ලොව දකින්නට වරම් නැතත් සුළු වෙළෙඳාමෙන් දිවි රැක ගනී

ලොව දකින්නට වරම් නැතත් සුළු වෙළෙඳාමෙන් දිවි රැක ගනී

හොඳින් දෑස පෙනුණත් අයථා වෙළෙඳාමෙහි යෙදෙන බොහෝ පුද්ගලයන්ට දෑසම අහිමි සුමනසිරි ගෙනෙන්නේ කදිම ආදර්ශයකි.

රොබට් ගුණවර්ධන මාවත, මාලඹේ පදිංචි කේ.අයි. සුමනසිරි (55) ලෝකය දකින්නට දිරිය හා අත්වාරුව සපයන්නේ, ඔහුගේ බිරිය අයිරාංගනීය.

තැඹිලි වෙළඳාමේ යෙදෙන සුමනසිරි

මාලඹේ හමුදා මුරපොල ආසන්නව ඇති චන්ද්‍රිකා කුමාරතුංග මාවත සමීපයේ සුමනසිරි කුඩා තැඹිලි කඩයක් පවත්වාගෙන යයි. දෑසම නොපෙනුණද නිවැරැදි ජීවිකාවක යෙදෙන සුමනසිරිගේ පෙනීම අහිමිව ඇත්තේ අනපේක්ෂිත විපතකටලක්වීම නිසාය. ඔහු “දිනමිණට” පැවැසුවේ මෙවන් කතාවකි.

“මම දෑස පෙනෙන කාලයේ, තලාහේන පෞද්ගලික ආයතනයක සේවය කළා. ඒ කාලේ හොඳින් මහන්සිවෙලා වැඩකරල හොඳ පඩියකුත් ගත්තා. 1983 අවුරුද්දෙ ජූලි කලබල කාලයේ පිටකොටුවෙදි සිදුවුණු වෙඩි ප්‍රහාරයකට ලක්වෙලා මට මගෙ ඇස්දෙක අහිමි වුණා.

මගෙ ඇස්වල සම්බන්ධ නහර පිච්චිලා කියලයි දොස්තර මහත්තුරු කිවුවෙ. වෙඩි වැදුණු වෙලාවෙ මමත් මැරුණු කෙනෙක් කියල හිතලා මෝචරියට දාල තියෙනවා.

දවස් 03ක් යනතුරු මං ගැන ආරංචියක්වත් තිබිල නැහැ. මගෙ ඇගිලි සෙලවෙනවා දැකපු කෙනෙක් තමා, මට පණ තියන බව දැකල තියෙන්නෙ. එහෙම නොවෙන්න මම අද මැරුණු කෙනෙක්.

අපට දරුවො දෙන්නෙක් ඉන්නවා. දුව නම් කසාදබැඳලා. පුතා රස්සාවක් කරනවා. ඒ අයත් අපට උදව් කරනවා. නමුත් දරුවන්ට කරදරයක් නොවී මේ වගේ වෙළෙදාමක් කරගෙන ඉන්නයි මමත් මගේ බිරියත් කැමති. අපි මෙතන තැඹිලි වෙළඳාම පටන් අරන් අවුරුද්දක් විතර වෙනවා.

වැස්ස කාලෙට නම් වෙළදාම අඩුයි. අපි උදේ 7.00 වෙනකොට මෙතනට එනවා. හවස 6.30 විතර වෙනකම් අපි මෙතන වෙළඳාම කරනවා. ඇස් පේන්නෙ නෑ කියල ගෙදරට වෙලා ඉන්න මට හිත දෙන්නෙ නැහැ. මගෙ බිරිය තමා හෙවනැල්ල වගේ ඉඳගෙන මට උදව් කරන්නෙ. මෙහෙම මහන්සිවෙලා ජීවත්වෙන එක අපට සතුටක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා