දුර බලා පොළවේ අඩිය තබාගෙන හැදූ අය-වැයක්

දුර බලා පොළවේ අඩිය තබාගෙන හැදූ අය-වැයක්
 

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - ආචාර්ය සුරංග සිල්වා

මෙවර අය වැය පිළිබඳ හා එය මෑත කාලීන වෙනත් අය – වැය ලේඛනවලට වඩා වෙනස් වන්නේ නම් ඒ කෙසේ ද යන්න ගැනත්, රට ඉදිරි ආර්ථික හා සමාජයීය අභියෝග ජයගැනීමේ දී එය කෙසේ බලපාන්නේ ද යන්න ගැනත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුරංග සිල්වා සමඟ කළ සාකච්ඡාවකි.

මෙවර අය – වැයට පක්ෂව හා විපක්ෂව මේ වන විට අදහස් පළවෙමින් තියෙනවා. ඔබ මේ අය – වැය දෙස බලන්නේ මොන විදියට ද?

මෙවර අය – වැය ලේඛනය මෑත භාගයේ ඉදිරිපත් කළ අය – වැය ලේඛන අතරිනුත් වඩා සුවිශේෂයි. ඒ වගේ ම එය ඉතාමත් හොඳ අය – වැයක්. 1990 දශකයෙන් පසු මේ අය – වැයේ දී දකින්න තියෙන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් නිසා එසේ කිව හැකියි.

පළමුවැන්න 1992 න් පසු ප්‍රථමවතාවට මෙවර සැලකිය යුතු ප්‍රමාණයකින් අය – වැය පරතරය (ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස) අඩුවුණා. ඒක අප ලැබූ විශාල ජයග්‍රහණයක්.

මේ අඩුවීම තුළින් අපට, අපේ රටේ ආයෝජකයන්ට පැහැදිළි වශයෙන් ඉඟියක් ලැබෙනවා. ඒ තමයි මේ රටේ අය – වැය හිඟය රටේ අනවශ්‍ය ආකාරයේ සාර්ව ආර්ථික අක්‍රමවත් බවක් ඇති නොකරන අය – වැයක් බව.

ශ්‍රී ලංකාව හා එහි අභිමානය ජාත්‍යන්තරයට ගෙනයාම පිළිබඳ කාරණයේ දී 2011 වසර සඳහා ඉදිරිපත් වූ අය – වැය ලේඛනය බෙහෙවින් වැදගත්. ඒ විශේෂ වැදගත්කම තේරුම් ගනිමින් මේ අය – වැය සකස් වූ බව පැහැදිළියි.

විශේෂයෙන් යුද්ධයෙන් පසු උද්ධමනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. මේ අඩුකර ඇති උද්ධමන වේගය තවදුරටත් සාර්ව ආර්ථික සමතුලිතතාවක් ඇතිවන අන්දමින් පවත්වා ගැනීමට කළ හැකි හොඳම පිළියමක් තමයි හැකිතරම්, ප්‍රසාරණාත්මක නොවන අය – වැයක් ඉදිරිපත් කිරීම.

ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස 8% තිබුණු අය – වැය හිඟය 6.8% දක්වා ගෙන ඒමට හැකිවීමත් මේ අය – වැය සැලැස්මේ සුවිශේෂ ලක්ෂණයක්.

අය – වැය හිඟය අඩුකර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි රජයේ ආදායම වැඩි කරගැනීම.

රටක අය – වැයක් මඟින් එම ආර්ථිකය යන දිශාව, එහි වේගය, ප්‍රතිලාභ ලැබෙන්නේ කාට ද වගේ වැදගත් සාධකත් තීරණය වෙනවා. ඒ නිසා රජයේ ආදායම් – වියදම් සකස් කර ගැනීමේ දී රජය එම ප්‍රධාන කාරණා ගැන සැලකිලිමත් වෙනවා.

සමහරු කියනවා, විශේෂයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවුණේ නෑ කියලා. රටේ ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීමත් අය – වැයක ප්‍රධාන කාර්යයක් බව අප අමතක කළ යුතු නෑ. ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම යන්නෙන් කාරණා දෙකක් අදහස් වෙනවා.

එකක් උද්ධමනය අඩු මට්ටමක තබා ගැනීම. අනෙක රටේ සේවා නියුක්තිය හැකිතාක් වැඩිකිරීම හා සේවා වියුක්තිය හැකිතාක් අඩුකිරීම. එමඟින් දුගී බව අඩු කළ හැකියි.

ඒ නිසා ඒ වැටුප් වැඩිවීම් කර තිබෙන්නේ මේ කාරණා පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුවයි.

රජයේ සේවකයන්ගේ වැටුප 5% කින් වැඩි කරනවා වෙනුවට 20%, 30% කින් වැඩි කළා කියලා අපි හිතමු. ඒ සඳහා අති විශාල ආවස්තික පිරිවැයක් දරන්න වෙනවා. එතකොට මේ වැඩිකිරීම් කරන්න නම් තවත් දේවල් කපන්න වෙනවා.

එහෙම වෙනත් දේවල් කප්පාදු කරන්නෙත් නැති ව ආර්ථිකයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයකට මේ වැටුප් වැඩිකිරීම කර ඇති නිසා ලැබෙන වාසිය තමයි වැඩ කරන ජනතාවට අඩු පඩියකින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිල දී ගැනීමේ හැකියාව අනාගතයේ දී ඇති වීම.

එහෙම නැතුව සිම්බාබ්වේ වගේ විශාල පඩියක් දුන්නොත් මොකද වෙන්නෙ. එහෙ විශාල පඩියක් දුන්නත් ගන්න පුළුවන් අඩු භාණ්ඩ ප්‍රමාණයක්.

ඒ නිසා රුපියල් 8000/–, 9000/-, 10000/- ආදී වශයෙන් වැටුප් වැඩි කරනවා කියන්නේ එය ලබාගන්නා අයම තමන් විසින් ම විශාල මායාවක සිරවෙනවා කියන එකයි. ඒ විදියේ මායාවන් ඇති කිරීම සඳහා සකස් කළ අය – වැයක් නෙවෙයි මේ.

ඒ නිසා යම් මට්ටමකින් වැටුප් වැඩි කරන අතරම උද්ධමනයට ගැළපෙන පරිදි ජීවන වියදම් දීමනාවකුත් එයින් ලබා දී තියෙනවා.

දේශීය නිෂ්පාදනය වැඩිකර ඒ තුළින් රටේ මූර්ත ආදායම වැඩිකිරීමට මේ අය – වැයෙන් උත්සාහ දරා තියෙනවා.

එහි දී මේ අය – වැයෙන් යෝජනා කෙරෙන ප්‍රයත්නයන් හඳුනා ගත හැකි ද?

හොඳම නිදසුනක් තමයි, ලංකාවේ පළමුවෙනි වතාවට ඵලදායිතාව පිළිබඳ අමාත්‍යංශයක් ඇති කර තිබීම. මේක ඉතාමත් වැදගත් පියවරක් අපි මොනතරම් වියදම් වැඩිකළත් ඵලක් නෑ.

අපට නිෂ්පාදන ඵලදායිතාව වැඩිකරන්න බැරි නම්. එහෙම බැරි වුණොත් වෙන මහන්සියේ තරමට නිෂ්පාදනය, ආදයම අඩුවෙනවා. ඒ නිසා අඩුම සම්පත් ප්‍රමාණයකින් වැඩිම නිෂ්පාදනයක් ගත හැකි පරිදි ඵලදායිත්වයක් රටේ ඇති කළ යුතුයි.

ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මූර්ත ආදායම වැඩි කිරීම 5% කින් මූල්‍ය ආදායම වැඩි කරනවාට වඩා වැඩි වේගයකින් මූර්ත ආදායම වැඩි කිරීම නිසා අපට ප්‍රතිලාභ ගණනාවක් ම ලබා ගන්න පුළුවන්.

ඊළඟට තවත් කාරණයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ලබා දී ඇති සහන ප්‍රමාණයයි. බදු අඩුකළා, සහන වැඩිකළා. මේ සියල්ලෙන් බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනය වැඩි වී ආදායම ඉහළ නැංවෙන විට එය සාධාරණ ලෙස බෙදී යනු ඇති බවයි.

මේ අය – වැයෙන් පැහැදිලි වශයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහන ලබා දී තිබෙනවා.

ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා බදු අඩු කිරීම, ආදායම් බදු අඩු කිරීම වගේ පියවර ගණනාවක් ගෙන තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම නිෂ්පාදනයන්ගේ වැඩිවීමක් සිදුවෙනවා.

ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම් පිළිබඳ මේ අය – වැය සංවේදී ද?

අපි අමතක නොකළ යුතු දෙයක් තමයි මේ වන විට ලෝකය සංකල්පීය වශයෙන් පැරඩයිමයකට ගමන් කරමින් තියෙනවා. මෙතෙක් කල් අපි අපේ ආර්ථිකයන් යොමු කළේ ලෝකයේ දියුණු රටවල ඉල්ලුම දිහා බලාගෙන.

දැන්, ඒ පැරඩයිමය මේ කාලයේ වැඩකරන්නේ නෑ. මොකද යුරෙැීපය පුරා පරිභෝජනය අඩුවෙලා, ආදායම අඩුවෙලා, සේවා වියුක්තිය වැඩිවෙලා.

ඒ නිසා බටහිර ලෝකයෙන් අපේ රටේ භාණ්ඩ සඳහාා ඉල්ලුමක් ඇතිවේයැයි කියන එක මතම අපේ ආර්ථිකයේ සැලැස්ම සකස් කරන්න ගියොත් අපි පටන්ගත්ත තැනම අසාර්ථක වෙනවා.

ඒ වෙනුවට, කලාපය පදනම් කරගත් හා අභ්‍යන්තරය වෙත අවධානය යොමු කළ නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන මෙවර අය – වැයෙන් පෙළඹවීමක් ඇති කෙරෙනවා. දේශීය නිෂ්පාදනය, දේශීය පරිභෝජනය විධිමත් කරන්න උත්සාහ දරා ඇත්තේ මේ නිසයි.

මේ විතරකුත් නෙවෙයි, පෞද්ගලික අංශය දෙස මානුෂීයවත් මෙයින් බලනවා. සේවක අර්ථසාධක අරමුදල හරහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගැන යෝජනා වුණේ සේවයෙන් විශ්‍රාම යන විට සේ. අ. අ. ප්‍රතිලාභ ලබාගැනීමේ දී බදු අය කිරීම නතර කළේ ඒ නිසායි.

එවිට, රාජ්‍ය අංශයේ මෙන් තමන්ට වරප්‍රසාද නැතැයි පෞද්ගලික අංශයේ සේවකයාට දැනෙන්නේ නෑ. ඒ වගේ ම රාජ්‍ය අංශයට ඇතිවෙලා තියෙන අනවශ්‍ය ඉල්ලුම අඩු කරන්නත් එය විශාල ව්‍යුහාත්මක ක්‍රියාවලියක් වෙනවා.

පෞද්ගලික අංශය වෙතටත් අපේ ශ්‍රම බලකාය යොමුවීමට මෙය හේතුවක්. මෙතෙක් කල් රාජ්‍ය අංශයට යනවාද පෞද්ගලික අංශයට යනවාද කියන එක තීරණය කරන ප්‍රධාන නිර්ණායකයක් වුණේ විශ්‍රාම වැටුප. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඒ නිසා මේ අය – වැය දුර බලා පොළවෙ අඩිය තියාගෙන හදපු අය – වැයක්.

මේ අය – වැයෙන් ඔබේ ක්‍ෂෙත්‍රය ද වන සංචාරක කර්මාන්තයටත් විශාල වශයෙන් දිරිගැන්වීම් කෙරුණා. එකී දිරිගැන්වීම් හා සහන දෙස ඔබ බලන්නෙ මොන විදියට ද?

සංචාරක කර්මාන්තය නිරන්තරයෙන් ලෝකයට විවෘත වූ කර්මාන්තයක්. එවිට අපට තරගකාරිත්වයට මුහුණ දෙන්නත් සිදුවෙනවා. යම් විදියකින් තරගය අසාධාරණව සිදුවෙනවා නම් අපි අපේ සංචාරක කර්මාන්තය රැකගත යුතුමයි.

නමුත්, දැන් තියෙන අලුත් ම තත්ත්වය සංචාරක කර්මාන්තයට විශාල තර්ජන නෑ. යුද්ධය අවසානයි. දැන් අපි තරගයට ලෑස්ති වෙමින් ඉන්නෙ. මෙවර අය – වැයෙන් මේ ක්‍ෂේත්‍රයට විශාල අවධානයක් යොමුවෙන්නෙ එවැනි කාලයක, තරගයකට සුදානම් වන අයගේ ශක්තිය වැඩිකිරීම සඳහා 15% ක් වූ ආදායම් බදු ප්‍රමාණය 12% දක්වා අඩු කළා.

සංචාරක කර්මාන්තයෙය් බදු විශාල ලෙස අඩු කෙරුණා. වැදගත්ම දෙයක් තමයි, මේ කර්මාන්තයේ දී සැපයෙන සේවාවන් සඳහා මිල යථානුකරණය කිරීමක් කර තිබීම.

යථානුකරණය කියන්නෙ සත්‍ය තත්ත්වයට ගැළපීමටයි. අපි පසුගිය කාලයේ දැක්කෙ විශාල සංචාරක සේවා සපයන්නන් ප්‍රමාණයක් සුළු සංචාරකයන් ප්‍රමාණයක් පසුපස හඹා යනවා. නමුත් දැන් තත්ත්වය වෙනස්. විශාල වශයෙන් සංචාරකයන් එනවා. සේවා සැපයුම්කරුවන්ගේ ප්‍රමාණය සීමිතයි.

එවැනි තත්ත්වයක් යටතේ අඩු මිලකට අපි අපේ භාණ්ඩ/සේවා ලබාදුන්නොත් අපි බාල භාණ්ඩ සපයන බව සංචාරකයන් සිතයි. ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තය ලෙස මේ වන විට ලෝකය හඳුනාගෙන තිබෙනවා.

එවැනි පසුබිම අඩුමිල පැකේජ යටතේ අපේ සේවා සැපයීම මඟින් සිදුවන්නේ සංචාරකයන් තුළ අප ගැන ඇති පිළිගැනීම අඩුවීමයි.

මේ නිසා අපේ සංචාරක ක්‍ෂේත්‍රයට නියම වටිනාකම දෙන්න නම් මිල වෙනස් කළ යුතුයි. ඊට, මේ අය – වැයෙන් රජය ගත් පියවර සංචාරක කර්මාන්තයේ ඉන්න කෙනෙක් විදියට මම දකින්නේ ඉතාම නිවැරැදි පියවරක් හැටියටයි.

මෙයින් අදහස් වෙන්නෙ මෙතෙක් කල් මේ රටේ ජනතාවගේ සුබසාධනයෙන් කැපකළ මුදල් ප්‍රමාණයක් යටතේ ගමන්ගත් සංචාරක ව්‍යාපාරය ඊට වෙනස් තත්ත්වයකට ළඟාවන බවයි.

විදේශීය සංචාරකයන් ලබාගත් අනවශ්‍ය ගාස්තු ද අවම කෙරෙන අතරම මෙයින් ලැබෙන මුදල් මේ රටේ පාරවල් හදන්න, දුගී බව නැතිකරන්න, අධ්‍යාපනය ඉහළ නංවන්න ඉතිරි කරදෙන අතරම, සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ද ඉහළ නැංවීම මේ අයවැයෙන් සිදුවෙනවා.

එපමණක් ද නෙවෙයි, සංචාරක කර්මාන්තයේ අත්‍යවශ්‍ය ආයතනයක් වන හෝටල් පාසල් සඳහා අවශ්‍ය පසුබිම සකස්කරමින් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට පමණක් නොව ආසියානු කලාපයේ ම සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය බව මේ අය – වැයෙන් හඳුනාගන්නවා.

වසර 2016 දී ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරාගන්නා විට, ශ්‍රී ලාංකීය සංචාරක සේවාව අභිමානවත්ව ඊට සුදානම් කිරීම සඳහා මේ ක්‍ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය ඉතාමත් අවශ්‍යයයි.

ඒ සඳහා ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් පුහුණු කිරීමට හෝටල් පාසලට සිදුවෙනවා. ඒ නිසා මෙවර අය – වැයෙන් මේ අවශ්‍යතාව තේරුම් ගෙන තිබීම ඉතාම වැදගත්.

දිළිඳුබවේ අභියෝගය ජය ගැනීම සඳහා, නැත්නම් දිළිඳු ජනයාට සහන සැලසීම සඳහා මේ අය – වැයෙන් අවධානය යොමු වී නැතැයි පළවන මතය ගැන ඔබේ අදහස කුමක් ද?

දුගීභාවය තවදුරටත් පවත්වා ගැනීම සඳහා හේතුවන සහනාධාර වෙනුවට මහන්සි වී වැඩකර උපයන්න, තමන් පරාධීන යැපුම් මානසිකත්වයට ගැති නොවූ මිනිසුන් බව පෙන්වන්න මේ අය – වැයෙන් හොඳ පෙළඹවීමක් කෙරෙනවා.

රටේ නිෂ්පාදනය ඉහළ නැංවීම වැනි පියවර කරා මේ අය – වැයෙන් යොමුවෙන්නෙ ඔය අභියෝගය ජයගත යුතු නිසයි.

රටක ආර්ථිකයේ ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. නිෂ්පාදනය, පරිභෝජනය සහ ආදායම. නිෂ්පාදනය නැත්නම් පරිභෝජනය කරන්න බෑ. ඒ වගේමයි නිෂ්පාදනයක් නැත්නම් ආදායමකුත් නෑ.

මේ කියන ප්‍රධාන අංග තුන ඒකාබද්ධ වන විදියට හා රටේ ශ්‍රම වෙළෙඳපොළ හා භාණ්ඩ වෙළෙඳපොළ අතර මනා සම්බන්ධයක් ඇතිවන විදියට සකස් කළ අය – වැයක් ලෙසත් මේ අය වැය මම දකිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා