ජපාන අධිකරණ ඇමැති ඉල්ලා අස්වෙයි

ජපාන අධිකරණ ඇමැති ඉල්ලා අස්වෙයි

ජපානයේ අධිකරණ ඇමැති මිනෝරු යනගීදා ඊයේ ඉල්ලා අස්විය.

ජපානයේ ඉල්ලා අස්වූ අධිකරණ ඇමැති මිනෝරු යනගිදා

ඔහු ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ ඔහුගේ උපහාසාත්මක ප්‍රකාශනයක් සම්බන්ධයෙන් විපක්ෂයේ කෝපය පලවීමත් පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා පමුණුවන බවට තර්ජන පැන නැගීමත් ය. අධිකරණ ඇමැති ධූරය බෙහෙවින් පහසු කටයුත්තක් බව යනගීදා උපහාසාත්මකව කියා තිබිණ.

යනගීදා අධිකරණ ඇමැතිධූරයට පත්ව ගත වී ඇත්තේ දෙමසක් පමණක්වන අතර ඔහුගේ ඉල්ලා අස්වීම අගමැති නඕතෝ කාන් පිළිගෙන තිබිණ.

56 හැවිරිදි යනගීදා සතියකට පූර්වයෙන් හාස්‍යෝත්පාදකව කළ ප්‍රකාශයේ දී අධිකරණ ඇමතිධූරය ඉතා පහසු බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී පිළිතුරක් දීමට අපහසුවන අවස්ථාවන්හි දී වාක්‍ය දෙකක භාවිතයෙන් ඉන් ගැලවිය හැකි බව සඳහන් කරමිනි. පුද්ගලික ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැලකී සිටින බව කීම හෝ නීතිය හා සාක්ෂි මත පදනම්වය මා ක්‍රියා කරන්නේ යැයි කීම හෝ එම වාක්‍ය දෙක බව ඔහු කියා තිබිණ.

විපක්ෂ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඊට දැඩි විරෝධය පලවූ අතර එය පාර්ලිමේන්තුවට ගැරහීමක් බව ඔවුන්ගේ මතය විය.

විපක්ෂය යනගීදාට එරෙහි ව ඊයේ දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සුදානම් ව සිටි අතර රජයේ නව ආර්ථික පියවර ක්‍රියාවට නැංවීමට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ දී බාධා පමුණුවන බව ද කියා තිබිණ.

මේ තත්ත්වය යටතේ හැකි ඉක්මනින් අතිරේක අයවැයක් සම්මත කරගත යුතුව තිබෙන බව අගමැති කියා තිබුණු අතර තම ප්‍රකාශනයෙන් උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉල්ලා අස්වන බව යනගීදා ප්‍රකාශ කළේ ඔහුගෙන් සිදුව ඇති ප්‍රමාද දෝෂයට සමාව ඉල්ලමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා