නාලාගිරි දමනය දැන් පෙන්වනවා

නාලාගිරි දමනය දැන් පෙන්වනවා

දේශපාලන ව්‍යාපාර දෙකක් අහසට පොළොව මෙන් පරස්පර මාර්ග දෙකක ගමන් කරමින් ජනතා සේවයෙහි යෙදීමට උත්සාහ කරනු දක්නට ලැබේ. විපක්‍ෂය කොළඹ ප්‍රසිද්ධ ම වටරවුම්, හන්දි, උද්‍යාන හා පාරවල් ආක්‍රමණය කරමින් පෙළපාළි යයි. උද්ඝෝෂණ පවත්වයි. ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමැතිවරු ගංවතුරින් හානියට පත් ගම්නියම්ගම් සොයමින් පුනරුත්ථාපන රාජකාරිවල නිරත වෙති. ඔව්හු මිනිසුන් අතරට යති. අඩුපාඩු විමසති. මේ සිදුවීම් දෙකට අයත් දර්ශන සහිත ඡායාරූප ඊයේ පුවත්පත්වල මුල් පිටුවේ ම පළ වී තිබිණි. දෙපැත්තක දෙවිදිහක දර්ශන දුටු කල අප සිහියට නැඟුණේ විද්‍යාචක්‍රවර්ති නාලාගිරි දමනය නිරූපණය කළ අයුරු ය.

එක පැත්තක් රෞද්‍ර ය. චණ්ඩ ප්‍රචණ්ඩ ය. අනෙක් පැත්ත ශාන්ත ය. කරුණාභරිත ය. මිනිසුන් අතරට යෑමත් ඔවුන්ගේ දුක - සැප විමසීමත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආවේණික පුරුද්දෙකි. මේ නිසා ම රටේ ජනතාව ඔහු කෙරෙහි බලවත් විශ්වාසයකින් පසු වෙති. මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුරයට ගොස් ඒ අවට ප්‍රදේශවල පයින් ම ඇවිද්දේ ය. නායකයා පයින් යන විට මැති ඇමැතිවරු ද, රජයේ උසස් නිලධාරීහු ද ඒ පසුපස ගමන් කරති. වෙනදාට වඩා උනන්දුවෙන් රාජකාරිවල නිරත වෙති. අපගේ වැටහීමට අනුව රාජ්‍ය නිලධාරීන්ගෙන් වැඩ ගැනීමට ඇති හොඳම උපාය මාර්ගය එය වේ. නිරීක්‍ෂණ චාරිකාවෙන් පසු රැස්වීමක් පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා අපූරු උපදේශන කිහිපයක් ලබා දී තිබේ. කිසි ම ගැටලුවකට තාවකාලික විසැඳුම් එපා යන්න පළමුවන උපදේශනය යි.

නිවැරැදි ඇස්තමේන්තු, නිවැරැදි සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යන්න දෙවන උපදේශනය යි. පුනරුත්ථාපන වැඩසටහන් අතරමඟ නවත්වන්න එපා තුන්වන උපදේශනය යි. මේ උපදේශන තුන පිළිපදින්නේ නම්; ගංවතුරින් අවතැන් වූ පිරිස ඉතා ඉක්මනින් යළි පදිංචි කළ හැකි ය. එලෙස ම විනාශ වූ සියලු දේ යළි ගොඩනඟා ගත හැකි ය. තාවකාලික විසැඳුම්වලට හෙවත් පැලැස්තර විසැඳුම්වලට නිලධාරීන් කැමැති ය. සංවර්ධනය ඇඟට නො ගන්නා අය එසේ කරති. බොරු ඇස්තමේන්තුවලින් ගසා කෑමටත්; බොරු සංඛ්‍යා ලේඛනවලින් දේශපාලකයන් නොමඟ යැවීමටත් ඇතැම් නිලධාරීහු දක්‍ෂ වෙති. ආණ්ඩුව පැත්තෙන් ඒ දෙකට ම ඉඩ නැති බව දැන් පැහැදිලි ය. ගංවතුරින් දිස්ත්‍රික්ක දහ අටකට සිදු වී ඇති හානිය බලවත් ය. එම හානිය පිටු දැක සියලු පළාත් යථා තත්ත්වයට ගත යුතු ය. ඊට නිසි වැඩපිළිවෙළක් ද ආණ්ඩුව සකස් කර තිබේ.

දැන් සිදුවිය යුත්තේ එකමුතුව වැඩකිරීම ය. ජනාධිපතිවරයා මෙහි දී තවත් වැදගත් ම ප්‍රකාශයක් කර තිබේ. එනම්; විවේචනවලට බියෙන් සංවර්ධන වැඩ කල්දාන්නේ නැති බව ය. කුමන බලපෑම් එල්ල වුව ජනතාව වෙනුවෙන් කළ යුතු දේ නිසි ලෙස ඉටු කරන බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කියා තිබේ. රජයේ සංවර්ධන වැඩවලට එරෙහි ව විපක්‍ෂයෙන් චෝදනා නැඟෙන බව අපි දනිමු. එම චෝදනාවල යටි අර්ථය වන්නේ ආණ්ඩුව අපහසුවට පත්කිරීම හා ජනතාව කළකිරීමට පත්කිරීම ය. එ මගින් විපක්‍ෂයට දේශපාලන වාසියක් ලබා ගත හැකි ය. එහෙත් බුද්ධිමත් ජනතාව සිදුවන්නේ කුමක්දැ’යි හොඳින් නිරීක්‍ෂණය කරන බවක් පෙනෙන්නට තිබේ. ගංවතුර ගැන ද බඩු මිල ගැන ද කොළඹ සිට බෙරිහන් දෙන එක්සත් ජාතික පක්‍ෂය විපතට පත්වූවන් බැලීමට යන්නේ නැත.

ඔව්හු ඒ වෙනුවට විහාර මහා දේවී උද්‍යානයට රැස්ව සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නැ’යි උද්ඝෝෂණය කරති. ජනතා විමුක්ති පෙරමුණ ලිප්ටන් වට රවුමට පැමිණ තවත් මොනවාදෝ කියති. මේ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහන සේවාවක යෙදෙන්නේ නැත. එක වතුර බෝතලයක්, එක කෑම පාර්සලයක් අනාථ වූ කෙනකුට ලබා දෙන්නේ නැත. විපක්‍ෂයට ඇත්තේ විවේචන පමණි. වැඩ නැත. ජනතාව අතරට යෑමක් ද නැත.  ශ්‍රී ලංකාවේ මැලේරියා වසංගතය දුරුකිරීම සඳහා වමේ පක්‍ෂ එකමුතු වී ක්‍රියාත්මක වූ ආකාරය අප සිහියට නැඟේ.  පනස් ගණන්වල ගංවතුර උවදුර පිටු දැකීම සඳහා ඇන්. එම්ලා, ජේ. ආර්ලා එක් ව කටයුතු කළ ආකාරය අප සිහියට නැඟේ. 1971 කැරැල්ල අවදියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහයෝගයට එක්සත් ජාතික පක්‍ෂයේ එදා නායකයන් ක්‍රියාත්මක වූ ආකාරය අප සිහියට නැඟේ.

ජාතික ආපදාවක දී රටක ආණ්ඩු පක්‍ෂයට පමණක් නො ව විපක්‍ෂයට ද වගකීමක් පැවරේ. අද විපක්‍ෂයේ එක්සත් ජාතික පක්‍ෂය ද, ජනතා විමුක්ති පෙරමුණ ද එම වගකීම පැහැර හැර තිබේ. දැන් මේ පක්‍ෂ දෙක ම ජනතාවට විහිළු සපයන තත්ත්වයට ඇද වැටී තිබේ. එය කනගාටුවට කාරණයෙකි. ඉහත පක්‍ෂ දෙක ම උත්සාහ කරනුයේ සරත් ෆොන්සේකා මහතාගේ ඇඟෙහි එල්ලීගෙන ආණ්ඩුවට පහර ගැසීමට ය. සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම නෛතික කටයුත්තෙකි. ආපදාවන්ට මුහුණ දීම, බඩු මිල පහත හෙළීම, සංවර්ධන ක්‍රියාවලිය සමඟ සරත් ෆොන්සේකා මහතාගේ කිසිදු සම්බන්ධයක් නැත. විපක්‍ෂය දැන් කළ යුත්තේ විකාර නො කර ජනතාවගේ පැත්ත දෙස බැලීම ය. ඔවුනට යළි ගොඩනැඟීම සඳහා හැකි උපකාරයක් කිරීම ය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහළින් කතා කරන එක්සත් ජාතික පක්‍ෂය සිරිකොතෙහි රැස්වීම් සඳහා රාජ්‍ය මාධ්‍යයට තහංචියක් දැමී ය. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට පා - පහර දෙන පක්‍ෂයක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ කෙසේ ද? ශ්‍රී ලංකාවේ නූතන පුරවැසියා මීට වඩා දියුණු දේශපාලන සදාචාරයක් අපේක්‍ෂා කරයි. ඒ බව විපක්‍ෂ නායකවරයා දැන ගත යුතු ය. ත්‍රස්තවාදයෙන් හා බෙදුම්වාදයෙන් නිදහස් කර ගත් රට ඉන් ටික කලකට පසු ස්වාභාවික විපත් කිහිපයකට මුහුණ දුන්නේ ය. ආසන්න විපත ගංවතුර ය. මේ උවදුරෙන් ඇති වූ හානිය මකාගෙන රට ඉදිරියට ගෙන යා යුතු ය. එහි දී විපක්‍ෂයට ද කාර්ය භාරයක් ඇති බව ඔවුන්ගේ ඇසට ඇඟිල්ලකින් ඇන පෙන්වා දීමට සිදුවීම අප ගේ අභාග්‍යයක් විය යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා