මංජුගේ විජයග්‍රහණයෙන් මුළු රටම උදම් වෙයි

මංජුගේ විජයග්‍රහණයෙන් මුළු රටම උදම් වෙයි

පො දු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමි වූ එකම රන් පදක්කම දිනා දෙමින් ලක්වැසි ජනතාවගේ රන්කුමරු බවට පත්වීමට මංජු වන්නිආරච්චි පෙරේදා සමත්විය. නවදිල්ලි නුවර තල්කටෝරා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී කිලෝ ග්‍රෑම් 56 බැන්ටම් වේට් බර පන්තියේ අවසන් තරගයේදී වේල්සයේ ෂෝන් මැක්ගෝල්ඩ්‍්‍රක්ට තියුණු අභියෝගයක් එල්ල කරමින් මංජු වන්නිආරච්චි මේ විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළේය.

වසර 72කට පසුව ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසය අලුතින් ලියු අමරණීය දිනයක් බවට ද මංජු පෙරේදා දිනය පත් කළේය. වසර 1938 සිඩ්නිහිදී බර්නි හෙන්රිකස් රන් පදක්කමක් දිනා ගැනීමෙන් පසුව බොක්සිං ක්‍රීඩාවෙන් මේ තරගාවලියේදී නැවැත රන් සළකුණ තැබුවේ මංජු පමණි. එයට අමතරව 1950ට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ක්‍රීඩාවෙන් කුමන හෝ පදක්කමක් දිනා නොතිබූ හිඩැසද ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් මංජු සම්පූර්ණ කිරීමට සමත් වූවේය.

මංජුගේ අවසන් තරගයේදී..
ජායරූප-පි‍්‍රන්ස් ගුණසේකර

අවසන් තරගයේදී ඉන්දීය ක්‍රීඩා ලෝලීන් මංජු වන්නිආරච්චිගේ සෑම පහරකටම “ශ්‍රී ලංකා” “ශ්‍රී ලංකා” යනුවෙන් පී‍්‍රති ඝෝෂා නගන්නට වූහ. එයද මංජුගේ ජයග්‍රහණයට විශාල ධෛර්්‍යයක් වූ බව ඔහු පසුව පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. 19 හැවිරිදි වේල්සයේ ෂෝන් මැක්ගෝල්ඩ්‍්‍රක් තරගය ආරම්භයේ සිටම ආක්‍රමණශිලි වුවද තමාගේ ඉලක්කය රන් පදක්කම ශ්‍රී ලංකාවට ගෙනයෑම බැවින් කළබල නොවී මැක්ගෝල්ඩ්‍ක්ට පිළිතුරු දුන් බව මංජු වන්නිආරච්චි පැවැසීය.

මංජුගේ ජයග්‍රහණය වාර්තා වී විනාඩි 3ක් ඇතුලත ඉන්දීය මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතාගේ දුරකථනය නාද විය. ඒ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඇමතුමකිනි. මංජු වන්නිආරච්චිට ශ්‍රී ලංකා වාසීන්ගේ ස්තූතිය පුද කිරීම දරාගත නොහැකි සතුටක් විය. “ජනාධිපතිතුමාගේ කෝල් එකට මා පුදුම වුණා. එතුමාගේ ගාම්බීර හඩින් මංජු ඔබ විශිෂ්ටයි කීවාම තත්පර කීපයක් මට කතා කරගන්න බැරි වුණා. මම ගොළුවුනා රට බේරාගත් නායකයා සමග කතා කිරීම රන් පදක්කම වගේම මට වටිනවා” මංජු ‘දිනමිණ’ ට පැවැසීය.

“ඔන්න මා කලින්ම කියපු දේ කළා. තරගයට එන්න කලින්ම හැමෝටම කිව්වා හමුවෙන ඕනෙම කෙරුම් කාරයෙකුට ගහනවා කියලා. බොක්සිං වලල්ලේ ඒ දේ කරන්න රටේ ජනතාවගේ ආශිර්වාදයත් වැදගත් වුණා. ඒ හැමෝටම ස්තුතියි” මංජු පැවැසීය. එමෙන්ම බොක්සිං ක්‍රීඩාව පිළිබඳ මෙයට වඩා අවධානයක් ඇති වී එය දියුණු කිරීමට සැමගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද මංජු පැවැසීය. තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැති අතර එයට කළමනාකරු ඩයන් ගෝමස් හා පුහුණුකරු හර්ෂ කුමාර යන මහත්වරුද සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා