පයාගල සුළුපන්න ධීවරයන්ගේ ගැටලුවලට විසඳුම් ඕනෑ

පයාගල සුළුපන්න ධීවරයන්ගේ ගැටලුවලට විසඳුම් ඕනෑ

ධීවර කාර්යාලයට දැනුම් දුන්නත් පලක් නෑ

ධීවර බෝට්ටු නවතා ඇති ස්ථානය

සුළු පන්න ධීවරයන්ගේ ගැටලු පිළිබඳව පෙන්වා දුන්න ද ඒවා පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කොට නැතැයි පයාගල සමුද්‍ර මාවතේ ධීවරයෝ පවසති.

ධීවර කර්මාන්තයේ සුළු පන්න ධීවරයාගේ කාර්යභාරය සුවිශේෂ බවත්, ධීවර ප්‍රජාවගේ ගැටලු තමනට උරුම බවත් ඔවුහු පෙන්වා දෙති.

බේරුවල සිට කළුතර දක්වා වූ වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන කිහිපයක සුළු පන්න ධීවර කටයුතු කරනු ලබයි. ඉන් අවම පහසුකම් ඇති සමුද්‍රමාවත ධීවර භූ®මිය සංවර්ධනය කර ගැනීම තම ප්‍රධාන අරමුණ බවත් පෞද්ගලික ඉල්ලීම් කිසිවක් නොමැති බවත් ඔව්හු පෙන්වා දෙති.

එච්.ජෝෂප් - මේ වෙරළ තීරය දිගේම ඉන්නේ ධීවර කටයුතුවල නිරත වෙන අය. තැන් තැන්වල ඇති ස්ථාන කිහිපයකින් ඒ අය මුහුදු යනවා.

මේ සමුද්‍රමාවත වරාය භූමියෙන් බෝට්ටු පනහකට ආසන්න ගණනක් මුහුදු යනවා. විශාල පිරිසක් මෙතැනින් ජීවිකාව කරනවා. අපිට මේ ස්ථානය සකස් කරලා දෙනවානම් ඒ හොඳටම ඇති.

ධීවර කටයුතු වල නිරත වන සමුද්‍ර මාවත ධීවරයෝ

එච්.ජී.ඔලිවර් - මෙතැනට ලයිට් එකක් සවිකරලා තියෙනවා. ඒකෙන් තමයි උදේට අපි බොහෝ දේ කර ගත්තේ. ඒ ලයිට් ඒක පිච්චිලා දැන් අවුරුද්දකට කිට්ටු වෙනවා.

අදාළ බලධාරීන්ට ඒ ගැන කීවා. අද වෙන තුරු ලයිට් එක හදලා දුන්නෙ නැහැ. දැන් ඒ කණුව අල්ලන්නත් බයයි. සමහර වෙලාවට විදුලිය වදිනවා.

ජූඩ් නිරෝෂන් - ධීවර තොටුපළට එන්න පාරක් නැහැ. වටේම තියෙන පාරවල් කොන්ක්‍රීට් කළා මේ සමුද්‍ර මාවත ඉතිරි කළා. මාළු වෙන්දේසියට මෝටර් සයිකල් වෙළෙන්දෙකුටවත් එන්න අමාරුයි.

කේ. අමිල - ලෙල්ලමක් ලෙසට ධීවර සේවා මධ්‍යස්ථානයක් ළඟදි ධීවර ඇමැති විවෘත කළා. ඒක ලොකු සහනයක්. ඒත් ඒකටවත් විදුලිය නැහැ.

දැල් ටිකක් රාත්‍රියට මහගන්න විදියක් නැහැ. සුනාමියෙන් පස්සෙ මේ පාරට තාර ටිකක් දැම්මෙ නැහැ. අපේ ගැටලු අපි ධීවර කාර්යාලයට දැනුම් දුන්නා ඒත් විසඳුම් නැහැ. සුළු පන්න ධීවරයන්ට රජය මැදිහත්වෙලා භූමිතෙල් සහනාධාරයක් වත් දෙනවානම් ලොකු දෙයක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා