රට පුරා බීජ ගම්මාන 555ක් ස්ථාපිත කිරීමට සැළසුම්

රට පුරා බීජ ගම්මාන 555ක් ස්ථාපිත කිරීමට සැළසුම්

දිවයින පුරා පිහිටා ඇති ගොවි ජන සේවා මධ්‍යස්ථාන 555 ආවරණය වන පරිදි බීජ ගම්මාන 555ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇතැයි කෘෂි කර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඊ.කරුණාතිලක මහතා ‘ දිනමිණ’ ට පැවසීය.ගොවි ජනතාව ගුණාත්මක දේශීය බීජ නිෂ්පාදනයන් කෙරෙහි යොමු කරවීමේ අරමුණෙන් බීජ නිෂ්පාදන තාක්ෂණය ප්‍රදර්ශනය කෙරෙන ආදර්ශ ගම්මානයක් පිහිටුවීමට ද කටයුතු යොදා තිබෙන බවත් ඒ මහතා කීවේ ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අපනයන බෝග දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා ස්ථාපිත කර ඇති පර්යේෂණ ආයතන, පුහුණු මධ්‍යස්ථාන හා නිෂ්පාදන ගොවිපලවල් පදනම් කර ගනිමින් මේ ආදර්ශ ගම්මානය පිහිටුවන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය. මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් මෙරට කෘෂිකාර්මික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ අරමුණෙන් බීජ ගම්මාන පිහිටුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඉදිරි වසර තුනක (2011 - 2013) කාලය තුළ දිසාපතිවරුන්ගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු හරහා සියලු ගොවිජන සේවා කෘෂිකර්ම හා වාරිමාර්ග නිලධාරින්ගේ උපරිම සහාය ලබා ගනිමින් ඉලක්ක සපුරා ගැනීමට සැලසුම් කර ඇත. බීජ ගම්මාන ස්ථාපිත කිරීමට සමගාමීව මූලික බීජ නිෂ්පාදනය යටතේ ලියාපදිංචි බිත්තර වී සහ ලියාපදිංචි අතිරේක භෝග බීජ නිෂ්පාදනය උපරිම මට්ටමකට ගෙන ඒමේ වැඩ සටහනක්ද දියත් කෙරේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ නිෂ්පාදන ගොවිපලවල් උපරිම වශයෙන් ලියාපදිංචි බිත්තර වී නිෂ්පාදනය සඳහා යොමු කරවන අතර ලියාපදිංචි බීජ සහතික කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව ද්විතීක බිත්තර වී නිෂ්පාදනයට සහ සහතික බිත්තර වී නිෂ්පාදනයට ගොවි සංවිධාන හා ගොවින් වෙත ලබාදීමට පියවර ගනු ලැබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා