පතල් කරුවෝ 33 දෙනාම නිරුපද්‍රිතව මිහි මතට එති

පතල් කරුවෝ 33 දෙනාම නිරුපද්‍රිතව මිහි මතට එති

මුළු චිලියම සැනකෙළි සිරි ගනී

චිලියේ සැන් ජෝස් පතලේ හිරවුණු 33 දෙනාම අපේක්ෂිත කාලයටත් කලින් ඊයේ අලුයම වන විට මුදා ගැනුණු අතර එම ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පතලට බට ගැලවුම් සේවකයින් හය දෙනා ද ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙ. ව. 9.00 වන විට ගොඩ ඒමෙන් මෙම විස්මිත හා ආශ්චර්ය මත් ගැලවුම් මෙහෙයුම අවසන් විය. මෙහෙයුම සඳහා ගතවූ මෙම පැය 22 ක කාලයේ දී සෑම මිනිත්තු 30 – 40 කට වරක් පතලේ හිරවී සිටි අයෙකු බැගින් ගොඩ ගැනීම සිදු වූයේ ඒ සෑම වරක් පාසාම රැස්ව සිටියවුන්ගෙන් නැගුණු ඔල්වරසන් හඬ සහ සතුටු සිනා හා කදුළු මැදය.

ලෝක ඉතිහාසයේ පළමු වරට සති 10 ක කාලයක් භූ ගර්භයේ හිරවී සිටීමෙන් වාර්තාගත වී සිටින මේ 33 දෙනා “පුනරුත්පත්තියක් ලද්තවුන් ලෙස” චිලී ජනාධිපති සෙබස්ටියන් පිනේරා විසින් හඳුන්වා ඇත. වසන් කම්කරුවා පතලෙන් මතුවන විට අන් හැම චිලියානුවෙකු සේම තමන්ට ද සතුට උහුලාගත නොහැකි වූ බව ජනාධිපති වරයා කීවේය. මේ ගැලවුම් මෙහෙයුම මුළු ලොවම විශ්මයෙන් මුසපත් කළේ යැයි ඔහු කීවේය.

ගැලවුම් මෙහෙයුමේ මුල සිට අග දක්වා පතල් පරිශ්‍රයේ රැදී සිටි ජනාධිපතිවරයා මතුපිටට එන සැම කෙනෙකුටම සතුට පළ කළ අතර, අවසන් පුද්ගලයා වූ 54 හැවිරිදි ලුයි උර්සුවා අමතමින් නැවක කප්පිත්තකු සේ සෙසු සියල්ලන් ඉවත්ව යන අයුරු බලා සිටිමින් පෑ ආත්ම ධෛර්ය ප්‍රසාදයට පත් කළේය. ඉන් පසු දෙදෙනාම එක්ව රටටම ඇසෙන සේ චිලී ජාතික ගීය ගැයුවේ සෙසු පිරිස ද එක්කර ගනිමිනි.

චිලියේ සන්තියාගෝ අග නගරයේ සිට ගම් නියම්ගම් සිසාරමින් සතුටු කදුළු සතුටු සිනා රැව් පිළිරැව් දුන් අතර මෝටර් රිය නලා හඬින් හා “වුවෙසෙලා” නලා හඬින් පරිසරය එකනින් නාද වී තිබිණ. 33 දෙනාම මුදාගැන්මෙන් පසු පතල මතින් රතු සුදු හා නීල වර්ණ බැලුන් 33 ක් වාතලයට මුදා හැරිණ. ඉන්පසු ඔවුන් ගේ ඥාතීන් එක්ව අසල කඳු මුදුනකට නැග චිලී ජාතික ධජ 33 ක් නංවාලූයේ මෙම ආශ්චර්යවත් ගැලවුමට කෘතවේදිත්වය පල කරනු පිණිසය.

මෙම ගැලවුම් මෙහෙයුම දහස් ගණනක පුවත්පත් හා විද්යුත් මාධ්‍ය වේදීන් අතින් ආවරණය කෙරුණ අතර ලොව පුරා බිලියනයක ජනතාවක් එය සජීවීව දැක බලා ගත්හ. භූගතව සිටි 33 දෙනා මුදා ගැන්මේ කාර්යේ දී විශේෂ උපදෙස් ලබාදීමක් සිදුකළ එක්සත් ජනපද “නාසා” ආයතනය ඔවුන් ගේ ආත්ම ධෛර්ය ප්‍රසාදයට ලක් කළේ ය. විශේෂ පුහුණුවක් ලත් ගැලවුම් සේවකයන් හයදෙනකු මෙහෙයුම ආරම්භයේ දීම පතල තුළට යවා තිබුණු අතර ඔවුන් හය දෙනාම ඊයේ උදේ පොළව මතුපිටට පැමිණ තිබිණ.

ඉනිදු අවසන් වරට පැමිණි තැනැත්තාට මුහුණ දීමට සිදුව තිබුණේ අසීරු තත්ත්වයකට ය. ඒ යම් හෙයකින් යමක් වැරදී ගියේ නම් ඔහුගේ පිහිටට කිසිවකු පතලේ නැති බැවිනි. මෙම 33 දෙනා අතර සිටි එකම විදේශිකයා වන බොලිවියානු ජාතික 23 හැවිරිදි “කාලෝස් මමානි” එහි පැමිණ සිටි බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලස් විසින් පිළිගැනුණු නමුදු ඔහු සමඟ සිය රට පැමිණෙන ලෙසට ජනාධිපති වරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණේ සෙසු සගයන් සමග චිලියේම රැදෙන බව ප්‍රකාශ කිරීමෙනි.

මුදාගත් පිරිසේ සිටි වයස්ගතම පුද්ගලයා 63 හැවිරිදි මරියෝ ගෝමස් ය. මතු පිටට ආ ඔහු කීවේ “මා දැන් වෙනස් වෙලා. මං අමුතුම මිනිහෙක්” යනුවෙනි.  මතුපිටට ආ සියලු දෙනාම දින 69 ක් තිස්සේ ස්වාභාවික ආලෝකයට නුහුරුව සිටියෙන් ඔවුන්ගේ දෑස් රැකගනු පිණිස “අව් කණ්ණාඩි” පැළඳීමට යොමුකර තිබිණ. පිටතට පැමිණි වහාම ඔවුන් පතල් බිමේම පිහිටි ක්ෂේත්‍ර රෝහලකට රැගෙන යන ලද අතර අඩක් පමණ කෝපියාගෝ නගර රෝහලට ගෙනයන ලදී. එම රෝහලේ මහල් දෙකක්ම ඔවුන් වෙනුවෙන් සූදානම් කැර තිබිණ. සෞඛ්‍ය ඇමති ජයිමි මනාලිච් කියා තිබුණේ ඔවුන් ගෙන් සෞඛ්‍ය සම්පන්න අය ඊයේ ම පිටත් කර හරින බවය.

පිරිසෙන් දෙදෙනකු පතල් කම්කරුවන්ට සාමාන්‍යයෙන් වැළඳෙන “සිලිකෝසිස්” රෝගයට ගොදුරුව සිටින බව ප්‍රකාශ විය. මෙය පෙනහලුවලට දූලි කාවැදීමෙන් ඇතිවන සුව කළ නොහෙන ස්වසන රෝගයකි. මීට අමතරව එක් අයකු නියුමෝනියාවෙන් පෙලීම නිසා ඊට ප්‍රතිකාර ලබන අතර තවත් දෙදෙනෙකුට බරපතළ දත් රෝග වළට ප්‍රතිකාර වශයෙන් සැත්කම් සිදුකළ බව පැවසී තිබේ.

චිලී පතලෙන් එහි හිරවී සිටි කම්කරුවන් එකිනෙකා මුදා ගනිත්ම ඥාති හිතවතුන් සතුටු සිනා සමග සතුටු කඳුළු වගුරුවන අයුරු.

ඒ. එෆ්. පී.

චිලී පතලෙන් මුදාගත් අවසන්කම්කරුවා වන ලූයී උර්සුවා (මැද) පිටතට පැමිණීමෙන් පසු ජනාධිපති සෙබස්ටියන් පිනේරා (දකුණේ) සමග එක්ව සතුට බෙදා ගන්නා අයුරු.

ඒ. එෆ්. පී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා