රත්තරන් මංජු !

රත්තරන් මංජු !

පගේ සිතිවිලි, හැඟීම් හා බුද්ධිය බොක්සිං වළල්ලක් ළඟ නැවතිණි. හැම තත්පරයක්ම තීරණාත්මක ය. දෑස් කඩාගෙන යන විදුලි ආලෝකය අතරින් රතු පැහැය හා නිල් පැහැය දිළෙන්නට විය. රතු පැහැයෙන් ශ්‍රී ලංකාවේ මංජු ද, නිල් පැහැයෙන් වේල්සයේ ෂෝන් ද කරට - කර තරගයක නියැලී උන් හ. ඔවුන්ගේ දෑත් විදුලි වේගයෙන් ක්‍රියාත්මක අතර මොළය හා දෑස ප්‍රතිමල්ලවයාගේ දුර්වලතාවක් සොයමින් ගැඹුරු නිරීක්ෂණයක යෙදිණි. පළමුවටය පහරට - පහර තරගයෙකි. දෙවන වටයේ ෂෝන් ඉදිරියට ගියේ ය. තෙවන වටයේ නැවත මංජු ඉදිරියට ගියේ ය.

කන්ද උඩරටින් බොක්සිං වළල්ලට පිවිසි මංජුල දිනේෂ් කුමාර වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ බොක්සිං ඉතිහාසය වෙනස් කෙළේ ය. හෙතෙම වසර හැත්තෑ දෙකකට පසු බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නේ ය. අපරදිග බිහි වී එහි ම තාක්ෂණයෙන් පෝෂණය වූ බොක්සිං ක්‍රීඩාව ශ්‍රී ලංකාවට ආධුනික වේ. එහෙත් ඉවසීම, පුහුණුව, බුද්ධිය යන ගුණාංග පෙරටු කොට අධිෂ්ඨානයෙන් සටන් වැදුණු මංජු වන්නිආරච්චි වේල්සයේ කඟවේනකු බඳු ආක්‍රමණශීලී ක්‍රීඩක ෂෝන් මැක්ගෝල්ඩ්‍රික් පරාජය කෙළේ ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ දහනව වන ක්‍රීඩා උළෙලෙහි කි. ග්‍රෑ. 56 බැන්ටම් වේට් රන් කිරුළ මංජු විසින් දිනා ගන්නා ලදී.

මේ ජයග්‍රහණය පසුපස අපූරු යථාර්ථයක් තිබේ. ඒ මංජු වන්නිආරච්චි නම් ක්‍රීඩකයා රට වෙනුවෙන් කළ කැපවීම ය. මංජුගේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට විශේෂ කීර්ති නාමයක් ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයේ මෙවර ක්‍රීඩා උළෙලහි දී අප ලබාගත් එක ම රන් පදක්කම ද එය වේ. ශ්‍රී ලංකාවට පමණක් නො ව දකුණු ආසියාවට ම මේ රන් පදක්කම වටී. තරගයේ තුන්වන වටය ආරම්භ වෙත් ම ඉන්දීය ක්‍රීඩාලෝලීහු ශ්‍රී ලංකා ! ශ්‍රී ලංකා ! යනුවෙන් මංජු දිරිමත් කරන්නට වූහ. ඉන්දියාව අපගේ අසල්වැසියා ය. ඒ හැඟීම මේ තරගයේ දී කදිමෙට නිරූපණය වී තිබේ. මංජු මුල සිට ම පොරොන්දුවක් දී තිබිණි. එනම් ; කෙසේ හෝ තම මව්බිමට රන් පදක්කම ලබා දෙමි යන්න ය. එම පොරොන්දුව දැන් යථාර්ථයක් වී තිබේ.

මංජුගේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයා දුරකථනය ඔස්සේ ඔහු ඇමැතී ය. එතුමාගේ ගාම්භීර හඬ කන වැකෙත් ම මංජුගේ දෑස් කඳුළින් තෙත්විණි. “මංජු ඔබ විශිෂ්ටයි !” ජනාධිපතිවරයා කියා සිටියේ ය. මෙවන් අවස්ථාවක දී ක්‍රීඩකයන් දිරි ගැන්වීම නායකයන්ගේ යුතුකම ය. මහින්ද රාජපක්ෂ මහතා හැම අතකින් ම පාහේ ක්‍රීඩාවට කැමැති ය. මෑතක සිට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි අලුත් ගැම්මක් පටන් ගෙන තිබේ. එහි ප්‍රතිඵල මංජු වන්නිආරච්චි, චින්තන විදානගේ, සුදේශ් පීරිස් වැනි ක්‍රීඩකයන් වෙතින් දැක ගත හැකි ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ මෙවර ක්‍රීඩා තරගවලදී සෑම ඉසව්වකින් ම ශ්‍රි ලංකාව ජයග්‍රහණය කර නැතත් ; විශිෂ්ට දස්කම් දක්වා ඇති බව අභිමානයෙන් යුතු ව සඳහන් කළ යුතු ය.   

බොක්සිං වැනි ක්‍රීඩාවකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් ලබනුයේ කලාතුරකින් ය. අපරදිග දැවැන්ත රටවල බොක්සිං ක්‍රීඩාව පවතින්නේ වෘත්තීය මට්ටමෙන් ය. ශ්‍රී ලංකාවෙහි තව ම එවැනි තත්ත්වයක් නැත. එහෙත් 1938 දී සිඩ්නි නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගවල දී බොක්සිං ක්‍රීඩාවෙන් රන් පදක්කමක් ලබන්නට ශ්‍රී ලංකාවේ බාන් හෙන්රික්ස් සමත් විය. 1950 ඔක්ලන්ඩ්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගවල දී බොක්සිං ක්‍රීඩාවෙන් රිදී පදක්කම් දෙකක් දිනා ගන්නට ශ්‍රී ලංකාවේ ඒ. පෙරේරා හා කේ. එඩ්වින් යන දෙදෙනා සමත් වූහ. ඔලිම්පික් තරගාවලියක දි මොහොමඩ් අලි සමඟ තරග වැදුණු ක්‍රීඩකයෙක් ද ශ්‍රී ලංකාවේ සිටියේ ය.

ශ්‍රී ලංකාව කුමන ක්ෂේත්‍රයකින් හෝ දුප්පත් නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම අදහස නිතර කිය යි. අපගේ සමාජය දැනුමෙන් හා නිපුණතාවයෙන් සවිමත් ය. ආර්ථික අතින් දැවැන්ත රාජ්‍යයන් ඉදිරියේ දනින් වැටෙනවාට වඩා කරට - කර තරගයක් දී පරාජය ලැබීම වුව වැදගත් ය. අපට ලෝකය පුරා කීර්තිමත් නාමයක් ඇති බව අවබෝධ කර ගැනීම වැදගත් ය. අපට විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන දුන් මංජු වන්නිආරච්චි සෑම ක්‍රීඩා තරගයකට ම පෙර ජය පිරිත සජ්ඣායනා කර තිබේ. ඒ අපගේ අනන්‍ය ලකුණ ය. ඉන්දියාවේ නවදිල්ලි නුවර තල්කතෝරා ක්‍රීඩාංගණය පුරා අපගේ ජාතික ගීය නිංනාද විය. ඒ අලුත් ගමනක අලුත් ආරම්භයක් සේ සටහන් කළ හැකි ය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙහි ප්‍රධාන රාජකීය අමුත්තා ලෙස සහභාගි වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. එය ඉන්දියාව විසින් අපට ලබා දෙන ලද විශේෂ ගෞරවයක් ලෙස සැලකිය හැකි ය. ලෝකයේ විශිෂ්ට නායකයකු සතු සියලු හැකියාවන් හා පරිපූර්ණතා මහින්ද රාජපක්ෂ මහතාට තිබේ. ඒ සියල්ලට ම වඩා අසල්වැසි ඉන්දියාවේ හොඳ හිත හා අන්‍යෝන්‍ය විශ්වාසය අපට වටී. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වන රටවලින් බොහොමයක් අද දියුණු තත්ත්වයේ පවතී. එම රටවල් අතර පවතින බැඳීම හා සහයෝගය ඉදිරියටත් රැගෙන යෑම අතිශය වැදගත් වේ. මේ තරගාවලියේ සත්කාරක රාජ්‍යය ලෙස ඉන්දියාව උපරිමයෙන් තම යුතුකම ඉටු කර තිබේ. ඒ ගැන ශ්‍රී ලංකාව ද සතුටු විය යුතු ය.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ සියලුම ක්‍රීඩක - ක්‍රීඩිකාවනට අපගේ සුබ පැතුම් පිරිනැමිය යුතු ය. මේ තරගාවලියේ ජයග්‍රාහී රාජ්‍යය හා අප අතර පරතරයක් තිබෙන්නට පුළුවන. එහෙත් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණවලින් පෙන්නුම් කරනුයේ අප දුර්වල නැති බව ය. ඊට කදිම නිදසුන මංජු වන්නිආරච්චි ය. වයස අවුරුදු හතේදී පමණ බොක්සිං ක්‍රීඩාවට පිවිසි ඔහු මේ වන විට අන්තර්ජාතික ජයග්‍රහණ රැසක් ලබා තිබේ. ඔහුගේ දැන් වයස අවුරුදු තිහකි. ඔහු අතින් මෙවර පරාජයට පත් වුයේ අවුරුදු දහනවයක් වයසැ’ති එහෙත් බටහිර ලෝකයේ නම තැබු බොක්සිං ක්‍රීඩකයෙකි.

මංජු අපට ලබා දෙන වැදගත් ම උපදේශනය වනුයේ ඉවසීමෙන් හා බුද්ධියෙන් ඉලක්ක ජය ගත හැකි බව ය. එය ක්‍රීඩකයාට පමණක් නො ව දේශපාලනයට ද කදිම පාඩමෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා