අම්මා නැති දරුවෝ දෙන්නා කොහොමද මම හදාගන්නෙ

අම්මා නැති දරුවෝ දෙන්නා කොහොමද මම හදාගන්නෙ

සැමියා වැලපෙයි

දෙදරු මව මියයෑම

දරු ප්‍රසූතියෙන් දින දහහතරකට පසු පපුවේ ඇති වූ වේදනාවෙන් මියගිය කාන්තාවගේ මළසිරුර පිළිබඳ නාගොඩ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු විවෘත තීන්දුවක් ප්‍රකාශකොට සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වරයා වෙත යවන ලදී.

චම්පිකා කුසුම්ලතා

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දෙල්පවත්තේ පදිංචි හතළිස් හැවිරිදි එම්. චම්පිකා කුසුම්ලතා නැමැති අයෙකි. එක්දරු මවක් වන ඇය දෙවන දරුවා ලැබීමට හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සින්වි නේතා වීරසිංහ කුඩා බිලිඳිය බිහිකර ඇයත් සමඟ සුවයෙන් නිවෙසට පැමිණියාය.

බිලිඳිය ලැබී දින දහහතරකට පසු දිනක රාත්‍රි දහයට පමණ පපුවේ දැඩි වේදනාවක් පවතිනවා යැයි පවසා තිබේ. ඇයව පිඹුර රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කළත් අලුයම 1.15ට පමණ මෙලොවින් සමුගත්තාය.

අවුරුදු හතරක් වයසැති මල්මි නේත්‍රා වීරසිංහ හා දින දහහතරක් වයසැති සින්වි නේත්‍රා වීරසිංහට මව නැති අඩුව පිරිමැසීමට කිසිවකුට නොහැකි වී තිබේ.

කේ. සමන් වීරසිංහ මහතා

මියගියේ මගේ බිරියයි. අපි විවාහ වෙලා හොඳින් දරුවා සමඟ ජීවත්වුණා. දෙවෙනි බබා ලැබෙන්න හොරණ රෝහලට ඇතුළත් කළා. බබා ලැබිලා හොඳ සනීපයෙන් ගෙදර ආවා.

සැමියා දරු දෙදෙනා සමඟ
ඡායාරූප :- මතුගම සංචාරක

සිද්ධිය වූ දින රාත්‍රි මට කතා කරලා කීවා පපුවේ වේදනාව ඉවසන්න බැහැ වහාම රෝහලකට ගෙන යන්න කියා. රෝහලට රැගෙන ගියත් මගේ බිරියව බේරාගන්න බැරිවුණා. තනි වූ මම දරු දෙදෙනා හදා වඩාගන්නේ කොහොමද කියා හිතන්නත් බෑ.

බිරිය සමාජ සේවයට හරිම ලැදියි. අවට පදිංචිකරුවන්ට සෑහෙන උදව් උපකාර කරනවා.

මරණ පරීක්ෂණය අගලවත්ත ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක එස්. ජයතිස්ස මහතා විසින් අගලවත්ත පිඹුර රජයේ රෝහලේ දී පවත්වන ලදී.

පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී එල්. ජයසිංහ මහතා පැවැත්වීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා