පාදුක්ක බස් නැවතුමේ පොදු පහසුකම් නෑ

පාදුක්ක බස් නැවතුමේ පොදු පහසුකම් නෑ

පාදුක්ක නගර සංවර්ධනය යටතේ ඉදිකළ නව බස් නැවතුම්පොළේ ඇති අඩුපාඩු රැසක් නිසා මගී ජනතාවට මෙන්ම කාර්ය මණ්ඩලයට ද විවිධ අපහසුතාවලට ලක්වීමට සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.

පාදුක්ක බස්නැවතුමේ වේලා සටහන්කරු ඒ. ඩී. මිත්‍රසේන මහතා මෙසේ පැවැසීය.

මේ බස් නැවතුම්පොළ ජනතා අයිතියට පවරා වසර දෙකකටත් වැඩියි. එහෙත් අඩුපාඩු රැසක් පවතිනවා. මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයේ බස්රථ, ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඒකාබද්ධවයි ක්‍රියාත්මක වෙන්නේ. එම ආයතන දෙකේම බස්රථ නියමිත කාල සටහනකට අනුව මෙතනින් පිටත් වෙනවා.

ඉංගිරිය, කොළඹ, හොරණ, මහරගම, හංවැල්ල ආදී ප්‍රදේශවලින් ආරම්භ වන බස්රථ දෙසීයක් පමණ දවස පුරා මේ ස්ථානයට පැමිණෙනවා. මේ බස්රථවල කාර්ය මණ්ඩලය හාරසියයක් පමණ සේවය කරනවා. මේ කිසිවකුටත් පිපාසයට ජල බිඳුවක් ලබාගන්න ක්‍රමයක් නෑ. වැසිකිළි-කැසිකිළි පහසුකම් නෑ.

බස්රථ රියැදුරු හර්ෂ අජන්ත මහතා - මහරගම කොළඹ වගේ් වෙන බස් නැවතුම්පොළවල වැසිකිළි පද්ධතියක් තියෙනවා. බස් සේවකයන්ට වගේම, මගීන්ට ද ඒ පහසුකම් තියෙනවා. පාදුක්ක බස් නැවතුමට නම් ජල කරාමයක් වත් නෑ. කොළඹ ඉඳලා පාදුක්කට එන අපි, හදිසියට ටවුන් එකට දුවන්න ඕනෑ. එහෙම නැත්නම් කඩේක තියෙන වැසිකිළියකට යන්න ඕනෑ.

බස් මගී ඩබ්ලිව් ඒ. විමලසේන මහතා - මේ බස් නැවතුම සංකීර්ණයේ වැසිදාට ඉන්න බෑ. හතර වටෙන් එන හිරිකඩ නිසා මුළුමනින්ම තෙමෙනවා. ඒ වෙලාවට බස්වලට නගින්න ඉන්න මිනිසුන් ටවුමේ කඩපිල්වලට දුවන්න ඕනෑ.

බස් රියැදුරු රංජිත් බස්නායක මහතා - බස් ස්ටෑන්ඩ් එකට එන මාර්ගය හොඳට ම කැඩිලා. ගැඹුරු වළවල් තියෙනවා . වැහිදාට ඒවා පිරෙනවා. බස්රථ කොළඹ පාරෙන් පාදුක්ක නැවතුමට එන කොට, වතුර වළට රෝද වැටුණොත් මගීන් මඩ වතුරෙන් නෑවෙනවා. ඒවා අපි දැන දැන කරනවා නෙවෙයි. ඉබේ සිදුවන දේවල්. ඒත් මිනිසුන් බනින්නේ ඩ්‍රයිවර්ලාට. ඒ නිසා ඒ මාර්ගය අලුත්වැඩියා කළ යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා