විචිත්‍රවත් සමාප්ත උළෙලකින් පොදු රද මඩුලු ක්‍රීඩා නිමා වෙයි

විචිත්‍රවත් සමාප්ත උළෙලකින් පොදු රද මඩුලු ක්‍රීඩා නිමා වෙයි

නෙතට රසදුනක් බදුවූ විචිත්‍රවත් සමාප්ති උළෙලක්ද සමඟ 19 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉන්දියාවේ නවදිල්ලි නුවර ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්විය. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෞරවනීය ආරාධිතයා වූ සමාප්ති මහෝත්සවය ඉන්දීය අගමැති මන්මෝහන් සිං, ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියේ සංවිධාන කමිටු සභාපති මයික් ෆෙනෙල් යන මහත්ම මහත්මීන් ඇතුළු 60000 ක පිරිසක් ඉදිරියේ චමත්කාර ලෙස පැවැත්වුණි.

තරගාවලිය සංවිධානය ගැන මාධ්‍ය මගින් විවිධ ප්‍රචාරගෙන ගියද ආරම්භක හා සමාප්ති උත්සව මනා ලෙස සංවිධානය කිරීමෙන් ඉන්දියාව විශාල ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට සමත්විය. තරගාවලියට පැවැත්වීමට පෙර විවේචනයේ යෙදුනු මාධ්‍ය සමාප්ති උළෙලේ විචිත්‍රත්වය ගැන වර්ණනා කළහ. පැය 3 ක් පුරා පැවැති සමාප්ති උළෙල භාරත දේශයේ ඉතිහාසය නිරූපනය කළේය. ක්‍රීඩාංගණය මැද මීටර් 30 ක් ඉහළ අහසේ රැදවූ ලොව විශාලතම හීලියම් බැලුණය වරෙක දැවැන්ත දර්ශන තිරයක් වූ අතර කැමරා උපකරණ විදුලි බුබුළු සවිකළ ආධාරකයක්ද විය.

රටවල් 71 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආචාර පෙළපාලියේ ගමන් ගනිද්දී නැගුණු ඔල්වරසන් හඬ හැඟීම්බර සතුටක් ඇති කළේය. ශ්‍රී ලංකා පිල ගමන් ගනිද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආචාර කළහ.

ලේසර් ආලෝක සංදර්ශනය ලොව මෙතෙක් ඉහළම ගනයේ නිර්මාණයක් බඳුය. වරින් වර ක්‍රීඩාංගණය දසතින් ගුවනට විහිඳුණු මල්වෙඩි සංදර්ශනය හා පාසල් සිසුන් 2000 ක් ඉන්දීය ධජය නිරූපණය වනසේ පැවැත්වූ රංගනය අපූර්ව එකකි. ඉන්දීය ඉතිහාසයේ වසර 3000 ක් පැරැණි සටන් කලා දර්ශන සියලු හමුදා ඒකාබද්ධව පැවැත්වූ තූර්යවාදක සංදර්ශනය උළෙල අර්ථවත් කළහ.

මීළඟ පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නගරයට බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු ධජය භාරදීම සිදුවිය. නැටුම් ගැයුම් පිරි සමාප්ති උළෙල නිමාවූයේ “ආයුබෝවන් නවදිල්ලි” ඛ්සිදා අමතක නොවන සටහනක්ද තබමිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ආචාර පෙළපාලියේ ගමන් ගත් අයුරු.
ජායරූපය-පි‍්‍රන්ස් ගුණසේකර

රටවල් 71කින් ශ්‍රී ලංකාවට 20 වැනි තැන

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී රටවල් 71 ක් අතුරින් ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකාවට රන් පදක්කම් 1 ක්, රිදී පදක්කම් 1 ක් හා ලෝකඩ පදක්කම් 1 ක් හිමිවිය. රන් පදක්කම බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි, රිදී හා ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චිංතන ගීතාල් විදානගේ, සුදේෂ් පීරිස් බර ඉසිලීමෙන් දිනා ගත්හ.

මේ තරගාවලියේ ප්‍රථම ස්ථානය ඔස්ට්‍රේලියාව (රන් 74, රිදී 55, ලෝකඩ 48) දිනාගත් අතර සත්කාරක ඉන්දියාව (රන් 38, රිදී 27, ලෝකඩ 36) දෙවැනි තැනට පත්විය. ඉන්දියා පදක්කම් 101 ක් දිනා ගැනීම කැපී පෙනුණි. තරගාවලිය ආරම්භයේදීම ඉන්දියාව පදක්කම් 100 ක් දිනාගන්නා බවට බලාපොරොත්තු පළකරමින් කළ අනාවැකිය තහවුරු කිරීමද සැලකිය යුතු කරුණකි. ඉන්දියාව 2006 මෙල්බෝන් තරගාවලියේදී සිවුවැනි තැන සිටි අතර මෙවර එංගලන්තය හා කැනඩාව පසු කිරීමට සමත්වීම ඉන්දීය ක්‍රීඩාවේ සැලසුම් සහගත ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකාව 2006 දී 22 වැනි ස්ථානයේ සිට මෙවර 20 වැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකාවට 2006 දී හිමිවූයේ බර ඉසිලීමෙන් රන් පදක්කම පමණි. මෙවර පදක්කම් 3 ක් සේම ශ්‍රී ලංකා වාර්තා කිහිපයක් ශ්‍රී ලංකාවෙන් බිහිවිය. මීටර් 1500 තරගයේදී චමින්ද විජේකෝන් (වි. 3:40:78) මීටර් 200 නිදහස් ආර තරගයේ දී මැතිව් අබේසිංහ (වි. 1:56:23), මීටර් 100 පසුපස ආර තරගයේ දී හේෂාන් උනම්බුව (තත්. 59.35), නව ශ්‍රී ලංකා වාර්තා බිහිකළහ.

බර ඉසිලීමේදී කිලෝග්‍රෑම් 56 බර පන්තියෙන් කමල් බණ්ඩාර කිලෝග්‍රෑම් 233 ක් එසැවීම හා කිලෝ ග්‍රෑම් 62 බර පන්තියෙන් සුදේශ් පීරිස් කිලෝග්‍රෑම් 272 ක් එසැවීමද නව ශ්‍රී ලංකා වාර්තා වූහ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු මේ තරග වාරයේ හොඳම කාලය වාර්තා කිරීමට සමත්වූහ. ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ආසියානු රටවලින් 5 වැනි ස්ථානයටත් දකුණු ආසියාවෙන් 3 වැනි ස්ථානයටත් පත්ව සිටී. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද පෙරවරු 10.20 ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් මවුබිමට ළඟාවීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා