් ය. කෙසේ වෙතත් රුපියල් 250 ක මුදලක් අතැති ව ජී. ඩී. එල්. පෙරේරා “කලා පෙළ” සමඟ “සාමා” සිනමා පටයේ වැඩ කටයුතු ආරම්භ කළේ සුගතපාල සෙනරත් යාපා ද සක්‍රීය දායකත්වය ලබා ගනිමිනි. ඔහු “සාමා” සිනමා පටයේ ද චරිතයක් නිරූපණය කළේ ය.

”පරසතුමල්”, “සත් සමුදුර”, “දහසක් සිතුවිලි”, “මොකද වුණේ ”, “බක්මහ දීගේ”, “තුං මං හන්දිය” හා “නිම් වළල්ල”, “සාමා” ඇතිකළ ප්‍රබෝධයේ පසුකාලීන වර්ධනීය අවස්ථා අතරට එක්වන සිනමා පටයි. මෙහි කූටප්‍රාප්තියක් සේ සැලකෙන්නේ සුගතපාල සෙනරත් යාපා ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමාපටය වන වර්ෂ 1969 දී මුල් වරට සිනමා ශාලාවක ප්‍රදර්ශනය කළ “හන්තානේ කතාව“ ය. ඉන් කියැවෙන්නේ ඔහු 1960 දසකයේ නව සිනමා ප්‍රබෝධයට සවිඥානකවම දායක වූ, ඉනික්බිතිව එය ඉහළට ඔසවා තබනු පිණිස ප්‍රායෝගිකව ම පෙනී සිටි දැවැන්තයකු වන බවයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා