ගොවිතැනට දිරි දෙන නිල් අහසේ නියමුවෝ

ගොවිතැනට දිරි දෙන නිල් අහසේ නියමුවෝ

ත්‍රස්තවාදය නැති කිරීමේ මානුෂික මෙහෙවරේදී ‘පෙර ගමනේ’ යෙදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වර්තමානයේ රට ගොඩනැගීමේ රජයේ ක්‍රියාදාමයට එක්වී සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට පෙරමුණ ගනිමින් සිටියි.

දැයේ අවශ්‍යතාවය සැමවිටම හඳුනාගෙන ක්‍රියා කරන මේ කණ්ඩායම කෘෂිකාර්මික නිපැයුම් මඟින් රට සමෘද්ධිය කරා ගෙන යාමට කටයුතු කරයි. ඒ අනුව රට ආහාරයෙන් ස්වයංපෝෂණය කිරීම සඳහා සක්‍රීයව දායකත්වය දරයි.

මේ වෙනුවෙන් ගුවන් හමුදාවට අයත් භූමි වල ආරම්භ කර ඇති බෝග හා සත්ව නිෂ්පාදන වැඩිදියුණු කිරීමත් නව කෘෂිබිම් ආරම්භ කිරීමත් කඩිනමින් සිදු කෙරෙයි.

ගෲප් කපිතාන් හරේන්ද්‍ර පේරුසිංහ හා පියසර නිලධාරී වෙනුර ජයසිරි මහත්වරු විසින් වගාවට උපදෙස් දෙන අයුරු

ඔවුන් නිපදවන මුදවාපු මී කිරි නම් දැරූ ඒවාටද වඩා රසවත්ය.

මෙරටට අවශ්‍ය කිරි නිෂ්පාදනය සියයට සියයම ලබාදිමේ දීර්ඝ කාලීන ක්‍රියාදාමයද ගුවන් විරුවන් අරඹා තිබීම විශේෂත්වයකි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ මඟ පෙන්වීම අනුව බෝග වගාව, ගව පාලනය හා කුකුල් ගොවිපල මෙන්ම කුකුළු පැටවුන් බෝ කැර පාලනය සඳහා සාමාන්‍ය ජනතාවට ලබාදීමත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයාට ලාබදායක ලෙස මිලදී ගැනීමට හැකි ක්‍රමයක් සැකසීමටත් මොවුන් සැලැසුම් ක්‍රියාත්මක කැර ඇත.

ත්‍රස්තවාදය නිමා කිරීමට උරදුන් ගුවන් විරුවන් සාමයේ අරුණළු සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ඇරඹූ වගා සංග්‍රාමය හා සංවර්ධනය උදෙසා උරදෙන අයුරු දැක අසා ගැනීමට කටයුනායක ගුවන් කඳවුරේ කෘෂි වගා පර්යේෂණ ආයතනය වෙත දිනමිණ ඉකුත්දා සංචාරයක නිරත විය.

විධායක කෘෂි නිලධාරී ගෲප් කපිතාන් හරේන්ද්‍ර පේරුසිංහ ගුවන් හමුදා කෘෂි නිෂ්පාදන පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.

වී, පොල්, එළවළු, පලතුරු, මල් ඇතුළු අලංකාර පැළ අල වගාව හා කිරි ගවයන් ඇති කිරීමත් බිත්තර සඳහා ෆාම් හා ගම් කුකුළන් බෝ කිරීම මෙන්ම නිෂ්පාදන ලබා ගැනීමත් සිදු කෙරෙනවා. ගුවන් හමුදා පුද්ගලයන් හා පවුලේ අය වෙනුවෙන් අඩු මිලට මේවා ලබාදීමට අප මුලින්ම ක්‍රියා කළා.

නමුත් සාමාන්‍ය ජනතාවට අඩු මිලට කුකුළු පැටවුන් ලබාදීමට අපට හැකියි. බිත්තර රැක්ක වීම කෘත්‍රිම අයුරින් කටුනායක කෘෂි පර්යේෂණ අංශය මගින් දැනටත් සිදු කරනවා. කුකුළු පාලනය සිදු කරන ජනතාවට ෆාම් හා ගම් කුකුළු පැටවු ලබාදීමට අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා.

බීජ තවාන

බ්‍රොයිලර් පැටව් බෝ කිරීමේ ෆාම් එකක් සීගිරිය කඳවුරු පරිශ්‍රයේ දැනටත් ක්‍රියාත්මකයි.

ගං කුකුළු පැටව් බෝ කිරීමත් අරඹා තිබෙනවා. බිත්තර ලබා ගැනීම තමයි මෙහි අරමුණ. සමෘද්ධි අධිකාරිය හා රාජ්‍ය නොවන සංවිධාන හරහා අඩු මිලට රට පුරාම ඇති කුකුල් ගොවිපල සඳහා විශේෂයෙන් ගම්මානවලට කුකුල් පැටවු ලබාදීමට ඉදිරියේදී අපට හැකියි. දිනකට බ්‍රොයිලර් කුකුළු පැටවුන් 10000 ක් පමණ ලබාදිය හැකියි.

විශේෂඥ කණ්ඩායම් සිදු කළ පර්යේෂණ මඟින් මේ සාර්ථක ප්‍රතිඵල අප උදා කර ගත්තෙ. කිරි ගවයන් බෝ කිරීමටද මේ දැනුම යොදා ගැනීමයි අපේ ඊළඟ සැලසුම.

උතුරු නැගෙනහිර අයාලේ යමින් සිටින ගවයන් 80000 ක් පමණ සිටිනවා. ත්‍රස්තවාදය හේතුවෙන් ගම් බිම් හැරගිය අයගේ ගවයනුත් මේ අතර සිටිනවා. මොවුන් ‘බෙටි’ නමැති වර්ගයට අයත්.

ඔවුන්ගෙන් අවශ්‍ය පමණට කිරි ගත නොහැකියි. ඒ නිසා මොවුන්ගේ ගැහැනු සතුන් හා පිරිමි සතුන් වෙන් කැර කිරි ගවයන් යොදා ගෙන පැටවුන් බෝ කිරීම මූලික අරමුණ.

අප රටට ආවේණික ‘බෙටි’ හරක් පමණයි මෙරට සිටින්නේ. රජයේ අනුමැතිය මතයි කිරි එළදෙනුන් බෝ කිරීමේ කටයුත්ත ක්‍රියාවට නැංවූයේ.

උතුරු නැගෙනහිර අයාලෙ යන ගවයන් එකතු කැර හිමිකරුවන් සිටී නම් මුලින්ම කරන්නෙ ඒ අයට ඔවුන් ලබාදීමයි. ඊළඟට එක පවුලකට කිරි ගව දෙනුන් පස් දෙනා බැගින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

මේ කටයුත්ත අරඹා මුල් වසර පහ ඉක්ම යන විට අපට හැකියාව ලැබෙනවා ශ්‍රී ලංකාවට අවශ්‍ය එළකිරි නිෂ්පාදන වලින් සියයට පනහක් නිපදවීමට වසර දහයකදී මෙරට සම්පූර්ණ නිෂ්පාදන අවශ්‍යතාවය සපුරාගත හැකියි.

පැළ බද්ධය සිදු කරන අයුරු...

මේ දීර්ඝකාලීන කටයුත්ත සිදු කිරීම මගින් මෙරට ස්වයංපෝෂිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට උරදීමක් වන අතරම නිරෝගි දරු පරපුරක් බිහි කිරීමට අවශ්‍ය පෝෂණය ලබාගැනීමට මෙමගින් හැකි වේ.

දේශීයව නිපදවෙන මේ කිරි ආහාර පාරිභෝගිකයාට අවම මිලට මිලදී ගැනීමේ පහසුව ද උදා වන බව හෙතෙම පෙන්වා දෙයි.

පාලවී, මොරවැව හා සීගිරිය ගුවන් කඳවුරු භූමි වල එළවළු හා පලතුරු වගා කටයුතු ආරම්භ කැර ඇත.

ගව පාලනය සිදු කර ගුවන් හමුදා සේවය කරන පවුල් වෙත එම කිරි නිෂ්පාදන අවම මිලට ලබාදීම දැනට සිදු වේ.

ගුවන් කඳවුරු වලට අයත් කෙත් අස්වැද්දීම ද මුල් යුගයේ සිටම ගුවන් හමුදාව මගින් සිදු කරයි. ගුවන් හමුදා සුබ සාධන වෙළෙඳ සල් වලින් පහසු මිලට නිකුත් කෙරෙන මෙම කෘෂි නිෂ්පාදන මේ වන විට ගුවන් ඛ්මුදාවේ සේවය කරන්නන්ට හා එම පවුල්වලට ලබා ගත හැකිය. හතු වගා ව්‍යාපෘතියද ගුවන් හමුදා කෘෂි අංශය මගින් පවත්වාගෙන යයි.

මල් පැල හා විසිතුරු පැළ තවාන් කිරීම ඒවා ගුවන් හමුදා කඳවුරුවල හා සේවය කරන පුද්ගලයන්ගේ ගෙවතු අලංකරණයට නොමිලේ ලබාදීම ගුවන්

බ්‍රොයිලර් කුකුලන් ඇති කරන අයුරු...

හමුදා කෘෂි අංශය මගින් සිදු කරයි.

කටුනායක පිහිටි ගුවන් හමුදා කෘෂි පර්යේෂණ අංශය මේ කටයුත්ත සිදු කරයි. රාජ්‍ය ආයතන හා නගර අලංකරණය සඳහා ද නොමිලේ පැළ හා සේවා සැපයීමට මේ කණ්ඩායම සූදානමින් සිටි.

කසළ බඳුන් සපයා කසළ ඉවත් කිරීමේ ක්‍රියාදාමයක්ද සිදු කිරීමට පියවර ගනිමින් සිටියි.

රටට සාමය උදා කිරීමට දිවි දෙවැනි කොට ක්‍රියාත්මක වූ ගුවන් සෙබළා වර්තමානයේ රටේ සංවර්ධන ක්‍රියාදාමයට දායකත්වය දක්වයි.

නගර පිරිසිදුව තබා ගැනීමට හා අලංකරණයට පියවර ගනිමින් සිටියි. විරුවන්ගේ මේ උදාර දායකත්වයට මෙරට සැමගේ සහයෝගය හා දායකත්වය සැපයීම යුතුකම හා වගකීම කොට සලකා කටයුතු කරමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා