අද විපක්ෂයේ එකම ගැලවීම ෆොන්සේකායි

අද විපක්ෂයේ එකම ගැලවීම ෆොන්සේකායි

විජිත් විජයමුනි සොයිසා
බන්ධනාගාර හා පුනරුත්ථාපන නියෝජ්‍ය ඇමැති

න්ධනාගාර වල ප්‍රමිතය, රැඳවියන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කරන ආකාරයත් ඒ සඳහා ඇති ඉදිරි සැලැසුම් හා කාලීන දේශපාලන කරුණු පිළිබඳ නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

* බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යංශය මඟින් ඉටුකරනු ලබන වගකීම් පිළිබඳ මූලික හැඳින්වීමක් කළ හැකිද?

බන්ධනාගාරය කියන ක්‍ෂේත්‍රයේ ප්‍රශ්න පිළිබඳ මෙතෙක් පැවැති කිසිම රජයක් ඍජු අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළත්, රැඳවියන් අතරත් විවිධ ප්‍රශ්න තිබුණේ. ඒත් ඒ ප්‍රශ්න පිළිබඳ විසැඳුමක් ලබා දීමට කිසිදු හැකියාවක් ලැබුණේ නැහැ. එයට විවිධ හේතු බලාපාන්න ඇති. ඒත් එය එසේ යැයි කියා අපට අහක බලාගෙන සිටීමට හැකියාවක් නැහැ. අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අලුත් ගමනක් ආරම්භ කර තිබෙනවා.

එයට රුකුලක් විදිහට තමයි බන්ධනාගාර හා පුනරුත්ථාපන කියලා අලුත් අමාත්‍යංශයක් ආරම්භ කළේ. බන්ධනාගාර රැඳවියන් මුල් කරගෙන ඇති වී තිබෙන ප්‍රධාන ප්‍රශ්න තමයි ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරවීම, අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉඩකඩ මදිකම, වැනි ප්‍රශ්න රාශියක් උද්ගතවෙලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මණ්ඩල ප්‍රඥාප්තිය තුළත් බන්ධනාගාර රැඳවියන් පිළිබඳත් සඳහන් කර තිබෙනවා. ඒ නිසා තමයි අපේ අවධානය අමාත්‍යංශයක් විදිහට යොමුවෙලා තිබෙන්නේ.

ඒත් අද මේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව බන්ධනාගාර මෙතෙක් නිර්මාණය වී නැහැ. අපි අමාත්‍යාංශයක් විදිහට මෙම අඩුපාඩු අවම කිරීමට කටයුතු කරනවා. සිරකරුවන් අපට භාර දෙන්නේ විශෝධනය කිරීමටයි. ඒ සඳහා අප විවිධ සැලැසුම් නිර්මාණය කර තිබෙනවා. පුද්ගලයකු විශෝධනය කිරීම තමයි කෙනෙකු සිරගත කිරීමේ අරමුණ වී තිබෙන්නේ. සාමාන්‍ය සිරකරුවෙකුට අඩි දහයක් උස අඩි, හයක් පළල, අඩි නවයක් දිග ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. එය තමයි නියමිත ප්‍රමිතිය. ඒත් අද මෙම ප්‍රමිතිය කෙතරම් දුරට තිබෙනවාද කියලා විමසා බැලිය යුතුයි.

* බන්ධනාගාර අමාත්‍යංශය හරහා සිරකරුවන්ට අනවශ්‍ය සැප පහසුකම් ලබා දෙනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා..?

සිරකරුවන් මනුෂ්‍යයෝ කියන මතයේ තමයි අප සිටින්නේ. සිරකරුවෙක් අපට භාර දුන්නාම ඔවුන්ගේ වටපිටාව පිළිබඳ පවුල පිළිබඳ, ඔහු කළ වරද පිළිබඳ , සමාජයේ හැසිරෙන්න ඕනෑ ආකාරය පිළිබඳ, උගත්කම ගැන ඔහුට රැකියාවක් කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන සොයා බලා තමයි පුනරුත්ථාපනය කර යහපත් පුද්ගලයකු බවට සමාජගත කරන්නේ. එය තමයි අපේ අරමුණ වෙලා තිබෙන්නේ.

* ඔබ එසේ ප්‍රකාශ කළත් බන්ධනාගාරවල තිබිය යුතු බොහෝ පහසුකම් තාමත් නොලැබී ගොස් ඇතැයි චෝදනාවක් එල්ල වෙනවා. මේ පිළිබඳව ඔබේ මතය කුමක් ද?

බන්ධනාගාර රැඳවියන් විසිහත් දහසක් සිටිනවා. ඒ අතරින් සියයට පනහක් පමණ නිදහස් වුවත් යළිත් වැරැදි කරලා බන්ධනාගාරයට එනවා. එයට හේතුවෙලා තිබෙන්නේ වෙන දෙයක් නෙමෙයි. අපේ යුතුකම් නිසි විදිහට ඉෂ්ට නොකිරීමයි. සුළු අපරාධ කරුවන් කාලයක් ගත වෙද්දී මහා අපරාධකරුවන් වෙනවා. මත්ද්‍රව්‍ය ගෙන හිරේට ආව පුද්ගලයන් කාලයක් යද්දී මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක් වෙනවා. මෙහි වගකීම් අප විෂය භාර ඇමැතිවරු විදිහට භාරගත යුතුයි.

* සිරකරුවෙකු නඩත්තු කරන්න දිනකට විශාල මුදලක් වියදම් වෙනවා. සමහරු වෙලාවට සිරකරුවෙකු ගෙවන දඩ මුදලටත් වඩා විශාල මුදලක් ඔහුව නඩත්තු කරන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වියදම් වෙනවා..?

එක් රැඳවියෙක් බන්ධනාගාරයක් තුළ දිනයක් නඩත්තු කිරීමට රුපියල් දෙසිය පනහක් පමණ වියදම් වෙනවා. මම කියන්නේ හිරේ ආපු මිනිහගෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි කියලා. සෑම රැඳවියෙක් තුළම කිසියම් දක්ෂතාවයක් සැඟවිලා තිබෙනවා. අප ඒ පිළිබඳව අවධානය යොමුකොට කටයුතු කළ යුතුයි. අප උදාහරණයකට ගනිමු සක්විති රණසිංහ බන්ධනාගාරයට පැමිණියා කියලා. ඔහුට ඉංගී‍්‍රසි ඉගැන්වීමට දක්ෂතාවයක් තිබෙනවා. අපට පුළුවන් ඔහුගේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට

ඒ වගේම සිරකරුවෙකු බන්ධනාගාරයෙන් එළියට යද්දී යම් මුදලක් ඔවුන් අතේ තිබිය යුතුයි. එහෙම වුණොත් තමයි බන්ධනාගාර රැඳවියා යළිත් සමාජගතවූ පසු අපරාධවලට යොමු නොවන තැනට කටයුතු සිදුවෙන්නේ. සමහර වෙලාවට දඩ මුදල් ගෙවීමට නොහැකි වීම නිසා පුද්ගලයන් සිරගත වූ අවස්ථා තිබෙනවා. මම එක් උදාහරණයක් කියන්නම්. මට මීගමුව බන්ධනාගාරයේදී එක් කාන්තාවක් හමුවුණා.

ඇය කල එකම වරද වෙන්නේ “ අයාලේ යාම” එම වරදට ඇයට පැන වූ දඩය රුපියල් එක් දහස් පන්සියයි. ඒත් ඇයට ඒ දඩ මුදල ගෙවන්න බැරි නිසා තුන් මසකට බන්ධනාගාරයට යනවා. මෙය තමයි බන්ධනාගාරවල සිරකරුවන් උතුරා යාමට මූලිකවෙලා තිබෙන හේතුව. අපි පින් තකා සත්තු නිදහස් කරනවා. ඒත් දඩයක් ගෙවා ගන්න බැරිව ඉන්න කෙනෙකු නිදහස් වෙන්න දඩයක් ගෙවනවානම් එයින් පිනක් වගේම ජාතික ආර්ථිකයටත් සේවයක් ඉටු කරන්න පුළුවන්.

* උතුරු නැඟෙනහිර තිබූ යුද වාතාවරණය තුළ අත්අඩංගුවට ගත් තරුණ රැඳවියන්ගේ ඉදිරි කටයුතු තීරණය වන්නේ මොන විදිහටද?

මේ වනවිට පුනරුත්ථාපන මධ්‍යස්ථාන එකොලහක හත්දහසකට අධික ප්‍රමාණයක් පුනරුත්ථාපනය වෙනවා. තවත් තුන්දහසකට කිට්ටු පිරිසක් පුනරුත්ථාපනයෙන් පසු නිදහස් කර තිබෙනවා. මෙම පුනරුත්ථාපනය වන අයට අවශ්‍ය වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර තිබෙනවා, වගේම තවත් පිරිසක් විවාහය සඳහා යොමු කර තිබෙනවා. මෙම රැඳවියන්ට ලබාදිය හැකි සහන මොනවාද කියලා අප ආරක්ෂක බලධාරින් සමඟ සාකච්ඡා කරනවා. පුනරුත්ථාපනය වන තරුණ තරුණියන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ඉතා ඵලදායි ලෙස මැදහත්ව කටයුතු කරනවා.

* බන්ධනාගාරවල ඉඩපහසුකම් මදි කියලා ඔබ මීට පෙර සඳහන් කළා. ඉතින් මේ බන්ධනාගාර පද්ධතිය පුළුල් කරන්න පුළුවන් නේද?

අප හැමවෙලාවේම අප උත්සාහ කළ යුත්තේ සිර ගෙවල් පුළුල් කිරීමට නෙමෙයි. දැන් අපගේ සැලැසුම වී තිබෙන්නේ සිර ගෙවල් වලට එන පිරිස නිදහස් වූ පසු යළිත් සිරගෙදරට ඒම වැළැක්වීමයි. එහෙම නැතිව සිර ගෙවල් පුළුල් කිරීම නෙමෙයි සිදුවිය යුත්තේ.

* සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාර ගතව ඇතත් ඔහුට අවශ්‍ය පහසුකම් නිසි ලෙස සලසා නැතැයි විපක්ෂය චෝදනා එල්ල කරනවා. බන්ධනාගාර විෂය භාර නියෝජ්‍ය ඇමැතිවරයා විදිහට මේ පිළිබඳව ඔබේ අදහස කුමක් ද?

විපක්ෂයට ඕනෑම චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. අද විපක්ෂයේ තමන්ගේ එකම ගැලවීම බවට පත්වෙලා තිබෙන්නේ සරත් ෆොන්සේකා මහතායි. අප බන්ධනාගාරය තුළ දී සරත් ෆොන්සේකා මහතාට අනෙක් සාමාන්‍ය සිරකරුවන්ට සලකන විදිහටයි සලකන්නේ. එතැන කිසිදු වෙනසක් නැහැ. අපට ඒ විදිහට ෆොන්සේකා මහතාටත්, සෙසු සිරකරුවන්ටත් විවිධ විදිහට සලකන්නේ නැහැ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සියලු රැඳවියන් සමානයි. ඔහුට බන්ධනාගාරය තුළ අවශ්‍ය ආරක්ෂාවත් තහවුරු කරළා තිබෙන්නේ. විපක්ෂය විවිධ මතවාද අදහස් ප්‍රචාරය කරන්න උත්සාහ කරනවා. සටන් පාඨ නැතිව අසරණවෙලා තිබෙන එජාපයටත් ජවිපෙටත් අද තිබෙන එකම ගැලවීමේ මාර්ගය වෙලා තිබෙන්නේ සරත් ෆොන්සේකා සාධකය බවට පත්වෙලා තිබෙන්නේ.

* ඒත් විපක්ෂය දිගින් දිගටම කියන්නේ යුද අධිකරණය නීත්‍යානුකූල නොවන ආයතනයක් කියලා. ඒ චෝදනාවල ඇත්තක් තියෙනවාද,...?

එම චෝදනාවල කිසිදු සත්‍යක් නැහැ. යුද අධිකරණය යුද හමුදා පනත යටතේ ස්ථාපිත වූ නිත්‍යානුකූල ආයතනයක්. ඒ නිසා සාමාන්‍ය අධිකරණයක් හා යුද අධිකරණයක් අතර වෙනසක් නැහැ. මේ තත්ත්වය නොදැන තමයි සමහරු යුද අධිකරණයට චෝදනා එල්ල කරන්නේ. විපක්ෂයත් මෙහි ඇත්ත තත්ත්වය දැක දැක ජනතාව මුලා කිරීමට ලොකු ප්‍රයත්නයක නියැලෙනවා.

ෆොන්සේකා මහතාට දඬුවම් කරළා තියෙන්නේ විධිමත් විදිහටයි. එතැන නීති විරෝධී තත්ත්වයක් දක්නට නැහැ. උද්ඝෝෂණය කිරීම මඟින් ෆොන්සේකා මහතාට නිදහස ලබා ගැනීමට කවුරුන් හෝ හිතනවා නම් එය මුලාවක් පමණයි. නිදහස අවශ්‍යනම් විධිමත් හා සම්ප්‍රදායික ක්‍රමයට පමණයි ඔහුට අවශ්‍ය නිදහස ලබා ගැනීමට පුළුවන් කම තිබෙන්නේ.

* එජාපය, ජවිපෙ ඇතුළු විපක්ෂය අදවන විට විශාල ලෙස බිඳවැටීමකට ලක්වෙලා තිබෙනවා. මෙයට මූලික හේතුව විදිහට දකින්නේ කුමක්ද?

මේ ගැන අප කණගාටුවට පත්වෙනවා. ඇත්තෙන්ම ආණ්ඩුවකට ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි. ඒත් අදවන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙන්නේ. එයට මුල්වෙලා තිබෙන්නේ විපක්ෂය තමන්ගේ ඡන්ද දායකයන්ගේ විතරක් නෙමෙයි මුළු රටේම ජනහද ගැස්ම තේරුම් අරගෙන නැහැ. ඒ නිසා තමයි පැයෙන් පැය මොහොතෙන් මොහොත එජාපයට තිබෙන ඡන්ද පදනම දියව යමින් තිබෙන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා